ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවත් එකට එක කරන්නට සැරසෙයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවත් එකට එක කරන්නට සැරසෙයි

බංග්ලාදේශය හා පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන ඊයේ තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම සඳහා ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹය හේතුවෙන් බංග්ලාදේශ පන්දු රකින්නන් සම්පූර්ණ සන්ධ්‍යා සමයම චිතගොං අව් රශ්මියේ අසරණ කර දැමූහ. අවස්ථා කීපයකදී කඩුල්ලක් දවාගත් බවට පවසමින් තෙවැනි විනිසුරුගෙන් නැවත විමසීම් කළ අවස්ථා කීපය හැරෙන්නට බංග්ලාදේශ පන්දුයවන්නන්ගෙන් එම කාලය තුළ සිදුවූ එකම දක්ෂකම  වූයේ ආරම්භක පිතිකරු වශයෙන් පිටියට පිවිසි දිමුත් කරුණාරත්නගේ කඩුල්ල එකදු ලකුණක් හෝ නොමැතිව දවා ගැනීම පමණි. එයින් පසු අවස්ථා කීපයදීම කුසල් මෙන්ඩිස් අතින් වැරදි පහරවල් කීපයක් එල්ලවුණු නමුදු ඒ හැම අවස්ථාවකදීම වාසනාව තිබුණේ කුසල්ගේ පාර්ශ්වයේය. එහෙයින් බංග්ලාදේශ පන්දුයවන්නන්ට ඔහුගේ කඩුල්ල හිමිකරගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ සඳහා සිය පන්දු රකින්නන්ගෙන් උපරිම සහයෝගයක් අත් කරගන්නටද පන්දුයවන්නන්ට අවස්ථාවක් හිමිනොවිණි.
පළමු කඩුල්ල දැවීගිය පසු පිටියට පිවිසි ධනංජය ද සිල්වා, ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කළ කුසල් මෙන්ඩිස් හා එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම ඇරඹූයේය. ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එකදු ලකුණක් හෝ එක්ව තිබුණේ නැත. එලෙස සටන ඇරඹූ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ධනංජය ද සිල්වා පළමුව අර්ධ ශතකයේ සීමාව  පසුකර ගොස් ඉන් අනතුරුව දෙවැනි ලකුණු පනහද සිය ඉනිමට එක් කරගත්තේය. ධනාත්මකව පන්දුවට පහරදුන් ඔහු තමන් දවාගැනීම සඳහා එකදු අවස්ථාවක් හෝ බංග්ලාදේශ පන්දුයවන්නන්ට ලබානොදීමට උත්සුක විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දිනය අවසන් වීමට පෙර ලකුණු 99 සිට එල්ල කළ අලංකාර හතරේ පහරක් මගින් තමන් රැස්කළ සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සමත්විණි.
කුසල් මෙන්ඩිස් තරගයේ පස්වැනි පන්දුවාරයේ පස් වැනි පන්දුවේදී තමන් දවා ගැනීමේ අවස්ථාවක් බංග්ලාදේශ පන්දුරකින්නන් වෙත ලබාදීමෙන් අනතුරුව ස්ලිප් ක්‍රීඩකයින් අතින් එම අවස්ථාව ගිලිහී ගියේය. එහි වාසනාව උකහා ගනිමින් ක්‍රීඩාකළ කුසල් යළි සිය ඉනිම 31 වැනි පන්දුවාරයේදී මෙහෙදි හසන්ට පූජාකිරීමට උත්සහ කළේ වී නමුදු එම අවස්ථාවේ දීද ස්ලිප්හි පන්දු රකිනන් හා කඩුලු රකින්නා නිසි ලෙස පන්දුව රැකගැනීමට අපොහසත්වූ බැවින් තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාවන්ත විය. ඒ අනුව දිනය නිමවනවිට කුසල් මෙන්ඩිස් නොදැවී සිටිමින් රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 83කි. එය ඔහුගේ පස්වැනි අර්ධ ශතකය ලෙස සැලකෙන අතර පන්දු 152කට ක්‍රීඩා කරමින් එම ඉනිම සඳහා හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් අන්තර්ගත කර තිබුණේය. කුසල්ගේ ප්‍රහාරක වේගය සියයට 54කට වඩා ඉහළ අගයක් ගනිද්දී ශතකයක් ලැබූ ධනංජය ද සිල්වාගේ ප්‍රහාරක වේගය දැක්වුණේ සියයට 81.89ක් ලෙසිණි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේය. ඔවුහු පෙරේදා සම්පූර්ණයෙන්මත්, ඊයේ දිනයේ පන්දුවාර 40කට ආසන්න කාලයකුත් කඩුල්ලේ රැඳී සිටියහ. අප ඊයේ සඳහන් කළ ආකාරයටම ශ්‍රී ලංකා පන්දුයවන්නන් කඩිනමින් බංග්ලාදේශ පිතිකරුවන්ගේ කඩුලු ඒ අතර වාරයේදී දවා ගැනීමට කටයුතු කළේ ලකුණු වැඩි ප්‍රමාණයක් එක්කරගැනීමට පෙරය. ඒ අනුව පෙරේදා දිනයේ රැස්කළ ලකුණු 374 ට තවත් ලකුණු 139ක් එක්වද්දී සත්කාරකයන්ගේ ඉතිරි කඩුලු 6ම දවාගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්විය. එහිදී රංගන හේරත් ඊයේ දිනයේ කඩුලු දවාගැනීම ඇරඹූ අතර ඔහු කඩුලු තුනක් හිමිකරගත්තේය. උපනායක සුරංග ලක්මාල්ද කඩුලු තුනක් දවාගැනීමට සමත්විණි. අද දිනයේ තරගය තීරණාත්මක දිනය ලෙස සැලකිය හැකි අතර මෙම තරගයේ විසඳුමක් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් බංග්ලාදේශ පිලට සිදුකළ හැක්කේ හැකිතාක් ඉක්මනින් ශ්‍රී ලංකාවේ ඉනිම අවසන් කිරීමට කටයුතු කිරීමය. එහෙයින් අද දිනය අලුතින් තරගය ආරම්භ කරන පිතිකරුවන් දෙදෙනෙකු ලෙස කුසල් මෙන්ඩිස්ට හා ධනංජය ද සිල්වාට නැවුම් හැඟීමෙන් යුතුව ඉනිම ආරම්භ කළ යුතුව තිබේ. එසේ වී ඇත්තේ තවමත් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව ලකුණු 326ක් පිටුපසින් පසුවන නිසාවෙනි. යම් හෙයකින් අනවශ්‍ය කලබලකාරීත්වය හේතුවෙන් කඩුලු අහිමිකරගතහොත් එය මැද පෙළටද අයහපත් ආකාරයට බලපෑ හැකි බැවින්  වඩා සුපරික්ෂාකාරීවීමේ වගකීම ඇති බව පැවසිය යුතුමය. අද තරගයේ තෙවැනි දිනයයි.

