භීතිය හා ගනුෙදනුව හෙවත් බොඩි ලයින්

 ඡායාරූපය:

භීතිය හා ගනුෙදනුව හෙවත් බොඩි ලයින්

බොඩිලයින් කිව්ව සැණින් දැන්නම් ශ්‍රී ලංකාවේ බොහෝදෙනෙකුට මතක් වෙන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. එම්.ඒ. එස්. සමූහ ව්‍යාපාරයට අයත් බොහෝ බොක්සිං ක්‍රීඩකයන් ඇතුළුව තවත් ක්‍රීඩාවලට දක්ෂ ක්‍රීඩකයන් බිහිකරන හොරණ ප්‍රදේශයේ පිහිටි මෙම ආයතනය අමතක නොවෙන්නේ ඒ නිසයි. නමුත් මේ බොඩිලයින්වල මහන්නේ කාන්තාවන්ගේ සමීප ඇඟලුම් අතර උඩුකයට අයත් ඇඟලුමක කොටස්. නමුත් අපි මේ කියන්නේ ඒ බොඩිලයින් ආයතනය ගැන නොවෙයි. ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් මුහුණු දුන්නු, ඒ කාලයේ ලෝකයටම ප්‍රශ්නයක් වුණු, ඒත් පසුව ක්‍රීඩා තාක්ෂණයේ බල මහිමය නිසා පිළිතුරු සොයාගත්තු බොඩිලයින් පන්දුයැවීම ගැනයි. වේගයෙන් යවන බවුන්සර් පන්දුවකට හුක් පහරක් ගහන්න ගිහිල්ලා ජීවිතය අහිමිකරගත් ඔස්ට්‍රේලියානු පිලේ විශිෂ්ට පිතිකරුවකු ගැන මෑතකාලීන මතකය අමතක නොමැති ඕනෑම ක්‍රීඩාලෝලීයකුට තරගාවලියක් පුරා එවැනි පන්දුවලට කිසිදු ආරක්ෂක උපකරණයක් නොමැතිව මුහුණ දෙනවා කියද්දී ඇතිවිය හැක්කේ මොනවගේ දෙයක්ද? මේ ඒ අතීත මතකය යළි සිහිපත් කිරීමක්.

ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් නාමය ක්‍රිකට් ක්‍රීඩාවට කැමැති සෑම කෙනෙක්ම හොඳින් දන්නා නමක්. ලෝකයේ ඕනෑම රටක ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන කථා කරද්දි අංක එකට කථා කරන්නේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ගැනයි. ඒකට හේතු වෙන්නේ ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ අසමසම ක්‍රිකට් ක්‍රීඩකයා ඩොනල්ඩ් බ්‍රැඩ්මන් වන නිසාමයි. බ්‍රැඩ්මන් අසම සම ක්‍රීඩකයා කියල කියන්න ඕනෑ තරම් හේතු ඇතිබව කිවයුතුයි.එයින් ප්‍රධාන වෙන්නේ තරග 52කදී ඉනිම් 80ක් ක්‍රීඩා කරලා ලකුණු 6994ක් රැස් කිරීමයි. ඉනිම් 80න් 10 කදීම නොදැවී සිටීමට සමත් වූ මෙම ශ්‍රේෂ්ඨ පිතිකරුවාගේ ඉනිමක පන්දුවට පහර දීමේ සාමාන්‍ය 99.94 ක් වුණා. එවැනි සාමාන්‍යක් පවත්වා ගන්න මෙතෙක් කිසිම පිතිකරුවෙක් සමත් වෙලා නැහැ.

ශ්‍රීමත් බ්‍රැඩ්මන් අවසන් ඉනිම ක්‍රීඩා කරන්න කලින් ඔහුගේ ඉනිමක පන්දුවට පහර දීමේ සාමාන්‍ය වුණේ 101.31 ක්. ඒත් අවසන් තරගයේදී, එංගලන්තයේ ඕවල් පිටියේදී එරික් හොලීස් ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී යාම නිසා ඉනිමක සාමාන්‍ය 99.94ක් දක්වා අඩු වුණා. ඒ අවසන් ඉනිමේදී බ්‍රැඩ්මන් ලකුණු 6ක් ලබා ගත්තානම් ටෙස්ට් දිවිය අවසන් කරන්නේ ඉනිමක සාමාන්‍ය ලකුණු 100ක රඳවාගෙන පමණක් නෙවෙයි ටෙස්ට් ලකුණු 7000ද සම්පූර්ණ කරලා.

බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් ජීවිතයේ අර්ධ ශතක ගණන 13ක් වන විට ශතක සංඛ්‍යාව 29ක් වුණා. ඉන් 10ක් ම ද්විත්ව ශතක. ත්‍රිත්ව ශතක දෙකක්ද රැස්කර ගන්න ඔහු සමත්ව සිටියා.

1908 අගෝස්තු 27 වැනිදා උපත ලැබූ බ්‍රැඩ්මන් ටෙස්ට් වරම් හිමිකර ගත්තේ වයස අවුරුදු 20දි. 1928 ටෙස්ට් වරම් ලබා ගෙන ඔහු අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නේ 1948 වසරේදීයි. වසර 20ක කාලයක් ටෙස්ට් ක්‍රීඩාවේ යෙදෙන්න බ්‍රැඩ්මන්ට හැකි වුණා. (1939-45 කාලයේදී දෙවැනි ලෝක යුද්ධය නිසා ක්‍රිකට් තරග පැවතුනේ නැහැ)

වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම මෙවැනි සුපිරි පිතිකරුවෙක් සිටින කණ්ඩායමක් කොතරම් නම් ශක්තිමත් වන්නට ඇත්ද? ඔස්ට්‍රේලියානු කණ්ඩායමද එතරම්ම ශක්තිමත් වුණා. බ්‍රැඩ්මන් ක්‍රිකට් පිටියට පැමිණි අවස්ථාවේ ඉඳලම ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශක්තිමත්. 1930 වන විට එංගලන්ත ක්‍රිකට් පිලට ඔස්ට්‍රේලියානුවන් ලොකුම හිසරදයක් වෙලා හිටියේ. ඒ නිසාම ඔස්ට්‍රේලියානුවන් පරාද කරන්න නම් මුලින්ම කරන්න ඕන කාර්යය වෙන්නේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් නම් මේ තරුණ පිතිකරුවා මෙල්ල කිරීම බව එංගලන්ත කණ්ඩායම හොඳින් වටහා ගෙන හිටියා.

ඒ නිසා 1932-33 වසරේදී එංගලන්ත කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ කළ සංචාරයේදී එංගලන්තයේ පළවෙනි ඉලක්කය වුණේ, ඩොන් බ්‍රැඩ්මන්. ඒ වෙන කොටත් ඔහු මොන තරම් හොඳ පිතිකරුවෙක්ද කියලා ඔවුන් දැන ගෙන හිටියා. ඒ දක්ෂ තරුණ පිතිකරුවාව නවත්වන්න සැලැස්මකුත් එංගලන්ත නායකයා සතුව තිබුණා. ඒ කාලේ එංගලන්ත කණඩායම මෙහෙයවූවේ ඩග්ලස් ජාඩීන්. ජාඩීන් කියන්නේ කොහොමත් හොඳින් හෝ නරකින් තමන්ට අවශ්‍ය කරන දේ ලබා ගන්නා නායකයෙක් ජාඩින්ට ඒ වන විට වයස අවුරුදු 32 ක්. ඔහුට ඕන වෙලා තිබුණා මොන විදියෙන් හරි ඔස්ට්‍රේලියානුවන්ව ඔවුන්ගේ මව්බිමේදිම පරාජය කරල අළු බඳුන දිනා ගන්න.

ඒ සඳහා ඔහු යොදා ගත්තේ බොඩි ලයින් පන්දුවයි. බොඩි ලයින් පන්දුව කියන්නේ වේග පන්දු යවන්නන් විසින් පිතිකරුවන්ගේ ශරීරය ඉලක්ක කරලා පන්දු යැවීමයි. පන්දුයවන්නාගේ අතින් ගිලිහෙන පන්දුව තණ තීරුවේ කෙටිලා කෙළින්ම එන්නේ පිතිකරුවාගේ ඇඟටමයි. එවැනි පන්දු මගහරින්න පිතිකරුවන්ට තියෙන්නේ ඉතාමත්ම සීමිත අවස්ථාවන් කිහිපයක් විතරයි. මොකද පන්දු යවන්නා පිතිකරුගේ ශරීරය ඉලක්ක කරලා පන්දු යවනකොට, ඒ පන්දු යැවීමට හරියන විදියට පන්දු රකින්නන් ස්ථාන ගත කරනවා. බොහෝ වෙලාවට පන්දුව එන්නේ පා ඉන්න කෙළින් හරි පා ඉන්නට පිටතින් හරි.

