ජාතික ශූරතා වොලිබෝල් අවසන් තරග ලබන සතියේ

 ඡායාරූපය:

ජාතික ශූරතා වොලිබෝල් අවසන් තරග ලබන සතියේ

කාන්තා කිරුළ වෙනුවෙන් ආරක්ෂක ගැටුමක්

ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග ලබන 16 වැනිදා මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ආධුනික සහ සුපර් ලීග් දෙඅංශයෙන් පිරිමි සහ කාන්තා අවසන් තරග පැවැත්වීමට නියමිත බව වොලිබෝල් සම්මේලනය පැවසීය. සුපර්ලීග් අවසන් තරග පිරිමි අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ලංකා විදුලි බල මණ්ඩලය තරගවැදීමට නියමිතය. කාන්තා සුපර් ලීග් අවසන් තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර පැවැත්වෙන ආරක්ෂක අංශ ගැටුමක් ලෙසිනි. එම තරග ද්විත්වය සජීවී ලෙස රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට අපේක්ෂා කරන බව වොලිබෝල් සම්මේලනය පැවසීය.

ආධුනික පිරිමි අවසන් මහා තරගය වෙනුවෙන් කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය සහ නාත්තණ්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය තරග වදිනු ඇත. ඒ අනුව වයඹ පළාත් කණ්ඩායම් ද්විත්වයක් ආධුනික පිරිමි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබේ. කාන්තා ආධුනික අවසන් මහා තරගය සඳහා මහඋස්වැව රත්නපාල ක්‍රීඩා සමාජය සහ පොළොන්නරුව හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ඇත. ඒ අනුව ලබන 16 වැනිදා උදාසන 9 ට ඇරඹෙන අවසන් මහා තරග අතුරින් මුලින්ම පවත්වනු ලබන්නේ කාන්තා ආධුනික කාන්තා තරගය වන අතර උදාසන 11 ට ආධුනික පිරිමි අවසන් තරගය පැවැත්වෙයි.

සුපර්ලීග් අවසන් මහා තරග පස්වරු 1 ට ආරම්භ කරනුයේ කාන්තා ගැටුමත් සමඟිනි. පිරිමි අවසන් ගැටුම පස්වරු 3 ට ආරම්භ කෙරෙනු ඇත. මෙම තරගාවලිය සඳහා සිලෝන් බිස්කට්ස් සමාගම අනුග්‍රහය දක්වන අතර මංචී ජාතික ශූරතා වොලිබෝල් තරගාවලිය නමින් එය පැවැත්වෙයි.

මාතෘකා