 

 

ලකුණු පුවරුව  
බංග්ලාදේශය පළමු ඉනිම 513  
තමීම් ඉක්බාල් 52,  ඉම්රුල් කේයස් 40
මොමිනුල් හක් 175, මුෂ්ෆිකර් රහීම් 92
මහමුදුල්ලා නොදැවී 83  

පන්දුයැවීම  
සුරංග ලක්මාල් 68/3, දිල්රුවන් පෙරේරා 112/1  
රංගන හේරත් 150/3, ලක්ෂාන් සඳකැන් 92/2  

ශ්‍රී ලංකාව පළමු ඉනිම  
දිමුත් කරුණාරත්න     ඇ.කේයස්  ප. හසන් 00  
කුසල් මෙන්ඩිස් නොදැවී            83  
ධනංජය ද සිල්වා නොදැවී          104  
අතිරේක 00  
මුළු ලකුණු ( එක් කඩුල්ලක් දැවී)       187          
පන්දුයැවීම  
මුෂ්ටෆිසර් රහමන්     7-1-31-0  
සන්සමුල් ඉස්ලාම්     15-1-52-0  
මෙහෙදි හසන්     8-0-45-1  
ටයිජුල් ඉස්ලාම්     13-3-56-0  
මොසැඩක් හුසේන්     1-0-3-0 

මාතෘකා