ශ්‍රී ලංකා විස්සයි විස්ස පළමු ජය කොළඹට

 ඡායාරූපය:

ශ්‍රී ලංකා විස්සයි විස්ස පළමු ජය කොළඹට

තරංගගේ ඉනිමෙන් ගාල්ල ඇදවැටෙයි

උපුල් තරංග උපනායකයා වශයෙන් නොදැවී රැස්කළ ශතකයද සමඟින් ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් ගාල්ල කණ්ඩායම පරාජය කරමින් ලකුණු 90ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට කොළඹ කණ්ඩායම ඊයේ සමත්විය.

පන්දුවාර විස්සක් තුළ ලකුණු 198ක් රැස්කිරීමේ අභියෝගාත්මක ඉනිම ආරම්භ කළ ගාල්ල කණ්ඩායමේ මුල් පෙළේ පිතිකරුවෝ සියලු දෙනාම ඉතා අඩු ලකුණු ගණනකට දැවී ගියහ. කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිමුත් කරුණාරත්න, හා ධනංජය ද සිල්වා එලෙස ඉක්මනින් දැවී ගිය අතර සිව්වැනි කඩුල්ල බිඳ වැටෙන විට ලකුණු පුවරුවට ලකුණු 45ක් පමණක් එක්ව තිබිණි.

ඇන්ජලෝ පෙරේරා පමණක් හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 54ක් රැස්කළේ හතරේ පහර පහක් හා හයේ පහර දෙකක් සමඟිනි. සෙසු පිතිකරුවන් අතරින් ලකුණු දහයේ සීමාව ඉක්මනවා ගියේ අසේල ගුණරත්න(18) හා ජෙෆ්රි වැන්ඩර්සේ (13) පමණි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ කොළඹ කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස්කිරීම සඳහා පිටියට පිවිසියේ නායක දිනේෂ් චන්දිමාල් හා උපනායක උපුල් තරංගය. දිනේෂ් චන්දිමාල් පළමු කඩුල්ල ලෙස ලකුණු 4කට දැවී යද්දී ගාලු පන්දුයවන්නන්ට එරෙහිව දැඩි ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කරන්නට තරංග සමත්විය. ඔහු එම තරගය පුරා නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ශතකයක් රැස්කළ අතර ඒ සඳහා හයේ පහර 11ක් හා හතරේ පහර පහක් එක් කළේය. පන්දු හැටහත් පුරා දියත් වුණු ඔහුගේ ඉනිමේ ප්‍රහාරක වේගය 185ක් ලෙස සටහන් විණි. සෙසු පිතිකරුවන් අතරින් ජීවන් මෙන්ඩිස් පන්දු දහතුනක් තුළ නොදැවී ලකුණු 30ක් රැස්කළේ හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සිය ඉනිමට එක්කරමිනි. ඔහුගේ එම ඉනිමේ ප්‍රහාරක වේගය ලකුණු 230 ඉක්මවනු ලැබිණි.

මෙම තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ සහ මහනුවර කණ්ඩායම හා ගාල්ල සහ දඹුල් කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.

ලකුණු සාරාංශය

කොළඹ කණ්ඩායම 197/5(උපුල් තරංග(නොදැවී) 124, ජීවන් මෙන්ඩිස් (නොදැවී) 30, කසුන් රාජිත 2/38, නිශාන් පීරිස් 2/40, සුරංග ලක්මාල් 1/38)

ගාල්ල කණ්ඩායම 107 (ඇන්ජලෝ පෙරේරා 54, අසේල ගුණරත්න 18, ෂොහන් ජයසූරිය 1/9 , අසිත ප්‍රනාන්දු 1/23 , අකිල ධනංජය 3/23 , ළහිරු මධුසංඛ 2/12, ජීවන් මෙන්ඩිස් 1/19, කමිඳු මෙන්ඩිස් 1/6)

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා