මැනිං වෙළෙඳපොළේ කීර විකුණන ශ්‍රී ලංකාවේ පාපන්දු තරුවක්

 ඡායාරූපය:

මැනිං වෙළෙඳපොළේ කීර විකුණන ශ්‍රී ලංකාවේ පාපන්දු තරුවක්

පාපන්දු පටන් ගත්තේ වයස කීයෙන්ද?

අවුරුදු 9දි. සෝන්ඩර්ස් පාපන්දු ඇකඩමියෙන් 1990දි.

පාසල් ගමන නැවතුනේ?

සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා ආර්ථික අපහසුතා නිසා නතර වුණා.

පාපන්දු ගුරුවරුන් කවුද?

මගේ පළමු පාපන්දු ගුරුතුමා තමයි පී. ඩී. සිරිසේන මාස්ටර්. මාව 1990 ඉඳල ගොඩනැගුවේ මාස්ටර්. ඊට පස්සේ සුමිත් මාස්ටර් (සුමිත් වල්පොල) මට පුහුණු කරලා විතරක් නෙමෙයි පාපන්දුවලින් ඉදිරියට යන්න ගොඩක් උදවු කරල තියෙනවා. මංජුල සිරිසේනත් මගේ පුහුණුකරුවෙක්.

ක්‍රීඩා කරන ස්ථානය?

පාසල් කාලේ ඉඳලම ගැහුවේ සෙන්ටර් මිඩ්ෆීල්ඩර්. තාමත් මගේ ස්ථානය ඒක තමයි.

ගෙදරින් ඉඩදුන්නද පාපන්දු ක්‍රීඩා කරන්න?

අම්මයි තාත්තයි ඒදවස්වල හවස 5 වෙනකොට මට කියනව පාපන්දු පුහුණුවෙන්න යන්න කියලා. තාත්තයි අම්මයි දෙන්නම නිවාස සංවර්ධන අධිකාරියේ රැකියාව කළේ. ඒ අයගේ කැමැත්තක් තිබුණා.

පවුලේ අනිත් අය ක්‍රීඩා කළා ද?

පවුලේ හිටියේ මමයි, මල්ලියි, අයියයි. අයිය පාපන්දු ක්‍රීඩා කරනව දැකලා තමයි මමත් පාපන්දුවලට ආවේ. නමුත් අයියට වැඩිකාලයක් පාපන්දු ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ. මට වයස 7දි තාත්තා මියගියා. එතකොට අයියට වයස අවුරුදු 11යි. පවුලේ ආර්ථික ප්‍රශ්න එක්ක අයියගෙ පාසල් ගමනින් අයින්වුණා. ක්‍රීඩාවෙනුත් අයින් වුණා. ඊට පස්සේ රැකියාවකට ගියා. දැනටත් එයා ත්‍රීවීල් රස්සාව කරනවා. මල්ලි, මාත් එක්ක පිටකොටුව එළවළු මාර්කට් එකේ වැඩ.

පාසලේදි පෙන්නපු පාපන්දු දක්ෂතා?

අපේ පාසල් කණ්ඩායම සමස්ත ලංකා පාසල් පාපන්දු තරගාවලියේදී දෙවැනි ස්තානය ලබා ගත්තා. ඒ 1997 වගේ කාලෙදියි. ඒකාලේ තිබුණු සියලුම තරගාවලි වගේ දිනුවේ අපේ පාසල.

 

ඊට පස්සේ?

මම අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමට 1999 දි තේරුණා. ඒ තේරුණ පළවෙනි 11 දෙනා අතර මමත් හිටියා. ඉන්දියාවයි, පකිස්ථානයයි එක්ක මැච් දෙකකට මම ක්‍රීඩා කළා. සුගතදාස ක්‍රීඩාංගණයෙයි තරගය තිබුණේ. මම හිටියේ සෙන්ටර් මිඩ්ෆීල්ඩර් ක්‍රීඩකයා වශයෙනුයි. ඒ තරග ඉන්දියාවට 2-1ට පරාදයි. පකිස්ථානයට 2-0ට පරාදයි. ඊට පස්සේ 1999 සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ලියාපදිංචි වුණා. එදා ඉඳලා තාම සෝන්ඩර්ස් ක්‍රීඩා කරනවා.

මාලදිවයිනට ගිහින් ක්‍රීඩා කළා නේද?

