ඔලිම්පික් යන්න පෙරුම් පුරන ධනුද්ධරයා

 ඡායාරූපය:

ඔලිම්පික් යන්න පෙරුම් පුරන ධනුද්ධරයා

පසුගිය ඔක්තෝබර් මාසයේ ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවර පැවැති යොවුන් ඔලිම්පික් උළෙල පිළිබඳව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ගේද අවධානය යොමු විය. වසන්ති මාරිස්ටෙලා දැක්වූ දස්කම් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම ක්‍රීඩා බලධාරීන්ට මහත් අස්වැසිල්ලක් විය. ඒ ඉදිරියේදී ඔලිම්පික් තරගාවලි නියෝජනය කිරීමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින ඉහළම ක්‍රීඩා උළෙල වන නිසාය. එවැනි තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දස්කම් ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයට මිල කල නොහැකි වටිනාකමකි.

එසේම එවැනි ක්‍රීඩකයින් ඉන් අනතුරුව ඔලිම්පික් ඇතුලු ජාත්‍යන්තර තරගාවලින්හිදී ද දක්වනු ලබන දස්කම් දැක බලා ගැනීමට ක්‍රීඩා ලෝලීන් දක්වන්නේ මහත් උනන්දුවකි. පසුගිය දා ආර්ජන්ටිනාවේදී අවසන් වූ යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම ලෝක මට්ටමේ දස්කම් දැක්වීමට සමත්වූ අතර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි පළමු 10 දෙනා අතරට පැමිණීමටද ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම සමත් වූහ.

ඒ අතරින් දුනු විදීමේ ඉසව්ව නියෝජනය කරමින් යොවුන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ රවීන් කවීෂ දල්පතාදු ද ප්‍රබලම ක්‍රීඩකයෙකි. තරගාවලිය අවසාන කළේ රවීන් ලෝකයේම හය වැනියා වෙමිණි. ‘රැස‘ රවීන් සමග කළ කෙටි පිළිසඳරකි මේ....

ඉස්සෙල්ලාම දුන්න අතට ගන්නකොට වයස කීයද?

අවුරුදු 8යි.

සහභාගී වුණ පළවෙනි තරගාවලිය මොකක්ද?

2009 ශ්‍රී ලංකා ජාතික දුනු ශිල්ප තරගාවලිය. වයස අවුරුදු 12න් පහළ තරගාවලියේ රන් පදක්කම දිනා ගත්තා. 14න් පහළ තරගයටත් සහභාගී වෙලා ඒ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තා. 2010 ජාතික දුනු ශිල්ප තරගාවලියේදී 12න් පහල සහ 14න් පහල ඉසව් දෙකෙන්ම රන් පදක්කම් දිනා ගත්තා.

2011 ශ්‍රී ලංකා කණිෂ්ඨ දුනු ශිල්ප තරගාවලිය සුවිශේෂයි නේද?

ඔව්, ඒ තරගාවලියේදී මම වයස අවුරුදු 10න් පහළ, 12න් පහළ වගේම 14න් පහළ රන් පදක්කම් දිනා ගත්තා. 16න් පහළ ඉසව්වේ රිදී පදක්කමත් දිනා ගන්න පුලුවන් වුණා. 2012 සහ 2013 තරගාවලි නියෝජනය කරල 12න් පහළ සහ 14න් පහළ රන් පදක්කම් දින්නා. 2012 තරගාවලියේදී 14න් පහළ කණ්ඩායම් රිදී පදක්කම සහ 18න් පහළ කණ්ඩායම් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

2013දි 12න් පහළ සහ 14න් පහළ රන් පදක්කම් වගේම 14න් පහළ සහ 18න් පහළ කණ්ඩායම් රන් පදක්කම් දෙකත් දිනා ගන්න පුලුවන් වුණා. ඊට පස්සේ 2015 වෙනම් කණිෂ්ඨ දුනු ශිල්ප තරගාවලි හැම එකකම මම සහභාගි වුණ ඉසව්වල රන් පදක්ක්ම දිනා ගත්තා. අන්තිමට 2016 පැවැති ජාතික දුනු විදීමේ විවෘත තරගාවලියේ රන් පදක්කමත් දිනා ගත්තා.

පළවෙනි විදෙස් තරගාවලයට සහභාගි වුණේ?

