මට කබඩි ක්‍රීඩාව හමුවුණේ බංග්ලාදේශයෙන්

 ඡායාරූපය:

මට කබඩි ක්‍රීඩාව හමුවුණේ බංග්ලාදේශයෙන්

එම්.ටී. ප්‍රනාන්දු

අපට බොහෝ දේ ලැබෙන්නේ අහම්බෙනි. හරියටම බුල්ටෝ කතාව මෙනි.දොදොල් සෑදීමට ගොස් පදම වැරදී හමුවුණු බුල්ටෝ අද කොයි කවුරුත් අතරත් ජනප්‍රිය දෙයකි. කබඩි ක්‍රීඩාවත් හරියටම මේ බුල්ටෝ කතාව වගේමය.

ශ්‍රී ලංකාවේ පාපන්දු විනිසුරුවරයෙකු වූ එම්.ටී.ප්‍රනාන්දු මහතා 1940 දී බංග්ලාදේශය බලා පිටත්ව යන්නේ එරට වූ පාපන්දු තරගාවලියක් විනිශ්චය කිරීම සදහාය. තරග විනිශ්චය කරණ අතරතුර ලැබුණු ඉසිඹුවකින් ප්‍රනාන්දු මහතා බංග්ලාදේශයේ වට පිටාව නැරඹීමට සෙමින් ඇවිද යන අතරතුර ඔහු කිසි දිනක නොදුටු ක්‍රීඩාවක් අසාන්නයේ පිහිටි ක්‍රීඩාංගණයක පැවැත්වෙමින් තිබෙනු දැක ගන්නට ලැබුණි.

''මේ ක්‍රීඩාව කරණවා බලන්න විශාල සෙනගක් හිටියා.මටනම් මේක දැක්කම හිතුණේ අපේ ගම්වල අර ගුඩු පනිනවා වගෙයි.මමත් බලාගෙන ඉදලා ආපහු හෝටලේට ඇවිත් එතැන හිටිය මගෙ යාළුවන්ගෙන් මේ ක්‍රීඩාවේ විස්තර අහලා දැන ගත්තා.මට එතනදි දැන ගන්න ලැබුණේ ඉන්දියාවේ තමයි මේ ක්‍රීඩාව ඉතාම ජනප්‍රියව සිදු කෙරෙන්නේ කියලා.මම ලංකාවට ඇවිත් ලිපිනයක් හොයාගෙන ඉන්දියාවට ලිව්වා.ඒ අයගෙන් හොද පිළිතුරක් ලැබුණා. ඒ අය කැමති වුණා මේ ක්‍රීඩාව ගැන පුහුණුවක් අපිට ලබලා දෙන්න .ඉතින් මම එදා අතින් වියදම් කරගෙන ඉන්දියාවට ගිහින් මේ ගැන හොඳ පුහුණුවක් ලැබුවා.

ඊට පස්සේ අපි පුහුණු වෙලා මුලින්ම බොම්බායේ තරගයකට ගියා.ඒකෙන් ඇපි පැරදුණා. නමුත් අපි උත්සාහය අතහැරියේ නෑ.”

ශ්‍රී ලංකාවේ කබඩි ක්‍රීඩාවේ ආරම්භක අවස්ථාව වශයෙන් අපට හැඳින්විය හැක්කේ මේ සන්ධිස්ථානයයි.ඒ සන්ධිස්ථානයට ශ්‍රී ලංකාව රැගෙන එන ලද්දේ එම්.ටී.ප්‍රනාන්දු මහතාය. අදටත් ශ්‍රී ලංකාවේ කබඩි ක්‍රීඩාව පිළිබදව දන්නා අය ප්‍රනාන්දු මහතාව හදුන්වනු ලබන්නේ ''කබඩි ක්‍රීඩාවේ පියා'' වශයෙනි.