පන්දුව පිතිකරුගේ පපු ප්‍රදේශයට ඉහළින් එනව නම් පහත් වෙලා කඩුලු රකින ක්‍රීඩකයාට පන්දුව නිදැල්ලේ යවන්න පුලුවන් වුණාට පන්දුව පපු ප්‍රදේශයට පහළින් අවොත් පිතිකරුවාට විකල්ප නැහැ. පන්දුව ඇඟේ වදින එක වළක්වා ගන්න නම් පහර දෙන්නම ඕන. ඒක තමයි බොඩි ලයින් පන්දු යවන ප්‍රතිවාදී පන්දු යවන්නාගේ අරමුණ වෙන්නෙත්. පිතිකරුගේ පා ඉන්න පැත්තෙන් පිතිකරු අසල වගේම පා ඉන්න දෙසින් හතරේ සීමාව ආසන්නයේ පන්දු රකින්නන් දෙදෙනෙක්වත් රඳවලා තියෙනවා උඩ පන්දු රකින්න. ආරක්ෂාකාරී වගේම ෆුල් සහ හුක් පහරවල්වලට යාමත් ඉතාමත්ම අවදානම්. පන්දුවට පහර දෙන්නම ඕන. මොකද ඒ කාලේ දැන් වගේ පපුවට, ඉළ සහ ඉන ප්‍රදේශවලට ආරක්ෂක ආවරණ තිබුණෙත් නැහැ. ඒ නිසා බොඩි ලයින් පන්දුව අති භයානක පන්දුවක්. පන්දුවට පහර දෙනවා හැර පිතිකරුට විකල්ප නැහැ. එංගලන්ත නායක ඩග්ලස් ජාඩීන් ගේ උපක්‍රමය වුණේ බොඩි ලයින් පන්දුවෙන් බ්‍රැඩ්මන් ඇතුළු ඔස්ට්‍රේලියානු පිතිකරුවන් මෙල්ල කරන්නයි. ඒ සඳහා අනුකම්පා විරහිතව පිටියේදී ක්‍රියා කරන්නත් ජාඩීන් දෙපාරක් හිතුවේ නැහැ. ඒකට ජාඩීන් තෝරා ගත්තේ තමන්ගේ කණ්ඩායමේ හිටිය වේගවත්ම පන්දු යවන්නා වුණ හැරල්ඩ් ලාවුඩ්ව. ලාවුඩ් කියන්නේ නොටිංහැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමටත් ක්‍රීඩා කරමින් සිටි දක්ෂ වේග පන්දු යවන්නෙක්. අවුරුදු 28ක් වුණ ලාවුඩ් හොඳ ජව සම්පන්න වේග පන්දු යවන්නෙක් වුණා.

පළමුවෙනි ටෙස්ට් තරගය තිබුණේ 1932 දෙසැම්බර් 2 වැනිදා ඉඳලා 7 වැනිදා දක්වා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී. තරගයට බ්‍රැඩ්මන් ක්‍රීඩා කළේ නැහැ. ඔහු ක්‍රීඩා නොකළට ජාඩීන් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වුණ ඔස්ට්‍රේලියානු නායක බිල් වුඩ්ෆුල් සහ බිල් පොන්ස්ෆෝර්ඩ් ව වගේම ඇලන් කිපැක්ස්වත් ඉලක්ක කරලා බොඩි ලයින් පන්දු යැවුවා. වුඩ්ෆුල් ඉනිම් දෙකේම ලකුණු 7 සෙහ 0 යි. ෆොන්ස්ෆර්ඩ් 32 සහ 2යි. තරගයෙන් එංගලන්තය කඩුලු 10 කින් දිනුවා.

ලාවුඩ් ගේ පන්දු යැවීම සටහන් වුණේ පළමු ඉනිමේ පන්දුවාර 31යි, ලකුණු 96ට කඩුලු 5යි. දෙවැනි ඉනිමේ පන්දුවාර 18යි ලකුණු 28ට කඩුලු 5යි.

