සකියෙනි දෙපා වාරු නැති කළ හැකි කස්තිරම් නැතී

 ඡායාරූපය:

සකියෙනි දෙපා වාරු නැති කළ හැකි කස්තිරම් නැතී

හැත්තෑ දෙහැවිරිදි අයෙකු වුවද ඔහු තවමත් ශක්තිමත්ය. අවුරුදු දහයේදී දළදා පෙරහැරට එකතු වී පුරා අවුරුදු හැට දෙකක් උඩැක්කි නර්තනයේ යෙදුණු ඒ ගාම්භීර මිනිසා තෙන්නකෝන් මුදියන්සේලාගේ මන්තොස බණ්ඩාර තෙන්නකෝන්ය. අද ඇසළ පෙරහැරට රැස පෙළහරෙන් ඔබ හමුවන්නේ ඔහුය.

ඔබ පාරම්පරික වෙද පෙළපතකින් පැවත එන නැට්ටුවෙක්. පාරම්පරික උරුමයටද ඔබ නැටුම් ශිල්පියෙක් වෙන්නේ?

ඔව්. මම පිලවල තෙන්නකෝන් පරම්පරාවේ. අපේ නැටුම් හැදිලා තියෙන්නේ වෙදකම සහ ශාන්තිකර්ම එක්ක. උඩරටටම සුවිශේෂ වුණ සූනියම් (තොවිල්) ශාස්ත්‍රය, අඩක්කු මංගල්‍යය, වැදි යකුන් පිදීම, ගෙවල යකුන් පිදීම, කඩවර යකුන් පිදීම වැනි සියලුම ශාන්තිකර්ම අපේ පාරම්පරික දේවල්. මගේ අප්පච්චි බාල බණ්ඩාර තෙන්නකෝන්.

උඩැක්කිය කියන්නේ එක්තරා බෙර විශේෂයක්. උඩැක්කියේ ඉතිහාසය මොනවගේද?

බෙර වර්ග හැට හතරක් තියෙනවා. ඒ හැට හතරෙන් කුඩාම බෙරය උඩැක්කිය. උඩැක්කියේ නියම නම වෙන්නේ “සිරිවස”. සිරිවස කියන නම එන්නෙ ශාන්තිකර්මවලදි. ඒ ගැන ජනප්‍රවාදයක් තියෙනවා. සූර්ය දිව්‍ය රාජයාගේ හස්තයක තිබුණු වාදන භාණ්ඩය වෙන්නේ රන්සිරිවසක්. ඒකෙන් බිඳිලා ආව වචනයක් තමයි සිරිවස කියන්නේ. විජය ලංකාවට එද්දිත්, කුවේණි ප්‍රමුඛ රටවැසියන් කරන ලද ශාන්තිකර්මයේදී උඩැක්කි භාවිතා කරලා තියෙන බව පැවසෙනවා.

උඩැක්කි නර්තනය සමඟ ඔබතුමාගේ පරම්පරාවේ මතක සටහන් මොන වගේද?

මගේ ලොකු අත්තා ගැන මතකයක් තියෙනවා මට. ඔහු නැති වුණේ 1922 වර්ෂයේ. ඔහු ලක්හාමි තෙන්නකෝන්. තාමත් මම භාවිතා කරන්නේ මගේ ලොකු අත්තගේ උඩැක්කිය. මගේ පියා භාවිතා කළෙත් ඒ උඩැක්කියම තමයි. අපිට නිසි උගැන්මක් තිබුණා. ඒ වගේම මගේ පරම්පරාවේ බොහෝ අය සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු විදියට සේවය කළා. මගේ අයියා සව්සිරි බණ්ඩාර තෙන්නකෝන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළා. එතුමගෙන් පස්සේ මට ඒ අවස්ථාව ලැබුණා. ඉන් පස්සේ මගේ අයියගෙ පුතා නිලුපුල් බණ්ඩාර තෙන්නකෝන් මේ වෙද්දි කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා.

