සාෆ් ශූරතාවය සඳහා ජාතික පාපන්දු පි, බංග්ලාදේශයට

 ඡායාරූපය:

සාෆ් ශූරතාවය සඳහා ජාතික පාපන්දු පි, බංග්ලාදේශයට

සැප්තැම්බර් 4වැනිදා සිට 15වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දොළොස්වැනි දකුණු ආසියානු පාපන්දු ශූරතාව සඳහා සහභාගීවන විසිදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියේය.

කණ්ඩායමේ නායකත්වය හිමිවී ඇත්තේ නාවික හමුදා කණ්ඩායමේ සුබාෂ් මධුෂාන් හටයි. මෙයට අමතරව කණ්ඩායමේ ප්‍රධාන දැල් රකින්නා ලෙස සුජාන් පෙරේරා කටයුතු කරයි. තරගාවලිය සඳහා එක්වන එකම පාසල් ක්‍රීඩකයා වන්නේ අසේල මධුෂාන්ය.

තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග වදින බී කාණ්ඩයෙන් මාලදිවයින සහ ඉන්දියාව ශ්‍රී ලංකාව සමග තරග වැදීමට නියමිතය. ඒ කාණ්ඩයෙන් තරග වදින්නේ පාකිස්ථානය, නේපාලය, භූතානය සමග සත්කාරක බංග්ලාදේශයයි.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය සැප්තැම්බර් 5වැනිදා ඉන්දියාව සමගත් දෙවැනි තරගය සැප්තැම්බර් 7වැනිදා මාලදිවයින සමගත් පැවැත්වේ. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 200 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් 96 වැනි ස්ථානයේ සිටින ඉන්දියාව හෝ 150වැනි ස්ථානයේ සිටින මාලදිවයින යන රටවල් දෙකින් එකක් හෝ පරාජය කිරීමේ අභියෝගය ඇත.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම විදෙස් තරගාවලියක් සඳහා පිටත්ව යන්නේ වසර දෙකකට පසුවය. පසුගියදා දිවයිනට පැමිණි ලිතුවේනියා පාපන්දු කණ්ඩායම සමග ශ්‍රී ලංකාා පිල තරග වැදුණු අතර මාසයකට ආසන්න කාලයක් ජපානයේ සහ දකුණු කොරියාවේ සංචාරය කරමින් පුහුණු තරග කිහිපයකටම සහභාගී විය.

1993 ඇරඹි සාෆ් පාපන්දු ශූරතාවයේ දී පළමු තරගාවලියේ අනුශූරයින් වීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ පාකිස්ථානයේ ලාහෝර් නුවරදීය.

සාෆ් පාපන්දු ශූරතා ඉතිහාසයේ ඉහලම දස්කම වාර්තා කරමින් දෙවැනි සාෆ් පාපන්දු ශූරතාවට සත්කාරකත්වය ලබා දෙමින් එය ජය ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වූයේ 1995 කොළඹ පැවති තරගාවලියේදීය. ඉන්පසුව 1997, 2008 සහ 2015 තරගාවලින්හිදී අවසන් පූර්ව වටය දක්වා පැමිණීමෙන් එහාට යාමට ශ්‍රී ලංකාවට හැකි නොවීය. 2015 තරගාවලියේදී ඇෆ්ගනිස්ථානය හමුවේ ගෝල 5-0කාන් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

සුබාෂ් මධුෂාන් - නායක (නාවික හමුදාව), යෝගේන්ද්‍ර ඩක්සන් පියුස්ලාස්, ධනුෂ්ක රාජපක්ෂ (වෙන්නප්පුව නිව් යංග්ස්), අනුරුද්ධ වරකාගොඩ, සුජිත් කුමාර මෙන්ඩිස්, අෂිකුර් රෙහ්මාන් (ශ්‍රී ලංකා යුද හමුදාව), චරිත් රත්නායක, මොහොමඩ් රිෆ්නාස්, අෆීල් මොහොමඩ්, නිසාර් මෙහොමඩ් ෆසාල්, ජොහාර් මොහොමඩ් සර්වාන්, ඩිලාන් කෞෂල්‍ය ද සිල්වා, කවීශ් ලක්ප්‍රිය ප්‍රනාන්දු (කොළඹ එෆ්.සී.), මරියදාස් නිතර්ෂන්, ජූඩ් සුපුන්, අසේල මධුෂාන් (රිනවුන්), කවිඳු ඉෂාන් හේවගේ, නිකලස් හර්ෂ ප්‍රනාන්දු (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), සසංක දිල්හාර ජයසේකර (රත්නම්), සුජාන් පෙරේරා (ඊගල්ස් - මාලදිවයින)

[ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා

ජනප්‍රිය ලිපි