2006 මාලදිවයිනේ මාසියා කණ්ඩායමට ක්‍රීඩා කළා. සියලු පහසුකම් එක්ක. ගුවන් ප්‍රවේශ පත්‍රය, ඇඳුම්, සපත්තු, කෑම බීම, නවාතැන් ඔක්කොම දීල මාසයකට රුපියල් 60,000ක් ගෙවුවා. ඒ අවුරුද්දේ මාසියාවල හොඳම ක්‍රීඩකයා වුණේ මම. මම ගෝල් කීපයකුත් ලබා ගත්තා. ඒ වසරේ මාලදිවයින් ශූරයෝ වුණෙත් මාසියා කණ්ඩායමයි. 2007 මාලදිවයිනේ එක්ස්ප්‍රස් කණ්ඩායමත් මම ඒ විධියටම ක්‍රීඩා කළා.

ලැබුණු අභියෝග?

මම නායකයා ලෙස සෝන්ඩර්ස් එක මෙහෙයවුවා 2008 වසරේදී, හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ වෙන කණ්ඩායම්වලට ගියා. ඔවුන් ඒ දේ කළේ වැඩි මුදලකට. තව අය ආබාධවලට පත්වෙලා ඉඳිද්දි තමයි ඒ දේ වුණේ. ලක්ෂ ගණන් දීලා සමහර කණ්ඩායම් අපේ ක්‍රීඩකයින්ව ගන්නකොට සිරිසේන මාස්ටර් මට නායකත්වයේ වගකීම බාර දුන්නා. මම දන්න සෝන්ඩර්ස් ඉතිහාසයේ ළාබාල ක්‍රීඩකයින් වැඩියෙන්ම ක්‍රීඩා කළ අවුරුද්ද තමයි ඒක. ඒ අවුරුදදේ ලීග් තරගාවලියේ දෙවැනි තැන අපි දිනාගත්තා. ඒ කණ්ඩායම එක්කම දොන් බොස්කෝ ශූරතාව දිනුවා. නිගම්බු යූත්, දොන් බොස්කෝ, වෙන්නප්පුව නිව් යංග්ස්, අපි වගේම ආරාධිත කණ්ඩායමක් ලෙස කළුතර බ්ලූ ස්ටාර් තරගාවලියට ගෙනාවා. අවසන් තරගයේදී නිව් යංග්ස් එක්ක තිබුණු තරගයෙන් අපි දිනුවේ දඬුවම් පහරවල් වලිනුයි.

කොළඹ ලීග් එක?

2010 කොළම්බු ලීග් එකේ මම නායකයා. ඒ විධිහට අපි ශූරයෝ වුණා. රත්නම්, රිනවුන්, ජාවාලේන්, ඕල්ඩ්බෙන්ස් සහ වික්ටරි තමයි තරගාවලියේ හිටිය සෙසු කණ්ඩායම් වුණේ. 2011 ගෝල්ඩ් කප් එක දිනුවා කොළඹ ලීග් එකේ කණඩායම් සමගමයි ඒ තරගාවලියේ තරග වැදු‍ණෙත්.

ඇයි වෙන කණ්ඩායම්වලට මුදලට ක්‍රීඩාකරන්න ගියේ නැත්තේ?

මට සොන්ඩර්ස් එකෙන් පිට යන්න හිතුනේ නැහැ. වෙන ක්ලබ් වලින් අඬගහනකොට සුමිත් මාස්ටර් පවා කියනවා ක්ලබ් එක ගැන පොඩ්ඩක් හිතන්න කියලා.

ඇයි යන්න හිතුනේ නැත්තේ?

ලංකාවේ පාපන්දුවේ හදවත තමයි සෝන්ඩර්ස් කියන්නේ. ඒක ඔප්පු කරන්න ඔන තරම් සාධක තියෙනවා. මොන පාපන්දු කණ්ඩායමට ගිහිල්ල බැලුවත් සෝන්ඩර්ස් ක්‍රීඩකයින් දෙන්නෙක් තුන්දෙනෙක් ඒ කණ්ඩායම්වල සෙල්ලම් කරනවා. ඒ කණ්ඩායම්වල ඉන්න හොඳම ක්‍රීඩකයො තමයි සෝන්ඩර්ස් එකෙන් ගිය අය. ත්‍රිවිධ හමුදා කණ්ඩායමවල ඉන්න ගොඩක් ක්‍රීඩකයන් සෝන්ඩර්ස් කණ්ඩායමෙන් බිහි වෙච්ච අය. ඒ ගොඩ දෙනෙක් ආර්ථික අපහසුතා නිසා හමුදාවල රැකියාවට ගිහිල්ලා ඒ කණ්ඩායම් නියෝජනය කරනවා.