වයස අවුරුදු අසූ පහකටත් වඩා වයස් වූ ඔහු වවුනියාවේ පැවති 2018-අන්තර් ක්‍රීඩා සමාජ කබඩි තරගාවලියේ විශේෂ ආරාධිත අමුත්තකු වශයෙන් පැමිණ සිටි අවස්ථාවේදී අප සමඟ සංවාදයකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, "අපි ඊළගට කබඩි සංගමයක් පිහිටුවා ගත්තා. ඉන්දියාවේ කබඩි සංගමයෙන් මේ අපේ සංගමයට උදව් ලැබුණා.දකුණු ආසියාවේ කබඩි ක්‍රීඩා සංගමයේ ආරාධනය මත අපේ හතළිස් දෙනෙකුට ඉන්දියාවේදී පුහුණුව ලබාගන්න අවස්ථාව උදාවුණා. මේ පුහුණුවෙන් පස්සේ පුහුණුව ලැබූ හැම අයෙකුටම කිව්වේ තමන්ගේ පළාත්වල කබඩි සංගම් ඇති කරන්න කියලයි. මේ ක්‍රියාවලියත් එක්කම අපේ රටේ කබඩි ක්‍රීඩාවට විශාල තැනක් ලැබුණා. ඇත්ත වශයෙන්ම කබඩි ක්‍රීඩාවේ දියුණුතම අවස්ථාවට අපේ රටේ කබඩි ක්‍රීඩාව පත්වුණා. ආසියාවේ දෙවනි තැනට එන්නට තරම් අපි දක්ෂ වුණා. ඒ තරම් විශාල දියුණුවක් අපි කබඩි ක්‍රීඩවෙන් ලැබුවා'' ඉතාම සුන්දර මතකයන් ගැන ඉතා සතුටෙන් කතා කරමින් සිටි ප්‍රනාන්දු මහතා තුළ ඇතිවූ උද්වේගය හේතුවෙන් පුංචි නිහැඩියාවක් ඇතිවූයේ ඉබේටමය.

දැන් මේ කබඩි ක්‍රීඩාවට මොකද? වෙලා තියේන්න..? ඒ නිහඬ බව බිඳින්නට අප විමසීය.

''මේක ටිකක් දුක හිතෙන තත්ත්වයක්. අද වන විට කබඩි ක්‍රීඩා සමාජ ක්‍රියාත්මක වෙන්නේ තරග තියන කාලයටයි. ක්‍රීඩා කෙරෙන්නෙත් ඒ තරගාවලි වලට විතරයි. තරගාවලියක් නැතිව කබඩි ක්‍රීඩා කරණ අය ඉන්නවා නම් ඒ ඉන්නේ ත්‍රිවිධ හමුදාවේ සහ ආරක්ෂක අංශ වල විතරයි. අනික තමයි කබඩි සංගම් තිබුණට බොහෝ දෙනෙක්ට කබඩි නීති ටිකවත් මතක නෑ.තරග කරන්න ආවම තමයි එව්වා හොයන්නේ. අනෙක් කාරණය තමයි කබඩි ක්‍රීඩාව දියුණු කරන්න රටේ පාලකයින්ගෙන් වගකිවයුත්තන්ගෙන් ලැබෙන සහය මදි.ඒ කියන්නේ වෙනත් ක්‍රීඩා වලට ලැබෙන සහය ආධාර අනුග්‍රහය වගේ දේවල් මේ ක්‍රීඩාවට ලැබෙන්නේ නෑ. හුඟ දෙනෙක් කබඩි ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩාවක් කියන අවබෝධය නෑ. ඒ වගේම තමයි මේ ක්‍රීඩව ගැන තියන අභිමානයත් මදි.