නිසියාකාරව උඩැක්කි නර්තනය පුහුණුවීම සඳහා නර්තන ශිල්පියෙකුට කෙතරම් පුහුණුවක් අවශ්‍ය වෙනවද?

කිසිම නර්තනයක් අවුරුද්දකින් දෙකකින් පුහුණු වෙන්න බැහැ. හරියට උඩැක්කි ගහන්න අවුරුදු හයක් හෝ හතක් අඛණ්ඩව නර්තනයේ යෙදෙන්න ඕන.

උඩැක්කි නර්තනය පුහුණු වීමේදී මූලික සරඹ පුහුණුව අනෙක් නර්තනයන්ගේ සරඹවලට වඩා වෙනස් නේද?

ඔව්. වෙනත් නර්තනවල සරඹ ගායනය කරන්නේ නැති වුණත් උඩැක්කි නර්තනයේ සරඹ ගායනය කරනවා. ඒ වගේම උඩැක්කිවල විශිෂ්ටයෙකු වූ පසු උඩැක්කි අත්මාරු, උඩැක්කි ගැට හා උඩැක්කි අවදානම් කියන නර්තනාංගයන්ගේ ප්‍රවීණත්වයක් ලැබෙනවා. දළදා පෙරහැරට උඩැක්කි අවදානම් කියන නර්තනය සිදු කරන්නේ නැහැ. ඒත් එය තනිවම සිදුකරන බැරෑරුම් නර්තනයක්. කකුල් දෙකෙන් එකිනෙකට වෙනස් නර්තන දෙකක්, වෙනම ගායනයක්, ගායනයට අදාළ නැති වාදනයක් යන සියල්ලම තනිව සිදු කිරීම අවදානමකදී සිදු කරනවා.

උඩැක්කි නර්තනයෙහි ඇති විශේෂත්වය සමාජයේ බොහෝ දෙනෙකු දන්නේ නැහැ. අපි ඒ ගැනත් සඳහනක් කරමු.

අනෙත් නර්තනාංගවල, ගායනය එක් පිරිසක්, වාදනය තවත් පිරිසක් කරනු ලබනවා. තවත් සමහර නර්තනාංගවල නර්තනය හා වාදනය එක් පිරිසක්, වාදනය තවත් පිරිසක් කරනවා. ඒත් උඩැක්කි නර්තනය කියන්නේ ගායනය, වාදනය සහ නර්තනය යන අංග තුනේම එකතුවක්. එහෙම නැටුමකට තියෙන්නේ උඩැක්කි නර්තනය පමණයි. සාමාන්‍යයෙන් බෙරයක් වාදනය කරද්දි බෙර පද වෙන්නේ ‘දොමි කිත කිත දොමි’, ඒත් උඩැක්කියක පද වෙන්නේ ‘දොමි කිත කිත දොං’. සරලව කියනව නම් ‘දොං, ජිං, නං’ කියන පදවලින් උඩැක්කි පද අවසන් කරනවා.

දළදා මාළිගාවේ පෙරහැර තුළ උඩැක්කි නර්තනය සුවිශේෂ වෙන්නේ ඇයි?

අපි දළදා වහන්සේට උපහාර වශයෙන් පන්තේරු සොලවමින් උඩැක්කි වාදනය කළේ අද ඊයෙක නෙෙවයි. ඉස්සර වෙස් නැට්ටුවො නෙවෙයි දළදාව වැඩමෙව්වේ. උඩැක්කි නැට්ටුවෝ. නුගවෙල නිළමෙතුමාගේ කාලේ උඩැක්කි නැටුම ඉවත් කරලා වෙස් නැටුම දළදාව වඩමවන්න අරන් තියෙනවා කියලා බොහෝ අය කියනවා.

නර්තනය, ගායනය සහ වාදනය එකට සිදුකිරීම ලේසි පහසු දෙයක් නොවෙයි නේද?

උඩැක්කි නර්තනය පහසු නර්තනයක් නොවේ. මෙය පේළි දෙකට, පේළි හතරට, රවුමට, පොකුරු විදියට නටනවා. ඒ වගේම අත්මාරු නර්තනය සිදුකිරීමේදී පමණක් කිහිපදෙනෙක් නටනවා. තව අය වාදනය කරනවා. මොකද අත් දෙකම නැතිව උඩැක්කි නර්තනය සිදුකිරීම අපහසුයි.

දළදා මාළිගාවට නටන්න ඔබ එන්නේ අවුරුදු 10ක් වැනි බාල වයසක. ඒ කාලේ මතක මොන වගේද?

ඒ කාලේ මේ වගේ කිසි දෙයක් දියුණු මට්ටමක පැවතුණේ නැහැ. ඒත් මාළිගාවෙ නටන්න තියෙන ආශාව මොන තරම්ද කියනව නම්, අපි ඒ කාලේ කිලෝ මීටර් 7ක් පමණ පයින් ඇවිත් සූදානම් වෙලා තමයි පෙරහැරේ නැටුවේ. ඉස්සර ඒ දවස් එනකම් අපි බලන් ඉන්නේ පුදුම උනන්දුවකින්. මොනතරම් වයසට ගියත් ඒ ආශාව, ඒ උනන්දුව මේ වෙනකම් මගෙ හිතෙන් ඈත්වෙලා නැහැ.

බොහෝ පාරම්පරික නැට්ටුවෝ පරම්පරාවෙන් පිට නව ශිල්පීන් බඳවා ගැනීමක් කරන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?

අපේ කණ්ඩායමේ සාමාජිකයන් තිස් දෙනෙක් ඉන්නවා. ඒ හැමෝම පරම්පරාවෙ අය නෙවෙයි. පරම්පරාවේ පිට අයත් බඳව ගන්න වෙනවා. ඒත් කණ්ඩායමේ හැමෝම මගෙන් ගුරුහරුකම් ගත්තු මගේම ගෝලයො. එහෙම නොවෙන අය මම කණ්ඩායමට බඳව ගන්නෙ නැහැ. ඒ හැමෝම එක සමාන දක්ෂතා සහිත අය විය යුතුයි. එහෙම බලද්දි මගෙන් ඉගෙනගත් සියලුදෙනා මගේ පරම්පරාවෙ අය තමයි.

ඔබ අතිවිශිෂ්ට නර්තන ශිල්පියෙක් ලෙස සම්මාන බොහොමයක් ලබා ගත් අයෙක්. වෙස් නැට්ටුවෙක් විදියට නටන්න අවස්ථාව තියෙද්දි ඇයි උඩැක්කි තෝරගන්නේ?

වෙස් නටන්න ඕනතරම් ශිල්පීන් ඉන්නවා. ඒත් උඩැක්කි නටන්න ලංකාවේ ඉන්නේ බොහොම සුළු පිරිසක්. අපිවත් මේක රකින්න ඕන. ලංකාවේ පාසල්වලත් වෙස් නටන්න හුරු කරනවා මිසක් අනෙත් කිසිම නර්තනයක් පිළිබඳ වැදගත්කම ළමුන්ට පැහැදිලි කරන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදියට මේ වෙද්දි උඩරට කඩු සරඹ ප්‍රගුණ කළ කෙනෙක් දැන් නැහැ. සාම්ප්‍රදායික කඩු පදයක් ඇහෙන්නේ නැහැ. සාම්ප්‍රදායික ලී කෙලි නැටුම දැන් නැහැ. උඩැක්කිවලටත් ඒ දෙන්න වෙන්න බැහැ.

නර්තනය සඳහා අවශ්‍ය උඩැක්කි නිර්මාණය කර ගැනීම කරන්නේ ඔබමද?

මට උඩැක්කියකට හමක් අලවා ගන්න පුළුවන්. ඒත් නිසි ප්‍රමිතියට හදන කාර්මික ඥාණය මට නැහැ. අපේ උඩැක්කි නිර්මාණය කළේ මුහන්දිරම් පරම්පරාවේ අය. ඒ පරම්පරාව රජ කාලේ ඉඳන් උඩැක්කි හදපු මිනිස්සු. ඒ අය ලාක්ෂා කර්මාන්තය කරපු අය. තාමත් ජීවතුන් අතර හිටියත් ඒ ගුරුන්නාන්සේ මේ වෙද්දි උඩැක්කි හදන එක නවත්තලා. දැන් හරි ප්‍රමිතියට හදන උඩැක්කි නැති තරම්.

අවුරුදු 62ක නර්තන ජීවිතයේ ඔබට අමතක නොවන මතක ගැන දැනගන්න අපි කැමතියි...

දළදා පෙරහැර තුළ නම් අසීමිත මතක එකතු වෙලා තියෙනවා. හැම අවුරුද්දකම පෙරහැරට සම්බන්ධ වීමම අමතක නොවන මතකයක්. වෙනත් මතක ගැන කිව්වොත්, ලෝකයේ රටවල් 48ක මම නටන්න ගිහින් තියෙනවා. බ්‍රිතාන්‍යයේ චාල්ස් ඩයනා විවාහ මංගල්‍යයටත් මම නැටුමක් ඉදිරිපත් කළා. ඒවා මගේ ජීවිතයේ අමතක නොවන මතක.

ඔබ නර්තනය වෙනුවෙන් කරපු මෙහෙයට බොහෝ සම්මාන ලැබිලා ඇති?

නර්තනය කරන්න ගත්තු අවදියේ සිට සෑම ජනාධිපතිවරයෙකුගෙන්ම ජනාධිපති සම්මාන ලබාගෙන තියෙනවා. මාළිගාවේ හොඳම නැටුම් කණ්ඩායම වෙලා තියෙනවා. කලා භූෂණ සම්මානය ලැබිලා තියෙනවා. මේ තරම් වයසට ගිහිල්ලත්, පෙරහැරේ නටන්න ලැබෙන ශක්තිය තමයි මගේ ලොකුම සම්මානය.

එදා පෙරහැරයි අද පෙරහැරයි අතර වෙනස්කම් දකින්න ලැබෙන බව නොරහසක්. ඒ වෙනස ඇතිවීම පිළිබඳ ඔබේ අදහස?

කාලානුරූපීව දේවල් වෙනස් විය යුතුයි. ඒ වෙනස පෙරහැර පැත්තෙන් බැලුවම බොහොම වටිනවා. මේ වෙද්දි නැට්ටුවන්ට හොඳට සලකනවා. ආහාරපාන පවා මේ වෙද්දි මාළිගාවෙන් ලැබෙනවා. විසිතුරු ඇඳුම් පැළඳුම් වගේම පෙරහැරත් විචිත්‍රයි. ඒත් මගේ අදහස නම් සියල්ලම වෙනස් වුණත් දළදා පෙරහැරේ සිරිත් වෙනස් නොවිය යුතු බවයි.

දශක පහක් පෙරහැරේ නැට්ටුවෙක් වෙන එක කෙනෙකුට අහම්බෙන් ලැබෙන අවස්ථාවක්. ඔබ ඒ පිළිබඳ තෘප්තිමත්ද?

දළදා පෙරහැරේ නටන එක තමයි අපේ එකම ශක්තිය. මුළු ජීවිත කාලෙම ඒ ආශිර්වාදේ අපට දැනෙනවා. ඒක අදෘශ්‍යමාන දෙයක්. අපේ පරම්පරාව නිර්මාංශයි. ඒ හැමදේම දළදා හාමුදුරුවො වෙනුවෙන් තමයි.

මංතොස බණ්ඩාර තෙන්නකෝන්

[නදී මාණික්කගේ]