ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙන ඒම බලාපොරොත්තුවයි

 ඡායාරූපය:

ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙන ඒම බලාපොරොත්තුවයි

ජාතික ටෙනිස් ශූරි අනීකා සෙනෙවිරත්න කියයි

පාසල?

කෙළඹ කාන්තා විද්‍යාලය

දැන් වයස?

අවුරුදු 16 යි

ටෙනිස් ක්‍රීඩාව පටන් ගන්නකොට වයස කීයද?

මම අවුරුදු දෙකේදි තමයි මුලින්ම ස්කොෂ් පිටියක ටෙනිස් සෙල්ලම් කරල තියෙන්නෙ. ඊට පස්සෙ අවුරුදු හත අට වෙනකොට තමයි ටෙනිස් පිටියක හරියට ටෙනිස් ගහන්න පටන් ගත්තේ.

මුලින්ම දිනා ගත්ත කුසලානය?

මම අවුරුදු 10දි තරගාවලි ජයක් ලැබුවා. මගේ පාසලේ තිබුණ තරගාවලියකින්.

ජාතික තරගාවලියක් ජය ගත්තේ කුමන වසරේද?

ඊළඟ අවුරුද්දෙ තිබුණු තරගාවලි කිහිපයක් මම ජයග්‍රහණය කළා. ඔටර්ස් ක්‍රීඩා සමාජයෙන් සංවිධායකළ තරගාවලිය, ජාත්‍යන්තර කාන්තා තරගාවලිය සහ වයස අවුරුදු 13න් පහළ ජාතික ශූරතාවය. තව එකක් දිනාගත්තා. ඒක මට මතක නැහැ.

දැනට ශූරතා කීයක් ජයග්‍රහණය කරල තියෙනවද?

ජාතික ශූරතා 12ක් දිනල තියෙනවා. අනිකුත් ශූරතා 30ක් විතර ජයග්‍රහණය කළා.

ජාත්‍යන්තර තරගාවලි කීයකට සහභාගි වෙලා තියෙනවද?

අවුරුදු 12දි වියට්නාමයේ පැවති වයස අවුරුදු 14න් පහළ තරගාවලියකට සහභාගී වුණා. ඒක අග්නිදිග ආසියානු තරගාවලියක්, මම ඒක දිනුවා. ඒකට රටවල් 10-12ක් සහභාගී වුණා. පකිස්ථානය, කාම්බෝජය, වියට්නාමය, ජෝර්දානය, සිරියාව සහ ඉරානය වැනි රටවල ක්‍රීඩිකාවන් ඒ තරගාවලියට සහභාගි වුණා.

ඊට පස්සේ?

ඊට පස්සේ මම අයි.ටී.එෆ්. (ජාත්‍යන්තර ටෙනිස් සංගමයේ) තරගාවලි ක්‍රීඩා කරන්න පටන් ගත්තා. දැන් මම ඒ තරගවලට තමයි ක්‍රීඩා කරන්නේ. ඒ තරගාවලි වලින් අර්ධ අවසන් පූර්ව තරග 3කට ඇවිල්ල තියෙනවා. මම සහභාගි වුණේ වයස අවුරුදු 18න් පහළ තරග වලට.

අවසාන වරට සිංගප්පූරුවේදී සහභාගී වූ තරගාවලිය?

ඔව්, මේ අවුරුද්දේ මුල වගේ සිංගප්පූරුවෙ පැවැත්වුණ ‘‘ඩබ්ලිව්.ටී.එෆ්. (කාන්තා ටෙනිස් සංගම්) ෆියුචර් ස්ටාර්ස්” කියල තරගාවලියකට සහභාගී වුණා. ඒක හොඳ තරගාවලියක්. ඒකෙදි අර්ධ අවසන් පුර්ව වටයට එන්න මට පුලුවන් වුණා. මම පරාජය වුණේ තරගාවලිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවට.

ඒ තරගාවලියෙදි ඔබට පරාජය වුණ අය?

ප්‍රධාන වශයෙන්ම සිංගප්පූරුවෙ ක්‍රීඩිකාවක්, පිලිපීනයේ කෙනෙක් සහ නේපාල ක්‍රීඩිකාවක් සහ තවත් එක්කෙනෙක් මගෙ අතින් පරාජය වුණා. අනිත් කෙනාව මට හරියට මතක නැහැ.

ඔබ මෙතෙක් මුහුණ දීපු අමාරුම තරග?

දැනට අවුරුදු දෙකකට කලින් මම සහභාගි වුණා අවුරදු 18න් පහළ ජාතික තරගාවලියේ අවසන් තරගයට. එදා මා සමග තරග කළ ක්‍රීඩිකාව හොඳට ක්‍රීඩා කළා. ඒ තරගයේ වට තුනම අපි ක්‍රීඩා කළා. සෑහෙන වෙහෙසකර තරගයක්. මම ඒක පැරදුණා. ඒක තමයි මම මුහුණ දුන්නු ගොඩක් අමාරුම තරගය.

ඒ වගේම මට වයස අවුරුදු 12 ක් පමණ වෙද්දී මම සහභාගි වුණ අවුරුදු 14න් පහළ ජාතික ශූරතා අවසන් තරගයත් තරගවට තුන දක්වාම යන්න වුණා. අන්තිම ලකුණෙන් තමයි මම පැරදුණෙ. ඒකත් හුඟක් අමාරු තරගක්. ඒකත් මට අමතක වෙන්නෙ නැති තරගයක්.

ඔබ ජාතික තලයේ දැන් ඉන්නේ කොතන ද?

මම ජාතික කාන්තා ටෙනිස් ශූරිය.

පසුගිය වසරේ?

පසුගිය වසරෙත් මම ජාතික ටෙනිස් ශූරිය වුණා.