දෙවැනි ටෙස්ට් තරගයට බ්‍රැඩ්මන් ක්‍රීඩා කළා. 1932 දෙසැම්බර් 30 වැනිදා ඉඳලා 1933 ජනවාරි 3 වැනිදා දක්වා තරගය මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. පළමු ඉනිමේ බ්‍රැඩ්මන් මුහුණ දෙන පළමු පන්දුවෙන්ම දැවී යනවා. පන්දු යවන්නා වුණේ බොව්ස්. ඉනිම් දෙකේම නායක වුඩ්ෆුල් අසාර්ථකයි. දෙවැනි ඉනිමේ බොඩි බොඩි ලයින් පන්දුවලට මුහුණ දෙමින් නොදැවී ශතකයක් රැස් කරන්න බ්‍රැඩ්මන් සමත් වෙනවා. තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 111කින් ජය ගන්නවා. ලාවුඩ්ට ඒ තරගයෙදි හිමි වෙන්නේ කඩුලු හතරයි. තුන්වැනි තරගයට ඇඩිලේඩ් ඕවල් ක්‍රී ඩාංගයට ජාඩින් එන්නේ හුඟක් දරුණු විදියටයි. පළමු ඉනිමේදී වුඩ්ෆුල් සහ බ්‍රැඩ්මන් දෙන්නම අසාර්ථකයි. බ්‍රැඩ්මන් දැවී යන්නේ ලාවුඩ්ගේ පන්දුවකට ලකුණු 8කට. දෙවැනි ඉනිමේ බ්‍රැඩ්මන් වගේම වුඩ්ෆුල් අර්ධ ශතක ලබා ගත්තට ලකුණු 338කින් තරගය ඔස්ෙට්‍ර්ලියානුවන් පරදිනවා. ලාවුඩ් මුලු තරගයේම කඩුලු 7ක් දවා ගන්නවා.

බ්‍රිස්බේන්වල පැවතුන හතරවැනි තරගයෙනුත් ඔස්ට්‍රේලියාවට පරාජය වලක්වා ගන්න ලැබුණේ නැහැ. ඒ තරගයේදී එංගලන්ත පන්දු යවන්නන්ගේ බොඩි ලයින් පන්දු ඉදිරියේ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් උත්සාහ කළේ කඩුල්ලේ රැඳී ඉන්නයි. පළමු ඉනිමේ වුඩ්ෆුල් ලකුණු 67ක් ලබා ගන්නේ පන්දු 232කින්. බ්‍රැඩ්මන් ලකුණු 67ක් රැස් කරනවා පන්දු 138කින්. දෙවැනි ඉනිමේ වුඩ්ෆුල් ලකුණු 19යි. පන්දු 105කින්. දෙවැනි ඉනිමේ බ්‍රැඩ්මන් අසාර්ථකයි. ඉනිම් දෙකේම ඔහුගේ කඩුල්ල දවා ගන්නේ ලාවුඩ්. ඒ තරගයේදීත් ලාවුඩ්ට කඩුලු 7ක් ලැබෙනවා. එංගලන්තය කඩුලු 6කින් ඔස්ට්‍රේලියාව පරාජය කරනවා.

සිඩ්නිවල තිබුණ පස්වැනි ටෙස්ට් තරගයේදී බ්‍රැඩ්මන් නොබියව එංගලන්ත තර්ජනයට සාර්ථව මුහුණ දීලා පළමුවෙනි ඉනිමේ ලකුණු 46යි. දෙවැනි ඉනිමේ ලකුණු 71ක් ලබා ගන්නවා. ඒ තරගයේදී ලාවුඩ්ට කඩුලු 5යි. තරගාවලියේදීම කඩුලු 33ක් දවා ගන්න ලාවුඩ් සමත් වෙනවා. එංගලන්තය තරගය ජය ගන්නේ කඩුලු 8කින්. ටෙස්ට් තරගාවලිය අවසන් වෙන්නේ එංගලන්තයට 4-1ක ජයක් සමග.

ඩග්ලස් ජාඩීන්ගේ සාර්ථකම නායකත්ව තරගාවලිය වුණේ මෙම තරගාවලියයි. මේ තරගාවලිය අැත්තටම පැවතුණේ බ්‍රැඩ්මන් සහ ලාවුඩ් අතරයි. බොඩි ලයින් පන්දුව ලොව පතල වුණ පළමුවෙනි ටෙස්ට් තරගාවලිය එහි නිර්මාතෘවරුන්ම ජය ගන්නවා. නමුත් මේ තරගාවලියට පසුව එංගලන්තය මුණ ගැහුණ අවස්ථාවේදී බොඩි ලයින් පන්දුවට සාර්ථකව මුහුණ දීලා තමන්ගේ කණ්ඩායමට ජය ලබා දෙන්න බ්‍රැඩ්මන් සමත් වුණා.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා