දෙවැනි ගිනි පුපුර

 ඡායාරූපය:

දෙවැනි ගිනි පුපුර

පසුගිය අගෝස්තු 3 වැනි සිකුරාදා අප ‘පළමු ගිනි පුපුර’ යනුවෙන් තීරුවක් ලිවීමු. එම තීරුවෙන් අප අගය කළේ ජනපති, අගමැති ඒකාබද්ධව සිදුකළ රටම කැමති ක්‍රියාවක් පිළිබඳය. ඒ, මුදල් තමුන්ගේ පෞද්ගලික සාක්කුවේ දමා ගන්නට පොරකන බොහෝ මැති, ඇමැති, නිලදරුවන් අභිමුව මෙරට මුල් පුරවැසියන් දෙදෙනා ඇරඹූ ක්‍රීඩක ආධාර ව්‍යාපෘතිය සම්බන්ධවය. එදා එලෙස සම්මානිත වූයේ රටේම ඇස ගිය දකුණු ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේද, ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේද එකසේ දක්ෂතා දැක්වූ යෞවනයෝ පිරිසකි. පාරමී වසන්ති ස්ටෙලාට රුපියල් ලක්ෂ පහළොවක් පිරිනමමින් එම කණ්ඩායමේ සෙසු ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සඳහාද එලෙසින් මූල්‍යාධාර පිරිනැමීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය එදා නිවේදනය කළේය. එය ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන්ද තහවුරු කරනු ලැබුණේය.

මෙම සිද්ධි දාමය මගින් කලකට පසුව ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තුළ විශ්වාසයේ ගිණි පුපුරක් දැල්වුණේ යැයි අප පසුගිය 3 වැනිදා පැහැදිලි කළෙමු. එ් බව සනාථ කිරීම සඳහා සුසන්තිකා ජයසිංහ, ශ්‍රියානි කුලවංශ, සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා මතුනොව එකල ඔලිම්පික් සංචිතය නියෝජනය කළ ක්‍රීඩකයන් උදාහරණ කරගත හැකියැයි අපි කරුණු දැක්වීමු.

මුල් පුරවැසියන් දෙදෙනාගේ අදාළ ක්‍රියාවලියට නිසැකවම තුති මල් මිටකින් පිදුම් ලැබිය යුතු බව අපගේ අදහස විය. එසේම ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ජනපති හා අගමැතිගේ අවසරය පිට එකී ක්‍රීඩක, ක්‍රීඩිකාවන් වෙනුවෙන් මාසිකව රුපියල් හැත්තෑ පන්දහසක දීමනාවක් ගෙවීමට ද එකඟ වුණේය. එම මුදල 2024 වසර දක්වා අඛණ්ඩව ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන බවද පැවසිණි. එයද කදිම දිරි ගැන්වීමකි. අමතක කළ නොහැකි ඇගයීමකි. ක්‍රීඩකයන්ගේ ජීවිතයේ ආර්ථික බර, පෝෂණය සම්බන්ධ ගැටලු පසෙක තබා ක්‍රීඩාව නිසිලෙස සිදුකිරීමට ලබාදුන් මනා අත්වාරුවකි. ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පත්මසිරි මහතා ඇතුළු නිලධාරී මණ්ඩලයට අපට තුතිමල් පිදිය හැක්කේ මේ ලබාදුන් සවිය අතිශය වැදගත් වන හෙයිනි.

මෙකී ඇගයීම්හි ආසන්නම ප්‍රතිඵලය වූයේ ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරන ක්‍රීඩක කණ්ඩායම වෙනුවෙන් මීටර් 400 ඉසව්වේ ශ්‍රී ලංකා ජයග්‍රාහකයා ලෙස ඉදිරියට ඒමට අරුණ ශාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේදීම සමත්වීමය. ගිනි මැලයක් දැල්වීමට පළමුව ගිනි පුපුරක් අවශ්‍යය. එසේත් නැතහොත් ගිනි කූරකින් එක්ෂණයෙන් නැගෙන දැල්ල මහා වනයක් දවා හැරිය හැකි එසේත් නැතහොත් පෑලක් නොව ඊටත් එහා ගිය වී අස්වැන්නක් සහල් කරගත හැකිය.

දැන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අරමුදලක් වෙනුවෙන් රුපියල් ලක්ෂ පන්සීයක් ලබාදෙමින් ‘අගමැති ක්‍රීඩා භාරයක්’ නිර්මාණය කර තිබේ. ක්‍රීඩා පිටිය තුළින් නැගුණු සුබවාදී ගිනි පුපුරු ගිනි මැලයක් බවට පත්ව ඇති සෙයකි. දේශීය ක්‍රීඩාව නගාලීම සඳහා අගමැතිගේ සෙවණ හිමිවීම වූ කලි මහත් හරසරින් සැමරිය යුත්තකි. එහෙයින් අප පැවසිය යුතුව ඇත්තේ අගමැතිට තුතිමල් මිටක් නොව තුතිමල් වරුසාවක් පිදිය යුතු බවය. සැබැවින්ම මේ ක්‍රීඩාව වෙනුවෙන් මෑත දශකයේ දල්වන ලද දෙවැනි ගිනි පුපුරයැයි පමණක් අවසන් වශයෙන් අප කියන්නේ එහෙයිනි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා