ඇමැති නැතැයි ප්‍රශ්න කල්දමන්න එපා කඩිනමින් ඉදිරිපත් කරන්න

 ඡායාරූපය:

ඇමැති නැතැයි ප්‍රශ්න කල්දමන්න එපා කඩිනමින් ඉදිරිපත් කරන්න

ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි

රට තුළ අමාත්‍ය මණ්ඩලයක් ක්‍රියාත්මක නොවුණද ක්‍රීඩාවේ පැවැත්ම හා ඉදිරි කටයුතු ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට තම නිලධාරී මණ්ඩලය කටයුතු කරමින් ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතා පැවසීය. ‘රැස’ සමඟ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඒ අනුව ක්‍රීඩාවේ සියලු අර්බුද සඳහා කඩිනමින් පිළියම් යෙදීමට තමන් ඇතුළු අමාත්‍යංශ කළමනාකාරිත්වය නිසැකවම කටයුතු කරන බවයි. මේ සඳහා අවශ්‍ය නෛතික බලය තමන් සතුව පවතින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

‘ක්‍රීඩා ඇමැතිවරයා විෂය භාර කටයුතු පරිපාලනය වෙනුවෙන් සහභාගි නොවෙන එක වෙනම කතාවක්. එය විධායක, ව්‍යවස්ථායකය හා අධිකරණය අතර ප්‍රශ්නයක්. ඒක නිසා රටක් ඉදිරියට යන ගමන නොනවත්වන්න කියන කාරණය අපිට රටේ ප්‍රධාන පුරවැසියාවන ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා ආයතන සංග්‍රහයට අනුව, ක්‍රීඩා විෂය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී අපි අනලස්ව තීරණ ගන්නවා. කටයුතු කරනවා. ඒ ගැන සැකයක් තබාගත යුතු නැහැ. හැබැයි අපි ගන්නේ දේශපාලන තීරණ නොවෙයි. අමාත්‍යවරයෙක් සිටියදීත් දේශපාලන නොවන විධායකය වශයෙන් තීන්දු තීරණ ගැනීමේදී රාජ්‍ය නීතිය අනුව ඒ තීන්දු ක්‍රියාත්මක කිරීමේ වගකීම අමාත්‍යවරයා පවරා තිබුණේ ක්‍රීඩා අමාත්‍යාංංශ ලේකම්වරයාගේ සිට පහළට සිටින කාර්ය මණ්ඩලයටයි. ඒ නිසා කිසිදු අර්බුදයක් ඇතිනොවන ආකාරයෙන් අපි දැනටත් කටයුතු කරනවා. ගැටලුව ඇත්තේ ඕනෑම සංගමයක්, ක්‍රීඩකයෙක් අප වෙත ප්‍රශ්න රැගෙන ආ යුතුයි. එහෙම නැතිව ප්‍රශ්නයක් තිබෙන්නේ කොහේද කියලා සොයා බලන්න අසීරුයි. ඒ තත්ත්වය ඇමැතිවරයෙක් සිටියදීත් තිබුණු දෙයක්. ප්‍රශ්න ඇත්නම් ඒ ප්‍රශ්න අමාත්‍යාංශය වෙත යොමුකිරීමත්, විසඳුම් ලබාගැනීමට ක්‍රියාකිරීමත් කී ක්‍රීඩාඅමාත්‍යංශයෙන් සේවය ලබාගන්නා කණ්ඩායමේ වගකීමක්. ඒවාට කඩිනම් විසඳුම් දෙන්න අපි ලෑස්තියි’ යැයිද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් පත්ව නැති විට එහි පරිපාලන කටයුතු සම්පූර්ණයෙන්ම මෙහෙයවීම සිදුකරන පරිපාලන මණ්ඩලයේ ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරියා වනුයේද කමල් පත්මසිරි මහතාය. දක්ෂ පරිපාලකයකුට තීන්දු තීරණ ගැනීමේ අපහුතාවක් නොමැති බව පෙන්වාදෙමින් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණදී ඇති ගැටලුකාරී තත්ත්වය සමහන් කිරීමට කටයුතු කරනු ලබන්නේ එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ සෙසු නිලධාරීන් සමඟිනි. ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලනයක් පවතිද්දී ලබාගත් ඇතැම් සේවාවන්වලටවඩා අවම මිලකට එම සේවාවන් සපයාගනිමින් ජාතික හා ජාත්‍යන්තර තරග රැසක් සංවිධානය කිරීමටද ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට මේ අතර කාල වකවානුව තුළ හැකියාව ලැබී ඇත. ඒ අනුව අමාත්‍යවරයකු නොමැති නමුත් ක්‍රීඩා අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමේදී ගැටලුකාරී තත්ත්වයක් ඇති නොවන බැවින් ක්ෂණිකව සියලු ගැටලු තම අමාත්‍යාංශය වෙත පෙර පරිදිම යොමුකරන මෙන් එහි ලේකම්වරයා සියලු පාර්ශ්වයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කර සිටී.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා