අල් ජසීරාවෙන් නිරුවත් වූ 'මහත් හොරුන්ගේ' ක්‍රීඩාව | ඇස පාදන රැස


අල් ජසීරාවෙන් නිරුවත් වූ 'මහත් හොරුන්ගේ' ක්‍රීඩාව

 ඡායාරූපය:

අල් ජසීරාවෙන් නිරුවත් වූ 'මහත් හොරුන්ගේ' ක්‍රීඩාව

ශ්‍රී ලංකාවේ අප පමණක් නොව ලෝක ජනගහනයෙන් හයෙන් දෙකකට වඩා ඔල්වරසන් නැගූ ක්‍රිකට් ක්‍රීඩාව, අප ආඝ්‍රාණය කළ ක්‍රිකට් ක්‍රීඩාව, ආශ්වාදනය කළ ක්‍රිකට් ක්‍රීඩාව, අපට අභිමානය ගෙන ආ ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගෙන් ගිලිහී "මහත් හොරුන්" අතට පත්වීම ගැන වසර ගණනක් පුරාවට අපි කණගාටුවෙන් කතා කළෙමු. එය දෙගුණ කරමින්, මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස අප රැවටූ එහි කඩතිර ඉරා දමා එහි සැබෑ නිරුවත හෙළි කරන්නට අල් ජසීරාගවේෂණාත්මක මාධ්‍යවේදීන් සමත් වීමත් සමඟ අප හදවතින් ආදරය කළ ක්‍රීඩාවේ අනාගතය ගැන දරුණු ගැටළුකිහිපයක්මමතුව තිබේ.

නිරුවත

ඕනෑම ක්‍රීඩාවක මූල්‍යමය පදනම ශක්තිමත් වීම එහි පෙරගමනට හේතුවක් වනවා සේම එහි පසුබෑමටත් හේතුවිය හැකි කරුණක් විය හැක. ක්‍රිකට් ක්‍රීඩාවට සැබෑ මුල්‍යමය වටපිටාවක් නිර්මාණය වන්නේ 1990 දශකයෙනුත් පසු ය. මූල්‍ය පසුබිමක් නිර්මාණය වූ බවට සාක්ෂි වන්නේ තරග පාවා දීම නොහොත් (Match fixing) කරලියට පැමිණීම ය.

අශ්වයන් හෝ සුනඛයන් ධාවනයේ යොදවා උන් වෙනුවෙන් ඔට්ටු ඇල්ලීම සිදුකරන "රේස් ඔට්ටු සැල්" ඔබත් මහමඟ දෙපස දැක ඇති. දිනන්නේ කවුද, පරදින්නේ කවුද වශයෙන් ඔට්ටු ඇල්ලිය හැකි එයින් ගොඩ ගිය සුදූකරුවන් ගැන අප කිසිදිනෙක අසා නැතත් ක්‍රිකට් ක්‍රීඩාවට බුකිකරුවන්ගේ එළඹීම ඊට වඩා ප්‍රබල ය.

තරග පාවාදීමේ මාෆියාවේ ප්‍රධාන හෙන්චයියෙකු වන අනීල්මුනාවර්ව හොර රහසේ ව්‍යාපාරිකවෙස් වලාගෙනහමුවූඅල්ජසීරා මාධ්‍යවේදියාට මුනාවර්විසින් මෙසේ පවසා ඇත.

"මේක අපි අවුරුදු හයක් හතක් තිස්සේම කරනවා. තරගවලින් 60%ක්70%ක්ම අපට ඕන දේ කළහැකි යි."

එසේනම් උන්මාදනීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට මින් ඉදිරියට විශ්වාස කළ හැක්කේමොනවාද?

'ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔට්ටු අල්ලන්නේ කෙසේද?' වැනි ප්‍රශ්නයක් ඔබට ඇතිවන්නේ නම් එය මෙසේ පැහැදිලි කළ හැකිය. යම් කණ්ඩායමක් ජයග්‍රහණය කරන්නේද, නැද්ද යන්න පිළිබඳව ඔට්ටු ඇල්ලිය හැකිය. එවිට මාෆියා කල්ලි ප්‍රධානීන් විසින් ඔවුන්ගේ බුකි හෙන්චයියන් යොදවා විශාල ඔට්ටු ඇල්ලිය හැකි ධනවතුන්, නැතහොත් "මෝරුන්" හඳුනාගනියි. ඔවුන්ගේ විශාල මුදල් ඔට්ටු බර තබන්නේ කුමන අන්තයේදැයි ඔවුන්ට උපදෙස් දෙන්නේ මේ හෙන්චයියන් විසිනි.

එහෙත් ක්‍රිකට් තරගයක ජයග්‍රහණය නිසැකවම පූර්ව නිගමනවලින් පවසන්නේ කෙසේද? 'ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි'ය යන බණය අපි උපතේ සිට අසා ඇත්තෙමු. සත්‍ය කතාව නම් එය තවදුරටත් අවිනිශ්චිත ක්‍රීඩාවක් නොවන බවයි. ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කරවීමට වඩා පහසුවෙන් පරාජය කරවීම සිදුකළහැකිය.

උදා - A නම් කණ්ඩායම දිනවීමෙන් ඔට්ටුකරුට තමා ඔට්ටු තබන මුදල මෙන් 25 ගුණයක් ඉපයිය හැකිනම් උක්ත හෙන්චයියන් විසින් ධනවතුන්ට ඔට්ටු තැබීමේ අවශ්‍යතාවය කාවද්දනු ලැබේ. A හා B අතර තරගයේදී හෙන්චයියන් විසින් B කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මාෆියාවට සහාය දෙන්නන් බවට පත්කරගනු ලබන්නේ මුදල් කන්දරාවක් පිරිනමමිනි. ඔවුන් තරගය පරාජය වන අයුරින් ක්‍රීඩා කරයි. A කණ්ඩායමේ ජයග්‍රහණයත් සමඟින් ඔට්ටු තබන්නාද, හෙන්චයියන් ද, අවසානයේ මාෆියා ප්‍රධානීන් ද අධික ලාභ ලබන්නන් බවට පත්වේ.

ටෙස්ට්තරගයකදී නම් තරගය සමව අවසන් වීමෙන් මුදල් ඉපයිය හැකි මාවත් අවහිර විය හැකි බැවින් ඔවුන් මිළට ගන්නේ ක්‍රීඩාංගන භාර නිලධාරීන් ය. තණතිල්ල කඩා ඉහිරවා හෝ තරගය තමාට අවශ්‍ය තීරණයක් කරා මෙහෙයවීමට තරම් මේ මාෆියා කල්ලි බලවත් ය.

එතැන ඇත්තේ තීරණ දෙකකි. එනම් ජය හෝ පරාජයයි. එහෙත් බුකිකරුවන්ට ඊට වඩා මුදල් ඉපයිය හැකි ක්‍රමවේදයක් නිර්මාණය කරගත හැකිවිය. එය නිශ්චිත ඔට්ටු තැබීමක් හෙවත් Spot-fixing නම් වේ.

මෙය අදාළ වන්නේ පන්දු ඕවර 6ක සිට 10ක පමණ කාල පරාසයකටය. එහිදී පිතිකරණයේ යෙදෙන කණ්ඩායම ලබන ලකුණු ප්‍රමාණය අනුව, දැවෙන කඩුලු ප්‍රමාණය අනුව ඔට්ටු තැබීම සිදුකරයි. සීමිත පන්දු ඕවර තරගයක් නම් ඔවුනට මෙවන් ඔට්ටු විශාල ගණනක් තැබිය හැකිය. මේ අයුරින් ඉනිමක ලකුණු, කඩුලු ආදී මූලික සංඛ්‍යා දත්තයන්ට ඔට්ටු තැබේ.ඉන් උපයන මුදල් කන්දරාව ගැන දළ අදහසක් ඔබට දෙන්නේ නම්, අප මේ කතා කරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන ගණන් ගැන ය. හෙන්චයියන් හරහා මාෆියා ප්‍රධානීන්ට ලාභාංශ බෙදී යයි. ඉන් තවතවත් පොහොසත් වන මාෆියා ව්‍යාපාර වලින් තවදුරටත් ක්‍රීඩකයන් මිළට ගැනීම සහ නිලධාරීන් මිළට ගැනීම සිදුකෙරේ. අවංක ප්‍රේක්ෂකයන්ගේ කඳුල හෝ සුසුම ඔවුනටඅදාළම නැත.

හැන්සික්‍රොන්යේ නම් ශ්‍රේෂ්ඨ නායකයාගේ අභාග්‍යය

2000 වර්ෂයේ මැද භාගයේදී ඉන්දියානු බුකිකරුවන් හා එක්ව කළ තරග පාවාදීමක්පිළිබඳව ලොව පිළිගත් ශ්‍රේෂ්ඨ ක්‍රිකට් නායකයෙකු වන, දකුණු අප්‍රිකාවේ හැන්සික්‍රොන්යේ හට චෝදනා එල්ල විණි. දකුණු අප්‍රිකාව ලොව ප්‍රමුඛ ක්‍රිකට් රාජ්‍යයක් බවට ඔසවා තැබූ ක්‍රොන්යේ වැනි ප්‍රබල නායකයෙකු පවා එවැන්නකට පෙළඹීමම බුකිකරුවන්ගේ ප්‍රබලත්වය මැනවින් විදහා පෑ සිද්ධියකි.

පසුව වරද පිළිගත් ක්‍රොන්යේ හට ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්වන්නටසිදුවිය. සියලු තොරතුරු හෙළිකිරීම නිසා ක්‍රොන්යේ මරණ තර්ජනවලටද ලක්වූ අතර අවසානයේදී 2002 වසරේදී ඔහු පෞද්ගලික ගුවන් අනතුරකින් මියගියේය. එය අදටත් නොවිසඳුණු අභිරහසකි.

තුන් ඈදුණු වික්‍රමය

ඉන් පසුව වඩාත්ම කතාබහට ලක්වූ තරග පාවාදීමපාකිස්තානු කණ්ඩායමේ සල්මාන්බට්, මොහොමඩ් ආසීෆ් සහ මොහොමඩ් අාමීර්, චූදිතයන් වූ පාවාදීම ය. ඒ 2010 වසරේදී යි. තරග පාවාදීම සනාථ වූ පසු මොවුන් තිදෙනාටම තරග තහනම් නියම විය. දඬුවම් කාලයෙන් පසු නැවතත් ක්‍රිකට් ක්‍රීඩා කරන 26 හැවිරිදි මොහොමඩ් අමීර්ව නරඹන ප්‍රේක්ෂකයෙකු වශයෙන් කිවහැකි වන්නේ ඔහුගේ ක්‍රිකට් දිවියේ හොඳම වසර 8ක් පමණ ඒ හේතුවෙන් ඔහුට අහිමිව ගිය බව ය. 2010 වසරේදී 17 හැවිරිදි වේග පන්දු යවන්නෙකුව සිටි ඔහුව ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විසින් හැඳින්වුණේ මීළඟ වසීම් අක්‍රම් ලෙස යි. එහෙත් මාෆියාව විසින් ඔහුදගිලගනු ලැබීය.

ඉන් වසර 8කට පසුව අදටත් හිස්ව පවතින පාකිස්තානු නිත්‍ය ටෙස්ට් ආරම්භක පිතිකරණ ස්ථානයේ පැහැදිලි හිමිකරුවා වීමේ ශක්‍යතාව තිබූ සල්මාන් බට්ගේ ක්‍රිකට් දිවියම වතුරේ ගියේය. පන්දුව දෙපසටම දෝලනය කරමින් පිතිකරුවන් මවිත කළ මොහොමඩ් ආසිෆ්ද අපතේ ගිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත්විය.

මේ සියල්ල පිටුපස සිටි මාෆියා මහා මොළකරු දාවුද් ඉබ්‍රාහිම් පසුගියදා නැවත කරලියට පැමිණෙන්නේ අල් ජසීරා මාධ්‍යයේ ගවේෂණාත්මක වාර්තා චිත්‍රපටයෙනි. එහෙත් ඒ නමට පමණකි.මේ කිසිදු රහස් සාකච්ඡාවකට ඔහු සහභාගී වී නැත. ගෝලීය ත්‍රස්තවාදියෙකු වශයෙන් 1980 දශකයේ සිටම හැඳින්වෙන දාවුද්, අඬුව තිබියදීඅත පුළුස්සාගෙන නැත. එහෙත් තරග පාවාදීම් ගැන ප්‍රමාණවත් සාක්ෂි අල් ජසීරා සතු ය.

අල් ජසීරා විවර කළමෑත සාක්ෂි

2016 එංගලන්ත - ඉන්දියා ටෙස්ට් තරගාවලිය දාවුද්ගේ හෙන්චයියන් විසින් පාලනය කෙරුණු අයුරු වීඩියෝවේ පැහැදිලිව සඳහන් ය. ඊට ඉත්තන් වූ එංගලන්ත ක්‍රීඩකයන්ව නීතිමය හේතූන් මත (කුමන නීතියදැයි පැහැදිලි නැතත්) හෙළිදරව් කර නැත."ඔවුන්ට අපි ගැන හෙළිකරන්න හෝ අපි ව්‍යාපාර කරන හැටි ගැන හෙළිකරන්න කිසිම අයිතියක් නැහැ." දාවුද්ගේ ප්‍රධාන හෙන්චයියකු වන අනීල් මුනාවර් හොර රහසේම කියනු වීඩියෝ දර්ශන වල ඇත.

2017 ශ්‍රී ලංකා - ඉන්දියා ටෙස්ට් තරගාවලියේ ගාල්ලේ තරගයේදී ක්‍රීඩාංගනයේ උප කළමනාකරු මෙන්ම තණතිල්ල භාර තරංග ඉන්දික විසින් වෙනත් ඉන්දියානු බුකි තැරැව්කරු රොබින් මොරිස් ඉදිරියේ මෙසේ කියනු වීඩියෝ දර්ශනවල පැහැදිලිව සටහන්ව ඇත.

"ඔබට වේගවත් විකට්ටුවක් හෝ දඟ කැවෙන විකට්ටුවක් අවශ්‍ය නම් ඒක කළ හැකියි." එහි තේරුම "ඉන්දියාවට හිතකර හෝ අහිතකර තණතිල්ලක් ලබාදිය හැකිය" යන්නයි. එසේ දූෂිත අයුරින් තණතිලි සකස් කිරීමේ ක්‍රමය ද ඔහු විසින් හොඳින් පැහැදිලි කර දෙන අයුරු එහි සඳහන් ය. තරගයේ වැඩිම මිළ තිබුණේ ඉන්දියාවට බරව බව අපි කව්රුත් දනිමු. කෙසේ හෝ ඉන්දියාවට සහ බුකිකරුවන්ට ජයග්‍රහණය ගෙන එමින් තරගය අවසන් වුණේදින පහක් ගතවීමටත් පෙර යි. ටෙස්ට් ක්‍රිකට් රසවිඳින ප්‍රේක්ෂකයන්ට ඉන් සිදුවූ අසාධාරණයට වන්දි ගෙවන්නේ කවුරුන්ද?

2016 ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ටෙස්ට්තරගාවලියේදී ශ්‍රී ලංකාව ජයගන්නා විට බොහෝ දෙනා ඔල්වරසන් නැගූ බව සැබෑවකි. එහෙත් සැබෑ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කියා සිටියේ තණතිලිවල ස්වභාවය අතිශයින්ම දුර්වල බවයි. පන්දුව තණතිල්ලේ වැදී එන හැටි කිසිසේත්ම සම තරගයකට ඉඩකඩ විවර කළේ නැත. The Australian පුවත්පතද ඒ පිළිබඳව ප්‍රශ්න කොට තිබුණි.එහෙත් එවකට ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මෙසේ කීවේය.

"අපි එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ යනකොට ක්‍රීඩා කරන්නේ වේගවත් තණතීරුවල. මෙහෙදී අපි අපේ වාසිය ජයග්‍රහණයට යොදාගන්න ඕන."

නමුත් සිදුව තිබුණේ කුමක්දැයි අල් ජසීරා වීඩියෝවේ සටහන්ව ඇත්තේ වෙනත් විදියකට ය.

"මට බැටින්විකට් හදන්නත් පුළුවන්, බෝලින්විකට් හදන්නත් පුළුවන්. ගාල්ලේ තණතීරු භාරකරු එසේ කියන අයුරු අපි දුටුවෙමු. දින දෙක හමාරකදී ටෙස්ට් තරගයක් අවසන් වීම ප්‍රේක්ෂකයන්ගේ අවාසනාවක් මිස වාසනාවක් නම් නොවේ.

මීළඟ තරගාවලියක් ගැන විමසන විටදී"ඕනෙනම් දවස් දෙකෙන් ඉවර කරමු" යනුවෙන් ඔහු සහ ඔහුගේ චක්ගෝලයෙකු සිනාසෙනුද වීඩියෝවේ ඇත. ඒ සිනාසෙන්නේ අපට ය. ‘ලෝක ක්‍රිකට් ලෝලීන්ට’ ය.

එම තරගයට කළු මුදල් ඈඳූ ඉන්දියානු තැරැව්කරු රොබින් මොරිස් තරගය ඉක්මණින් නිමවීම පිළිබඳව සතුටින්, විශාල මුදල් කන්දරාවක්ද සමඟ නැවත ඉන්දියාව බලා යන දර්ශන ද අපි දුටුවෙමු.

"දවස් දෙකෙන් වැඩේ කෙරුණා." ඔහු කියයි.

2017 ඕස්ට්‍රේලියා - ඉන්දියා තරගාවලියේ තරග කිහිපයකදීද එය එසේම සිදුවනු දැකිය හැකිවිය. අනීල් මුනාවර් විසින් මීළඟ පන්දු ඕවරවලදී'අසවලා විසින් මෙය සිදුකරන්නේය' කියන විට එය සිදුවුණේය.එහෙත් ඊට සහභාගී වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ නම් ද අල් ජසීරාවෙන් සඟවා ඇත.

2018 පෙබරවාරියේ ඩුබායිහිදී පැවැත්වුණු 20-20 තරගාවලියක තරග පාවාදීමේ දර්ශන ඔබත් මමත් අන්තර්ජාලය තුළින් දුටුවෙමු. ක්‍රීඩකයන් දුවද්දී දැවීයාම් සඳහා ගොදුරු වන අටියෙන් තණතිල්ලේ විකාර අයුරින් දිවයනු දැකීම අතිශය කණගාටුදායක වූයේ ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් පල්ලම් බැස ඇත්ද යන්න සිහිවී ය.

ඊට ඩුබායි නගරයේ සිට ධනවතුන් දඩයමේ යෙදෙන ඉන්දියානු ජාතික රාජ් කුමාර් සැලසුම් කරන අයුරු පැහැදිලිවම අල් ජසීරා කැමරා ඇසට හසුව ඇත.

"හැම රටකම 20-20 තරගාවලියක් තියෙනවා. ශ්‍රී ලංකාවත් එකක් සැලසුම් කරමින් ඉන්නේ. මම ඩුබායි ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානියාවත් හමුවුණා. ඔහුත් ලෑස්තියි." ඔහුගේ සැලසුම හෙළිවූයේ රහස් කැමරා සහ මයික්‍රොෆෝනවලටයි.

පසුව ඔවුන් තරග පාවාදීමෙන් මුදල් ඉපයීම උදෙසාම ඩුබායිහිදී ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කළේය. වැදගත්ම දෙය නම් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය දෙසද මේ බුකිකාක්කන්ගේ දෑස් යොමුවී ඇති බව ඉන් හෙළිවීමයි.

ඩුබායි තරගාවලියට සහභාගී වීමට පාකිස්තානයෙන් බිහිවූ ලාබාලතම ජාත්‍යන්තර ක්‍රීඩක හසන් රාසාද එක්වී තිබුණේ බුකිකරුවන්ගේ නිල ක්‍රීඩකයෙකු හැටියටයි. වයස අවුරුදු 14දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පා තැබීමේ දුර්ලභ වරම ලද්දෙකු පවා එහි ගෞරවය පසෙකලා කළු සල්ලි හඹායමින් සිටිනු දැකීම කණගාටුදායක ය. එහෙත් එය දෙගුණ කළේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ජීවන්ත කුලතුංග සහ දිල්හාර ලොකුහෙට්ටිගේද කොළඹදී වෙස් වලාගත් මාධ්‍යවේදියා හමුවීම ය.බුකි තැරැව්කරුවන් වන මොරිස් සහ කුමාර් සමඟින් තරගයක් පාවාදීමේ සැලැස්ම ඉදිරිපත් කරන විට කුලතුංග සහ ලොකුහෙට්ටිගේ යන දෙදෙනාම ඊට එකඟ විය.

“කිසිම කලබලයක් නැතුව වැඩේ කරන්න පුළුවන්. ක්‍රිකට් ගහනවා කියන්නේ අපට උදේට දත් මදිනවා වගේ දෙයක්. ඔබේ සැලසුමට අනුව ක්‍රීඩා කිරීම ලේසිම දෙයක්. අපි ආවේ ඔබ නිසා. ඔබ අපිවබලාගන්න, අපි ඔබව බලාගන්නම්. ලේසියෙන්ම." කුලතුංග ඩුබායි තරගාවලිය පාවාදීමට එකඟ වූයේ ඒ අයුරිනි.

මෙතැන් සිට...

2016 සිට මේ දක්වා පැවැත්වුණු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සැලකිය යුතු ප්‍රමාණයක වීඩියෝ දර්ශන සහිත සාක්ෂි මෙසේ ඉදිරිපත් වී තිබියදී පරිපාලකයින් හෝ නිලධාරීන් හෝ ක්‍රීඩකයන් කුමක් කියූවත් මේ සියල්ලේම බලපෑම එල්ලවන්නේ ක්‍රිකට් ක්‍රීඩාව විශ්වාස කළ උන්මාදනීය ප්‍රේක්ෂකයාට ය. ඔහුට යන එන මං නැත. රැකියාවෙන් පසු සවස නිවසට විත් තමන්ගේ රට ගැන අභිමානයෙන් හෝ තමන්ගේ කණ්ඩායම ගැන මමත්වයෙන් තරග නැරඹු ඔහු කෙරෙන් බිඳීයන විශ්වාසය ගොඩනැගිය හැක්කේකාටද? ක්‍රිකට් ක්‍රීඩාව කොයිබටද?

විශේෂ ලියුම්කරුවකු විසිනි

මාතෘකා