ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය

තරග දෙකක් ඉතිරිව තිබියදී දකුණු අප්‍රිකාව තරගාවලිය ජය ගනී

තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම තරග පහකින් සමන් විත එක්දින තරගාවලිය ජය ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත් විය. පල්ලේකැලේ පැවැති තුන්වැනි එක්දින තරගයද පහසුවෙන් ජයගැනීමත් සමගම තරගාවලිය 3-0ක් ලෙස දකුණු අප්‍රිකානුවන්ගේ ජය පමණක් වූ ප්‍රතිඵල සටහනක් බවටද මේවන විට පත්ව තිබේ.

දකුණු අප්‍රිකානුවන් විසින් ලබා දුන් ලකුණු 364ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 45.2කදී සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 285ක් පමණි.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග මුළු ලකුණු සංඛ්‍යාව 37ක්වන විට දවා ගැනීමට ලුන්ග් න්ගිඩි සමත් වීම නිසා අස්ථාවර වූ ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු නිරන්තරයෙන් බිඳ වැටුණි. දකුණු අප්‍රිකානුවන් ලබා දුන් ඉලක්කය හඹා යාමේ වගකිම බාරගෙන සිටි කුසල් පෙරේරා පන්දු 17කදී ලකුණු 27ක් ලබා සිටි අවස්ථාවේ දැවී ගිය අතර පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබා අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි තිසර පෙරේරාට රැස් කිරීමට හැකි වූයේ ලකුනු 14ක් පමණි. මුල්ඩර් විසින් තිසර පෙරේරාව මුළු ලකුණු සංඛ්‍යාව 81ක්ව තිබියදී දවා ගන්නා අවස්ථාවේදී ලකුණු ලබා ගැනීමේ දළ වේගය පන්දුවාරයකට 6.7ක් පමණ වූ අතර තිසරගේ දැවී යාමෙන් පසුව ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල වන්නට විය.

මුළු ලකුණු සංඛ්‍යාව 155ක්ව තිබියදී ලකුනු 32ක් ලබාගෙන සිටි නායක මැතිව්ස් දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකාවේ සියලුම බලාපොරොත්තු බිඳ වැටී තිබුණු අවස්ථාවේ 7වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79කින් ලකුනු 95ක සබඳතාවයක් පිහිටුවීමට ධනංජය ද සිල්වා සහ අකිජ ධනංජය සමත් විය. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ට යම් අස්වැසිල්ලක් අත්කර දීමට මෙම පිතිකරුවන් දෙදෙනා සමත් විය. අටවැනි කඩුල්ල ලෙස අකිල ධනංජය ලකුණු 37කට දැවී ගිය අතර ශ්‍රී ලංකාවේ අවසාන බලාපොරොත්තුව වු ධනංජය ද සිල්වා අති විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කිරීමෙන් පසුව ක්‍රීඩාගාරය වෙත ගියේ ලකුණු 84ක් රැස් කිරීමෙන් අනතුරුවය. පන්දු 66කදී හතරේ පහරවල් 8ක් සහ අලංකාර හයේ පහර 3ක් තම ඉනිමට ඇතුලත් කිරීමටද සිල්වා සමත් විය.

කාසියේ වාසිය අත්කර ගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ගේ ඇරයුමින් මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් පෙර තරග දෙකේදී මෙන්ම ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මුහුණ දුන් අතර ඔවුන්ගේ නියමිත පන්දුවාර 50 අවසන් වන විට කඩළු 7ක් දැවී ලකුණු 363ක් රැස්කර ගැනිමට සමත් වී සිටියහ. තම සහායක ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් ලකුණු 2ක් ලබා සිටියදී දැවී ගියත් ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු හෂීම් අම්ලා ගේ වැඩි දායකත්වය නිසා ඒවන විට මුළු ලකුණු සංඛ්‍යාව 42ක් ලෙස සටහන් විය. පන්දු 59කින් ලකුණු 59ක් ලබා ගත් අම්ලා තම ඉනිමට හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් ද එල්ලකර තිබුණි.

අන්තර් ජාතික විස්සයි විස්ස තරග 12කට මුහුණ දීමෙන් පසුව මංගල එක්දින තරගයට සහභාගී වූ රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 89ක් තුල ලකණු 102ක් රැස්කර ගෙන සිටියදී ලහිරු කුමාරගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. ඒවන විටත් හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් තම ඉනිමට ඇතුලත් කිරීමට හෙන්ඩ්‍රික්ස් සමත්ව සිටියේය. තම මංගල එක්දින තරගයේදීම ශතකයක් රැස් කළ ලොව 14වැනි ක්‍රීඩකයා බවට පත්වීමට මෙම තරගයේදී හෙන්ඩ්‍රික්ස් සමත් විය. ඉන් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවී ඇති ශතක සංඛ්‍යාව 5ක් බවට පත් කිරීමටද හෙන්ඩ්‍රික්ස් සමත් වීම විශේෂිතය. හෙන්ඩ්‍රික්ස් දැවී යන විට පන්දුවාර 35කදී ලකුණු 215ක් ලෙස දකුණු අප්‍රිකා ලකුණු පුවරුව දැක්විණි.

තරගයේ අවසන් පන්දුවාර 15 දී ඉතා වේගවත් පිති ප්‍රහාරයක් දියත් කළ ජීන් පෝල ඩුමිනි සහ ඩේවිඩ් මිලර් ලකුණු 103ක සබඳතාවයක් වාර්තා කළේ පන්දු 70ක් තුලදීය. දකුණු අප්‍රිකානුවන්ගේ ලකුණු සංඛ්‍යාව 350 සීමාවෙන් ඔබ්බට ගෙනයාමට දායක වූවන් අතර ප්‍රමුඛයා වූ ඩුමිනි ලකුණු 92කට දැවීගියේ පන්දු 70කට පමණක් මුහුණ දෙමිනි. හතරේ පහර 8ක් හයේ පහර 4ක් ඩුමිනිගේ ඉනිමට ඇතුලත් විය. ඩේවිඩ් මිලර්ගේ ඉනිම පන්දු 47කදී ලකුණු 51කි. එක් හයේ පහරක් සහ හතරේ පහර 5ක් එල්ලකිරීමට මිලර් සමත් විය.

දකුණු අප්‍රිකානු ඉනිමේ කඩුළු 4ක් දවාගැනීමට තිසර පෙරේරා සමත් විය. ඔහුගේ පන්දුවාර 10 තුලදී ලකුණු 75ක් ලබාගැනීමටද දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වී සිටියහ. එක් කඩුල්ලක් දවාගත් අකිල ධනංජයගෙන් පන්දුවාර 10 තුලදී ලකුණු 81ක් උදුරා ගැනීමට දකුනු අප්‍රිකානු පිතිකරුවන්ට හැකි විය.

මාතෘකා