අවුරුදු දහනවයේ ක්‍රීඩකයා මහනුවර ගෞරවය රකී

 ඡායාරූපය:

අවුරුදු දහනවයේ ක්‍රීඩකයා මහනුවර ගෞරවය රකී

සුපිරි කණ්ඩායම් හතර තරගාවලිය යටතේ දඹුල්ල කණ්ඩායම පමණක් එක් තරගයක් ජයග්‍රහණය කිරීමට සමත්වූ අතර ඊයේ පැවැති ගාල්ල හා මහනුවර අතර තරගය ජයපැරදුමෙන් තොරව නිමාකරගැනීමට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ ඉනිම ඉවහල් විය. අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරග සඳහා මීට වසරකට පෙර ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක කොළඹ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. ඔහු හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවට පත්වූ තරගයේ ආරම්භක පිතිකරුවා වශයෙන් පිටියට පිවිස තරගය ජය පැරදුමෙන් අවසන් කරගන්නා තුරු තම කඩුල්ල එක් අන්තයකින් ආරක්ෂා කරගැනීමට සමත්විය. ඔහු එහිදී ද්විත්ව ශතකයක් කරා ගමන් ගන්නා ආකාරයක් දක්නට ලැබුණු නමුත් තරගය අවසන් වනවිට රැස්කරගැනීමට හැකිවූයේ නොදැවී ලකුණු 188ක් පමණි. දිනයේ පිතිකරුවා වශයෙන් සියලු ගෞරව තමන් වෙත දිනාගත් පැතුම් නිශ්ශංක මහනුවර පිල වෙනුවෙන් ජයග්‍රහණයේ පැතුම් නිමවමින් ලකුණු 547ක දැවැන්ත ඉලක්කය ලකුණු 184ක් දක්වා අඩු කිරීමට සමත් වූයේය. පැතුම් නිශ්ශංක හයේ පහර තුනක් හා හතරේ පහර 20ක් සමගින් පන්දු 226කට මුහුණ දෙමින් මෙම ඉනිම ක්‍රීඩා කළ අතර  ඔහුට අනගි සහයක් ලබාදෙමින් නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 56ක් රැස්කළේය. 
කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ගාල්ල කණ්ඩායම විසින් තමන් වෙත පවරා ගත්තේය. ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම වශයෙන් සියලු දෙනා දැවී ලකුණු 425ක් රැස්කළේ රොෂේන් සිල්වාගේ ලකුණු 168ත් සමඟිනි. ඔහුට අනගි සහයක් ලබාදුන් දසුන් ශානක ලකුණු 90ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු මාධව වර්ණපුර ලකුණු 66ක් රැස්කළේය. පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායම ලකුණු 185ක් තුළ දවාගැනීමට කොළඹ පන්දුයවන්නන් සමත්වූ අතර වැඩිම ලකුණු ලාභියා වූයේ නිරෝෂන් දික්වැල්ලය. ඔහු ලකුණු 39කට දැවී ගියේය. නිශාන් පීරිස් මහනුවර පිතිකරුවන්ගේ හිසරදය බවට පත්වෙමින් කඩුලු හයක් බිඳ හෙළීය. ගාල්ල දෙවැනි ඉනිම වැඩි වාසියක් සහිතව ආරම්භ වූ අතර එය තවදුරටත් ඉදිරියට රැගෙන යමින් නායක උපුල් තරංග ලකුණු 103ක් රැස්කළේය. රොෂේන් සිල්වා දෙවැනි ඉනිමේදීද සාර්ථක වෙමින් ලකුණු 89ක් රැස්කළ අතර මහනුවර කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න කඩුලු පහක් දවා ගැනීමට සමත්විණි. ඒ අනුව කඩුලු නවයක් දැවී ලකුණු 309ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවූ ගාල්ල නායකයා ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු  547ක දැවැන්ත ඉලක්කයක් මහනුවර පිල අභිමුව තැබුවේය.
ලකුණු සාරංශය
ගාල්ල පළමු ඉනිම 425 (රොෂේන් සිල්වා 168, දසුන් ශානක 90, ප්‍රභාත් ජයසූරිය 4/116)
දෙවැනි ඉනිම 306/9 (උපුල් තරංග 103, රොෂේන් සිල්වා 89, චාමික කරුණාරත්න 5/63)
මහනුවර පළමු ඉනිම 185 ( නිරෝෂන් දික්වැල්ල 39, නිශාන් පීරිස් 6/67)
මහනුවර දෙවැනි ඉනිම 363/3 (පැතුම් නිශ්ශංක (නොදැවී) 188, නිරෝෂන් දික්වැල්ල (නොදැවී) 56)
දඹුල්ල - කොළඹ
දඹුල්ල හා කොළඹ කණ්ඩායම් අතර නිමාව දුටු තරගයෙන් කඩුලු පහක ජයක් හිමිකරගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්විය. පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 210ක් රැස්කළ අතර එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලසිත් අබේරත්නය. ඔහු ලකුණු 85ක් රැස්කිරීමට සමත්වූ අතර කඩුලු දවාගැනීමේදී ළහිරු මධුසංඛ විසින් දක්ෂතා දැක්වූයේ පිතිකරුවන් පස්දෙනෙකු දවා ගනිමිනි. කොළඹ කණ්ඩායමේ පළමු ඉනිමට පිළිතුරු වශයෙන් දඹුල්ල කණ්ඩායම මනෝජ් සරත්චන්ද්‍රගේ රැස්කළ ශතකයත්, කුසල් ජනිත් පෙරේරා රැස්කළ ලකුණු 85ත් සමඟින් ලකුණු 359ක් රැස් කළෝය. 
කොළඹ කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 351කට සීමාවුණු අතර ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 4ක් දවා ගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 203 ක ඉලක්කයක් හඹාගිය දඹුලු ක්‍රීඩකයෝ කඩුලු පහක් දැවී ලකුණු 205ක් රැස්කරමින් තරගය ජයගැනීමට සමත්වූයේ අනතර් පළාත් සුපිරි කණ්ඩායම් හතර ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කරමිනි.
ලකුණු සාරාංශය
කොළඹ කණ්ඩායම පළමු ඉනිම 210 ( ලසිත් අබේරත්න 85, වනිඳු හසරංග 52, ළහිරු මධුසංඛ 5/43)
දෙවැනි ඉනිම 351( ෂෙහාන් ජයසූරිය 77, ළහිරු තිරිමාන්න 52, වනිඳු හසරංග 52, ජෙෆ්රි වැන්ඩර්සේ 4/101)
දඹුල්ල කණ්ඩායම පළමු ඉනිම 359 ( මනෝජ් සරත්චන්ද්‍ර 103, කුසල් ජනිත් පෙරේරා 85, ජෙෆ්රි වැන්ඩර්සේ 40, ඩිලේෂ් ගුණරත්න 4/68)
දෙවැනි ඉනිම 205/5 ( කුසල් මෙන්ඩිස් 62,  සචිත්‍ර සේරසිංහ 55, මනෝජ් සරත්චන්ද්‍ර (නොදැවී) 27, තික්ෂිල ද සිල්වා 3/53)

මාතෘකා