කබඩි ක්‍රීඩාව කියන්නේ ඉතා හොඳින් ගෘහස්තව කරගෙන යන්න පුලුවන් ක්‍රීඩවක්. ඒකට විශාල ඉඩක්, ලොකූ ක්‍රීඩාංගණයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. වැස්ස වෙලාවේ වුණත් ඇගේ මඩ ගා ගන්නේ නැතුව මේ ක්‍රීඩාව කරගෙන යන්න පුලුවන්. දැන් විශේෂයෙන් සකසන ලද රබර් කබඩි කෝඩ් ක්‍රීඩා පිටි ඇවිත් තියනවා. තරමක් මිල වැඩි වුණත් මේකෙන් අනතුරු මොනවත් සිද්ධ වෙන්නේ නෑ. මේ ක්‍රීඩාවේදි නිතරම වගේ ක්‍රීඩකයෝ බිම වැටෙනවා. ඒක නිසා රබර් ක්‍රීඩා පිටියක සෙල්ලම් කරණ එක කිසිම අවදානමක් නෑ.

ක්‍රීඩා අමාත්‍යංශය නිතරම කබඩි ක්‍රීඩා තරග සංවිධානය කරණවනම් මේ ක්‍රීඩාව තවත් ගොඩාක් ඉදිරියට යයි. එහෙත් ගොඩාක් වෙලාවට වෙන්නේ ශ්‍රී ලංකාව තුළ පවත්වන තරග ප්‍රමාණය අඩුවීමයි. ශ්‍රී ලංකා කබඩි සම්මේලනය වාර්ෂිකව තියන තරගාවලියෙන් පස්සේ ආය ගමකවත් කබඩි සෙල්ලම් කරන්නේ නෑ. නිතරම කබඩි තරග තියනවනම් මේ ක්‍රීඩාව ගැන දැනට තියන මේ උනන්දුවට වඩා ලොකු උනන්දුවක් මුලු රට පුරාම ඇතිවෙනවා. ලංකවේ කබඩි ක්‍රීඩාව දියුණු කරන්න පුලුවනි. ඉතාම උසස් මට්ටමකට මේ ක්‍රීඩාව රැගෙන යන්නත් පුලුවන්. වෙන්න ඕනේ මූලිකම දේ තමයි කබඩි ක්‍රීඩාව පාසල් අතරට රැගෙන යන එක.

පාසල් ක්‍රීඩකයින් බිහි වෙන්න ඕනේ.පාසල් අතර මේ කබඩි ක්‍රීඩාව දියුණු වෙන්න අවශ්‍යයි. පාසල් ළමයින් ක්‍රීඩා ඉසව් තෝර ගනිද්දී කබඩි ක්‍රීඩාව තෝර ගන්න ආශාවක් දක්වන්නේ නෑ.ඔවුන්ගේ කැමැත්ත ක්‍රිකට්,පාපන්දු රගර් වගේ ක්‍රීඩාවලටයි. මේ මානසිකත්වයෙන් පාසල් ළමයින් මුදවා ගන්න ක්‍රමවේදයක් සකස් වෙන්න උවමනායි.

මේක එක්කෙනෙක්ට දෙන්නෙක්ට කරන්න බෑ.අධ්‍යාපන අමාත්‍යංශයේ සහය ඕනේ වෙනවා.ඒ වගේම පළාතේ කබඩි කීඩා සංගම් මේ වැඩේට දායක වෙන්න ඕනේ. අවුරුදු විස්සෙන් පහළ කණ්ඩායම් වැඩි වශයෙන් බිහිවන්නට ඕනේ. එහෙම වුණොත් ලංකාවට කබඩි ක්‍රීඩාවෙන් මීට වඩා විශාල දුරක් යන්න පුලුවන් වෙනවා. කබඩි ක්‍රීඩා සමාජ ශක්තිමත් වෙලා මේ පියවර පාසල් තුළ ක්‍රියාත්මක කරලා මේ ක්‍රීඩාව ඉදිරියට අරගෙන යන්න ඕනේ කාලයයි දැන් උදා වෙලා තියෙන්නේ’ඔහු අවසන් වශයෙන් පැවසීය.

[රසුල දිල්හාර ගමගේ]

මාතෘකා

ජනප්‍රිය ලිපි