උදව් කරන්නේ?

අම්මා සහ තාත්තා තමයි.

ඔබේ මුල්ම පුහුණුකරුවා කවුද?

ක්වින්ස් ක්‍රීඩා සමාජයේ අබේ සර් මුලින්ම මට ටෙනිස් පුහුණු කළා. එයා කනිෂ්ඨ අයව තමයි පුහුණු කරන්නේ. ඊට පස්සෙ සුමින්ද සර්.

දැන් කවුද ඉන්න පුහුණුකරුවන්?

බංග්ලාදේශ් පුහුණුකරුවෙක් ඉන්නවා, ගුස්ටම් අලි. වසර හතරක් තිස්සෙ එයා තමයි මගේ ප්‍රධාන පුහුණුකරු. මම මලයාසියාවේ ගිහිල්ලත් පුහුණු වෙනවා. සෙල්වම් සර් ළඟ, නික් බොලටේරි කියල තවත් පුහුණුකරුවෙක් ඉන්නවා ඇමරිකාවේ, ඒ වගේම හසාන් සර්,එයත් ඇමරිකාවේ. එතකොට තෝමස් සර්, එයා ප්‍රංශයේ පුහුණුකරුවෙක්. ඒ අය මෙහෙ එනව ඇවිල් මට පුහුණු කරනවා..

ඔබගේ ක්‍රීඩා සමාජය?

ක්වීන්ස් ක්‍රීඩා සමාජය. අවුරුදු අටේ ඉඳල මම ඒ ක්‍රීඩා සමාජට ක්‍රීඩා කරනවා.

සංචාරය කළ රටවල්?

ඇමරිකාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉන්දියාව, සිංගප්පූරුව, හොංකොං, මැලේසියා, තායිලන්තය, ඔස්ට්‍රේලියාව, වියට්නාමය

කන්න කැමති දේවල්?

හුඟක් කැමතියි ජපන් කෑමවලට. හැම වෙලාවෙම කන්නේ බත් සහ එළවළ තමයි. මාළු කන්න කැමතිය. විශේෂයක් කියල නැහැ හැම කෑමක්ම කනවා.

කෘත්‍රිම සිසිල් බීම පොඩිකාලෙ ඉදලම බීල නැහැ. ප්‍රධාන පෙළේ අවන්හල් ජාලයන්ගෙ විකුණන ක්ෂණික ආහාර කාලම නැහැ. කැමතිත් නැහැ. මටයි නංගිටයි ඒවා කන්න බැහැ. අල්ලන්නෙවත් නැහැ. අපිට වමනෙ වගේ එනව ඒව ගත්තොත්. ක්ෂණික ආහාර දිහා බලන්නෙවත් නැහැ. පැණිරස කෑමත් වැඩිය කන්නෙ නැහැ.

කෑම බීම ගැන බලන්නෙ කවුද?

අම්මා සහ තාත්ත තමයි ඒව හොයල බලන්නේ.

අධ්‍යාපනය ලබන්නේ?

දැන් මම අපොස සාමාන්‍ය පෙළ හදාරනවා.

සහෝදරිය

අලානා... එයාත් සමග තමයි මම කාන්තා යුගල ශූරතාවය ජය ගත්තේ.

වෙනත් ක්‍රීඩා?

පාසලේ හෙල්ල විසිකිරීම සහ මීටර් 400 තරග කරනවා.

ප්‍රියකරන ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව කවුද?

මම ගොඩක්ම කැමති ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ට,ඒ වගේම ඇමරිකාවේ සෙරීනා විලියම්ස්ටත් කැමතියි.

දැල් පන්දු පටන්ගත්තේ කොයි කාලෙද?

වයසඅවුරුදු 10දි වගේ. පාසලෙන් පටන් ගත්තේ.

කොච්චර දුර ඇවිල්ල තියෙනවද දැල් පන්දුවලින්?

අවුරුදු 15න් පහළ සමස්ත ලංකා අවසන් පූර්ව තරග දක්වාම ආව. එම පිළම අවුරුදු 17න් පහළ කණ්ඩායම විදියට මේ අවුරදුදේ අවසන් පූර්ව වටයට ආවා. මේ කණ්ඩායම තමයි කාන්තා විද්‍යාලයේ පළමු වරට දැල්පන්දු ක්‍රීඩාවෙන් මේ තරම් දුරක් ආවේ.

දැල් පන්දුවලින් ජාතික මට්ටමේ දක්ෂතා?

මම දැනට ශ්‍රීලංකා සංවර්ධන පිළට ක්‍රීඩා කරනවා.

පොත්පත් කියවීම කොහොම ද?

හොඳට පොත්පත් කියවනවා. නිදහසේ ඉන්න ගොඩක් වෙලාවට කරන්නේ කියවීම තමයි.

කලා කටයුතුවල යෙදෙන්න එහෙම වෙලාවක් තියෙනව ද?

පාසලේදී නාට්‍යවල රඟපාල තියෙනව. අවසානයට පාසලෙන් කරපු ෂේක්ෂ්පියර් නාට්‍යයේ හැම්ලට් චරිතය රඟපාන්න ලැබුණා.

මිතුරු මිතුරියන්?

රාශියක් ඉන්නව.

අනාගත බලාපොරොත්තු?

ටෙනිස් ක්‍රීඩාවෙන් ඉහළටම යන්න. තරගාවලි කිහිපයකම ජය ශ්‍රී ලංකාවට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැල්පන්දු දිගටම ක්‍රීඩා කරනවා. ඒක කණ්ඩායම් ක්‍රීඩාවක්. අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකරවන හොඳ ක්‍රීඩාවක්. මම ඒකටත් කැමතියි.

[ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා