ආසියානු ශූරතා දැල්පන්දු නායිකාව නම් කරන්න කල් වැඩියි : ක්‍රීඩා අමාත්‍යාංශය

 ඡායාරූපය:

ආසියානු ශූරතා දැල්පන්දු නායිකාව නම් කරන්න කල් වැඩියි : ක්‍රීඩා අමාත්‍යාංශය

ආසියානු දැල්පන්දු ශූරතාව සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට තවත් කාලයක් පවතින බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. එහි ප්‍රකාශකයකු සඳහන් කළේ අදාළ පත්කිරීම සඳහා දැල්පන්දු සංගමය විසින් නිර්දේශ සිදුකර ඇති මුත් එය තවත් සති කීපයක ඇවෑමෙන් ප්‍රකාශයට පත්කිරීම සිදුකරන බවයි. ‘අපි දන්නෙ නෑ මේ පත්කිරීම හරියටම හරිද කියලා.

ඇතැම්විට ඒ ක්‍රීඩිකාව අවසානවකට හෝ ආබාධයකට මුහුණ දුන්නොත් නායකත්වය ඇයට ලබාදෙන්න බෑ. අවසන් සංචිතයක් නිර්මාණය කරලා ඒ සංචිතයේ අවසන් පුහුණුවීම් සිදුකරලා සංචාරය පිටත්ව යනවිටයි කණ්ඩායමේ නායිකාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන්නේ.

අපි කියන්නෙ කණ්ඩායම ඇතුළෙ නායිකාවක් හදාගෙන ඇයගේ මූලිකත්වය යටතේ මේදේවල් සිද්ධ කළාට කමක් නෑ. නමුත් එය නිල වශයෙන් ප්‍රකාශ කරන්නෙ තව සති කීපයකින් පසුවයි’ යැයි එම ප්‍රකාශකයා රැසට සඳහන් කළේය.

මේ අතර මලාවි රාජ්‍ය යේ සිදුකරනු ලබන සංචාරය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදුන්නේද ක්‍රීඩා අමාත්‍යංශය බව එම අමාත්‍යංශය පවසයි. රුපියල් ලක්ෂ 16ක මුදලක් මේ වෙනුවෙන් ලබාදුන් බව එම අමාත්‍යංශය සඳහන් කළේය. ‘ඇතැම් මාධ්‍යවල පළවන වාර්තා අසත්‍යයි. ඒවා පිළිගත නොහැකියි.

අපි දන්නෙ නෑ ඇයි මේ වගේ දේවල් ප්‍රසිද්ධ කරන්නෙ කියලා. අපි ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න කටයුතු කළා’ එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. මෙම වසරේ සැප්තැම්බර් 1 වැනිදා සිට 9 වැනිදා දක්වා ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය සිංගප්පූරුව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

මාතෘකා