පැරා මේස පන්දුවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

 ඡායාරූපය:

පැරා මේස පන්දුවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

තායිලන්තයේ චියැන්ග් මායි හි පැවැති විවෘත පැරා මේස පන්දු තරගාවලියේ ඒකල නව වැනි අංශයේ තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් දේශප්‍රිය සමත්විය. පසුගිය 18 වැනිදා සිට 23 වැනිදා පැවැති මෙම තරගාවලියේදී මූලික වටයේ තරගයකදී ඔහු තරග වැදුණේ කොරියානු ක්‍රීඩක ලී ජෙයිහෝ සමඟය. එය වට 3-1 ක් ලෙසින් ජයගත් දේශප්‍රිය දෙවැනි වටයට සුදුසුකම් ලැබීය. එහිදී නෙදර්ලන්ත ක්‍රීඩක හෙයිජ්නෙන් ටෝනී සමඟ තරග වැදුණු අතර වට 3-1 ක් ලෙසින් එම තරගයේ ජය වාර්තා කළේය.

දිනේෂ් දේශප්‍රියගේ මීළඟ තරගය ඉන්දීය ක්‍රීඩක රංජිත් සිං සමඟ පැවැති අතර එය වට 3-0 ක් ලෙසින් පහසු ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයා සමත් වුණේය. එම ජයග්‍රහණයත් සමඟින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඔහු සමත්විණි.

එම තරගයේදී ඔහුට හමුවූයේ කසකස්ථාන ක්‍රීඩකයෙකි. තරග වට 3-0 ක් ලෙසින් එම කසකස්ථාන ක්‍රීඩකයා පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට දේශප්‍රිය අවස්ථාව උදාකරගත්තේය. පැරා මේස පන්දු ඒකල ඉසව්වේදී ඔහු හොංකොං ක්‍රීඩකයකු වන වොං චි යෑන් සමඟ අවසන් තරගයට තරග වැදුණු අතර එම තරගය වඩාත් තියුණු ස්වභාවයක් ගනු දක්නට ලැබිණි. තරග වට පහක් දක්වා එය ගමන් ගත් නමුත් ස්වකීය දක්ෂතා සහ අත්දැකීම් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයා විසින් තරග වට 3-2 ක් ලෙසින් එය ජයගනිමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේය.

මාතෘකා