අපේ කණ්ඩායමට තවම හැකියාවක් නැහැ අපෙන් බිහිවන ක්‍රීඩකයින්ව සෝන්ඩර්ස් එකේම රඳවලා තියාගන්න. ක්‍රීඩා සමාජයට අවුරුදු 100ක් වුනත් අපේ ආර්ථික මට්ටම හොඳටම දුර්වලයි. අපේ කණ්ඩායමට අනුග්‍රහය දක්වන්න තවමත් කිසිම ආයතනයක් හෝ පුද්ගලයෙක් හෝ ඉදිරිපත්වෙලා නැහැ. ලංකාවේ වසර 100ක් සපුරපු එකම කණ්ඩායම අපියි. ලංකාවේ වැඩිම ප්‍රිමියර් ලීග් තරග දිනල තිබුණත්, එෆ්. ඒ, කප් එක දිනල තිබුණත් අපේ කණ්ඩායමට පාපන්දු සම්මේලනයෙන් හෝ කිසිම උදව්වක් ලැබිල නැහැ.

සමකාලීනයෝ?

මම සොන්ඩර්ස් වයස අවුරුදු17න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන කාලේ චතුර මධුරංග මගේ යටතේ ක්‍රීඩා කළා. පසුව චතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දීර්ඝ කාලයක් ක්‍රීඩා කළා. අති දක්ෂ ක්‍රීඩකයෙක් මාලදිවයිනේ වෘතිය ක්‍රීඩකයෙක් ලෙසක් ක්‍රීඩා කළා. කරුණාරත්න, රොෂාන් පෙරේරා, අමනුල්ලා, ජගත් රෝහණ. මංජුල සිරිසේන, ලලිත් වීරසිංහ, ඩඩ්ලි ස්ටෙන්වෝල්, ඉම්රාන් මෙහොමඩ්, ඉසුරු පෙරේරා වැනි ප්‍රවීන ක්‍රීඩකයින් සමගත් මම ක්‍රීඩා කළා.

2018 ඔබේ තත්ත්වය මොකද?

මේ වතාවේ කළම්බු ලීග් අනුශූරයෝ අපියි. අවසන් තරගයේදී කළම්බු එෆ්. සී. එකට 2-1ක් ලෙස පැරදුනා. ඒත් පළමු වටයෙදි අපි 2-1ට එයාලව පරාජය කළා.

ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළේ නැද්ද?

1999 වයස් අවුරුදු 19න් පහළ කණ්ඩායමට තේරුණාට පස්සේ ජාතික කණ්ඩායමට ආරාධනා ලැබුණා. තේරිම්වලට එන්න කියලා. නමුත් මට තියෙන ආර්ථික ප්‍රශ්න නිසා විශේෂයෙන්ම මම එළවළු මාකට් එකේ කරන වෙළෙදාම නිසා මම තේරීම් තරගවලට යන එක නතර කළා. මොකද ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ටත් මුදල් ගෙවන්නේ නැහැ. ඒකට ගියොත් මම වෙළෙදාම කරන තැන නැති වෙනව. සාමාන්‍ය පෙළ අවසන් කළාට පස්සේ මම දිගටම දිනපතාම එතැන එළවළු වෙළෙඳාම තමයි කළේ.

නැවතත් 2010 මට ජාතික කණ්ඩායමට ආරාධනා ලැබුණා තේරීම් තරගවලට එන්න කියලා. මම පළවෙනි දවසේ තේරීම්වලට සහභාගී වුණා ඒකෙන් මාව තේරුණා. දෙවැනි දවසෙ පුහුණුකරුවන් කිව්වා මගේ උස මදි කියලා. ඒ කියන්නේ එක දවසෙන් මගේ උස වෙනස්වෙලා.

ඊට පස්සෙ ඒ පුහුණුකරුම මට කථාකළා මාලදිවයිනේ ක්‍රීඩා සමාජයකට වෘතීමය ක්‍රීඩාකරන්න. ඒ කාලේ මටත් මුදල් අමාරුකම් ගොඩක් තිබුණා. සිරිසේන මාස්ටර් ළඟට ගිහිල් මාව සොන්ඩර්ස් එකෙන් මාස කීපයකට නිදහස් කරන්න කියල ඉල්ලුව.

මොකද වුණේ ?

මාස්ටර් මට බැනල එලෙව්වා. ඒ කාලේ කණ්ඩායම වැටිල තිබුණේ. ඒ කාලෙම චතුර මධුරංග, රෝහණ රුවන්තිලක, කසුන් ජයසූරිය සොන්ඩර්ස් ගහන ගමන් මාලදිවයින් ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කළා.

දැනට ලැබෙන මාසික ආදායම?

මාසයකට රුපියල් 25,000ක් 30,000ක් වගේ අදායමක් තියෙන්නේ.

කැමතිම ක්‍රීඩකයා?

මම කැමතිම ප්‍රංශයේ සිනෙඩි සිඩෑන්ටයි. පළවෙනි හේතුව එයා ගහන්නෙත් මම වගේම මැද පෙළ. වැදගත්ම දේ තමයි පාපන්දු පටන් ගත්ත කාලේ ඉඳල ඉවරවෙනකම්ම එකම විදිහට ක්‍රීඩා රටාව සහ හැකියාව පවත්වාගෙන ගිය දුර්ලභ ගණයේ ක්‍රීඩකයෙක් විධිහට මට ඔහුව පෙනෙනවා.

අමතක නොවන තරගයක් තියෙනව ද?

මම ගහපු පළවෙනි තරගය මට අමතක වෙන්නේ නැහැ 1998-99 බ්‍රිස්ටල් කප් සොන්ඩර්ස් -රත්නම් තරගය. ඒ තරගයෙදි සෝන්ඩර්ස් 4-0ට දිනුවා. මගේ පළමුවෙනි තරගයේ මම මිනිත්තු 15ක් ක්‍රීඩා කළා. ඒක ජීවිතේට අමතක වෙන්නෙ නැහැ. ඒ කාලේ කරුණාරත්න, රොෂාන් පෙරේරා, අමනුල්ලා, ජගත් රෝහණ. මංජුල සිරිසේන, ලලිත් වීරසිංහ, ඉම්රාන් මෙහොමඩ්, ඉසුරු පෙරේරා වැනි ප්‍රවීන් එක්ක මට ඒ කාලය ක්‍රීඩාකරන්න ලැබීම ලොකු දෙයක්. තව තරගයක් සොන්ඩර්ස් නිගම්බු යූත් සී.ආර්. ඇනිඩ් එෆ්.සී. එකේ ගැහුවේ සෝන්ඩර්ස් එකේ හිටපු රොෂාන් පෙරේරා සහ කරුණාරත්න ඒකාලේ නිගම්බු යූත් සෙල්ලම් කළා. අපේ හිටියා ඩඩ්ලි ස්ටෙන්වෝල සහ ඉසුරු පෙරේරා වගේ අය. පළමු මිනිත්තු 45 අපි 3-0කින් පිටුපසින් හිටියේ 75වැනි මිනිත්තුවේදීත් එහෙමයි අන්තිම මිනිත්තු 15දි අපි ගෝල් 3ක් ගහල 3-3ට සම කළා. ඒ තරගයත් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

***************

වෙනස

කෝටි පහකට ආසන්න මාසික වේතනයක් හිමි චෙල්සියා ක්‍රීඩා සමාජයේ මැද පෙළ තරුව

වෙනස දක්ෂතාව හේතුවෙන්යැයි කෙනෙකුට නිර්වචනය කරන්නට පුළුවන. තවකකුට එය ඇති නැති පරතරය, සංවර්ධිත, ඌණ සංවර්ධිත යැයි රාජ්‍යයික මට්ටමෙන් බෙදා දක්වන්නටද හැකිය. ඒ කෙසේ දැක්වුවද ඔවුන් අතර ඇත්තේ වෙනසකි. එහෙත් ඒ වෙනස සුදු සහ කළු යනුවෙන් දැක්විය නොහැකිය. ඒ කෙසේද යත් මේ වනවිට කළු ජාතිකයෝ ඕනෑ තරම් පාපන්දු පිටිය දිග්විජය කර ඇති නිසාවෙනි. උස, මහත වැනි ශාරීරික සාධකද ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නොහැකිය. නමුත් මේ වෙනස් කම් ඇතිවන්නේ ඇයි? අප කතාකරන්නේ මෙම සම්පත් බෙදීයාමේ විෂමතාව හැකිතාක් දුරට අවම කරන ආකාරය සම්බන්ධවය. ඒ පිළිබඳ අප කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකරන නමුත් සංවර්ධනය වන රටක සිට මැදි ආදායම් උපදින රටක් බවට පත්ව දියුණු රාජ්‍යයක් බවට පෙරළීමට නම් අවශ්‍ය වන්නේ පුළුල් ආකල්පමය වෙනසකි. ඒ බව ඔබට පසක් කරන්නට ‘වෙනස’ ලිපි මාලාව මෙලෙස වරින් වර අපි ඔබ හමුවට ගෙන එන්නෙමු. මෙවර ඒ වෙනස තුළින් කතාකරන්නේ මෙරට සහ නොරට මැද පෙළ පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකි.

මාතෘකා