2013දි සිංගප්පූරුවේ තිබුණ ලෝක ගෘහස්ථ දුනු ශිල්ප තරගාවලිය (World Indoor Archery Championships) තමයි මම සහභාගි වුන පලවෙනි විදෙස් තරගාවලිය. ඒ් තරගාවලියෙදිත් රන් පදක්කම දිනා ගත්තා. 2016 තායිලන්තයේ තිබුණ ලෝක ගෘහස්ථ දුනු ශිල්ප තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.

හොඳම තරගයක් තිබුණ ජාත්‍යන්තර තරගාවලි මොනවාද?

2017 ආර්ජන්ටිනාවේදී සහභාගි වුණ ලෝක දුනු ශිල්ප තරගාවලියේ හොඳ තරගයක් තිබුණා. ඒ තරගාවලියෙන් තමයි යොවුන් ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩකයින් තෝරන්නේ එම තරගාවලියේදී මම 17 වැනියා වුණා.

යොවුන් ඔලිම්පික් උළෙලේදී ඊට වඩා ඉදිරියට එන්න පුලුවන් වුණා නේද?

ඔව්, මම ආර්ජන්ටිනාවේදී හොඳ විශ්වාසයකින් තරග වැදුණා. අවසාන වටය දක්වා එන්න පුලුවන් වුණා. ඔලිම්පික් තරගාවලියේම හය වැනියා වුණා. ආසියාවෙන් මම දෙවැනියා.

දුනු විදීමට අමතරව මොන ක්‍රීඩාවලද නිරත වෙන්ෙන්?

මම පොඩි කාලේ ඉඳලම ටේබල් ටෙනිස්වලටත් කැමතියි. ඒ් නිසා ටේබල් ටෙනිස් ක්‍රීඩා කළා. 2016 වසරේ ජාතික ටේබල් ටෙනිස් තරාවලිය සඳහා ඌව පළාත නියෝජනය කළා. දැන් ටේබල් ටෙනිස්වල නිරත වෙන්න තියෙන කාලය අඩු නිසා ශාරීරික යෝග්‍යතාවය සඳහා පමණක් ටේබල් ටෙනිස් ක්‍රීඩා කරනවා.

මොනවද මේ දවස්වල කරන්ෙන්?

පහුගිය දවස්වල විභාග කටයුතු තිබුණ නිසා අධ්‍යාපන කටයුතුවල තමයි වැඩිපුර නිරතවුණේ. ඒ වගේම සාග් තරගාවලිය සඳහා තේරීම් තරඟ පැවැත්වෙනවා ඒ් සඳහාත් පුහුණු වෙනවා.

කොහේද පුහුණු කටයුතු කරන්ෙන්?

බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ දුනු පිටියේ.

කොතරම් වෙලාවක් පුහුණු කටයුතු කරනවද?

පැය තුනක් විතර කරනවා.

අධ්‍යාපන කටයුතු කරන්නේ?

මම බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරනවා.

මොනවද අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල?

ඒ සමාර්ථ 6ක් සහ බී සමාර්ථ 3ක් එක්ක මම සාමාන්‍ය පෙළ සමත් වුණා.

ඉදිරියෙදි කැමති කුමන අංශයකින් ඉදිරියට යන්නද?

මම පරිඝණක තාක්ෂණයත් හදාරනවා. තොරතුරු තාක්ෂණ අංශයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා.

දුනු විදීමේ ක්‍රීඩාවෙන් ඉදිරි බලාපොරොත්තු මොනවද?

2020 ඔලිම්පික් උළෙල නියෝජනය කිරීම තමයි දැනට තියෙන ලොකුම බලාපොරොත්තුව. ඒකෙ පළවෙනි පියවර විධියට ලබන වසරේ සාග් තරගාවලියට සහභාගි වෙනවා.

කවුද උදව් කරන්නේ?

තාත්තා සනත් දල්පතාදු. මගේ පුහුණුකරුත් තාත්ත තමයි. ඒ් වගේම අම්මා නාමලී ලියනගේ ඒ් දෙන්නා තමයි මගේ ක්‍රීඩාවෙදි ලඟින්ම ඉන්නේ.

[ඩබ්ලිව් ආර්. කුමාර]

මාතෘකා