කවි ඇසුර

කවි ඇසුර

අද්වකත් කාමරේදී

අහම්බෙන් හෝ ම'සිතට
එබිකම් කරන්නට
ඔබ එදා මට එවූ ඉල්ලුම් පත්‍රය
භාරගත් නිසාවෙන්
අද මං උසාවිය ළග
අද්වකත් කාමරේ පුටුවක

අප එක් වන බවට
සම සිතින් පිළිගන්නට
මිතුරන්ට නෑයන්ට යැවු ආරාධනා පත්‍රය
තවම ඇත හිනැහී
අල්මාරි තට්ටුවක්
තනිවම බුක්ති විදිනා
අධි බරැති වෙඩිං ඇල්බමය ඇතුළත

කලක් ගත වූ තැන
වුවමනා වූයෙන් නුඹට
දෙකඩ කර ලන්නට
අපෙ හවුල් ගිණුම් පොත
ඉදිරිපත් කළා නුඹ
ඉල්ලා අස්වීම් සහතිකය

ඔන්න එහෙනම් මමත්
අත්සනක් දැම්මා
දික්කසාදය නම් දැරූ
න්‍යාය පත්‍රයේ
අවසාන පිටුවට
ඉතිරි හිස්තැන නුඹට

හෙට දින ඉවතලන
කඩදාසි කසල බඳුනට
ඉරා විසි කළ යුතුය
මෙතෙක්කල් මා සුරැකි
විවාහ සහතික පිටපත

[දේවිකා මධුවන්ති ගෝවින්නගේ]

---------------

සොඳුරුය ඒ දවස් වසන්තයක..

දෙනෙත ගැටෙන හැම තැන
විසිරී තිබුණා සුන්බුන්
සශ්‍රික ප්‍රේමයක නටබුන්
මුවඟට සිනා කැන්දන
සොඳුරුය ඒ දවස් වසන්තයක

සෙවණැලි බිතු සිතුවම්
ඇඟිලි තුඩඟින් ඇඳි
රාත්‍රිය මැදියම
යහන් ගැබ කෙළවර
නැඟෙන විට මතකෙට
රෝම සිරස් වෙන

නාස් පුඩු සිසාරා යන
ජැස්මින් සුවඳ ඇඳ ඇතිරිලි මත
තනිවෙන්නට කොඳුරන
අභිරූපන කෙටි රංගන
කුරුටු ගී පද ලියැවෙන

දෙසවන් මී බිඳු පුරවන
ආදරයේ උච්චතම වදන් පෙළ
"දෙවියන් මට දුන් උතුම්ම වස්තුව"
හීනෙන් පවා රැව්දෙන

සුබ උදෑසනක් වේවා පතමින්
කවුළු දොරින් රිංගන අරුණැල්ල
පුරුද්දට හිස පිරිමදින
ඇඟිලි තුඩු සොයයි බොකුටු කොණ්ඩය

නිදි කඩන ඇස් ඉස්සී බලන
ඔබ නැහැ යාබදව මට
සිහිනයක්ද ජීවිතය

පෝටිකෝවේ උඩක
ඔබේ ඡායාරූපය නිල ඇඳුමක් ඇඳ
පරවුණු මල් මාලය පැලඳ
තවමත් මට තනි රකින

[රුවංක ජයතිලක]

-------------------

වැලන්ටයින් කොහොමද ??

හවසට කුණු වෙන්න බීලා ගෙදර එන
මිනිහා දන්නෙ මොනවද ආදරේ ගැන
දවසක දෙන්නා සතුටින් බත් කටක් කන
දවසයි මගෙ හිතේ පෙම්වන්තයගෙ දින

නිතරම දුක දැනෙන හදවත රිදෙන තැන
එතනයි හදවතේ පෙම උපදිනා තැන
කඳුළයි වේදනාවයි නිති උරුම වුණ
අයගෙන් නොවිමසනු යළි ආදරේ ගැන

පපුවට තුරලු කරගෙන හාදුවක් දෙන
එක ඇති මැරුණු හදකට යළ දෙන්න පණ
හදවත පුපුරද්දි ඉවසන් හිනා වෙන
අයගෙන් නොවිමසනු යළි ආදරේ ගැන

[සමීර මදුසංක]

-----------------

නෙළුම්මල හා
බිම්මල කී කවි...

නිල්දියේ ඉපදී
බිඟු පහස් විඳිමී
රුවින් ලොව බැබලී
පුදසුනක මියෙමී..

වන්නියේ ඉපදී
කඳුළ දුක සිඹිමී
රසම අහරක් වී
ගොවිපැලක මියෙමී....

[නයනසේන වන්නිනායක]

------------------

විප්‍රවාසී මුහුදු ළිහිණියා

තුරුණු මුහුදු ළිහිණියෙක්
පැරණි ගොඩනැඟිල්ලක පියස්සේ
පිරිමදිමින් පෑරුණු අත්තටු
ලැගුම් ගෙන සිටි අයුරු
ඔයා දැක්කද?
ඌ විප්‍රවාසියෙක් මං වගෙම

එදා ඒ පාර පාළුයි
සෙනසුරාදට එහෙමලු කොහොමත්
තමන්ගෙම හෙවණැල්ල පාගමින්
ඇවිදින්න ඇහැකියි කාටත්
මට ඕන වුණේ උණු තේ උගුරක්
ඔයා හෙව්වෙම කිරි පාට පබළු
ජීවිතේ හැටි එහෙමයි

නැතිව බැරි වෙලාවක කුඩයක්
අපි හොයා යනවිට කණමැදිරි එළියක්
බලා සිටියා නැව්වල මහලු කුඹගස්
පායනකම් ආදරය පිරුණු තරුවක්

ඉරුණු රුවලකට නැතිනම් සවියක්
තනිව දියඹට යයිද ඔරුවක්
මතකද එදා අපි හැරුණු තැන තිබුණා
කළු පාට නැංගුරමක්, ඈතින් සුරුවමක්

ඔයා දන්නවද අපි ආයෙමත් එද්දි
පියඹම්න් සිටියා අර තුරුණු ළිහිණියා
උස පියස්සට මත්තෙන් මෝදර පල්ලියේ
ඔයාගෙත් හිනාවක් තිබුණා මොනාලිසා වාගේ

[ලසන්ත ද සිල්වා]

-------------

එක්තරා චරිතයක්

දන්නවා ඇති ඔබත්
ඉන්නවා මොහු කොහෙත්

මැති ඇමතිවරයකු හෝ
ලොකු මුළාදෑනියකු
සැපත් වූ විට ගමට
දිව ඇවිත් ඔහු ළඟට
දුන්න සේ නැවීගෙන
ආයුබෝවන් කියයි
ළඟම හිතවතෙකු බව අඟවමින්
හිස් මුසා බස් දොඩයි
අවට සිටිනා අයට
මොනර බැල්මක් හෙළයි.

පන්සලෙහි පින්කමක
ළඟපාත දන්සැලක
වැඩක් නැතිමුත් නියත
කඩිසරව දුව පනින
සෙසු අයට අණ කරන
ඔහු නොදැක්කොත් ඉතින්
පුදුමෙනුත් පුදුමයක්

මංගල්‍ය සභාවේ
අවමඟුල් සභාවේ
කථාවක්_ ඉල්ලගෙන හරි කරන කථාවක්
ඔහු විසින් නොකෙරුණොත්
එයත් මහ පුදුමයක්
වතුර ගලනව වගේ
කරන දෙසුමකි එයත්
අවැසි වුව හොත් විටෙක
බොහෝ විට කියා ඇති
කදිම හිටිවන කවක් එක් කරයි

දන්නවා ඇති ඔබත්
ඉන්නවා ඔහු කොහෙත්

[සිරිනිමල් ලක්දුසිංහ]

-------------

බලා සිටින සඳ

බඩදරු ළඳ
බලා සිටින සඳ
කලාගාරයේ බිත්ති සරසන
නග්න රූ දෙස,
ඈ බියපත් බැල්ම
තැති ගන්වන්නේය මා
නිරුවතින් බියපත්ව
පෙළෙයි නෙතු,
පැකිළෙයි දකින්නට
ළඳ කුස නෙරා වැඩෙන
බිළිඳු දිවිය
විපිළසර කරයි මා
නුරා සිතිවිලි කළල බිජු
අරා පැතිරෙයි ඈ වත හැඟුම්.
බලා සිටිමි සන්තාපයෙන්
ඈ පිටව යන දෙස
සරාගී සිතින් ඈ රුව
නෙත් සරින් සිප වැළඳ ගනිමින්...

 

නිසිම් එසිකියෙල්
(ප්‍රකට ඉන්දියානු කවියකු වන නිසිම් එසිකියෙල් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)
වර්ෂ 1924 දෙසැම්බර් 16 වැනිදා බොම්බායේ ඉපිද, එහිම අධ්‍යාපනය ලැබූ නිසිම් එසිකියෙල් පසු කලෙක ලන්ඩනයේ බර්ක්බෙක් විද්‍යාලයේ දර්ශනය හැදෑරීය. බ්‍රිතාන්‍යයේ වසර තුනක් කාලය ගත කර, නැවත ඉන්දියාවට පැමිණි ඔහු පුවත්පත් කලාව සහ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය යන ක්ෂේත්‍රයන්හි නියැළුණේය. ඉන්පසුව ගුරු වෘත්තියට පිවිස, බොම්බායේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ලෙස කටයුතු කර විශ්‍රාම ලැබීය. ප්‍රකට සාහිත්‍ය සඟරා රැසක් සංස්කරණය කළ ඔහු ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ (Times of India) ඇතුළු පුවත්පත් ගණනාවකම කලා විචාරකයකු ලෙසද කටයුතු කර ඇත. ‘එ ටයිම් ටු චේන්ජ්’ (A Time to Change), ‘සික්ස්ටි පොයම්ස්’ (Sixty Poems), ‘ද තර්ඩ්’ (The Third), ‘දි අන්ෆිනිෂ්ඞ් මෑන්’ (The Unfinished Man), ‘දි අන්ෆිනිෂ්ඞ් නේම්’ (The Unfinished Name), ‘හිම්න්ස් ඉන් ඩාක්නස්’ (Hymns in Darkness) සහ ‘ලැටර් ඩේ ප්සාල්ම්ස්’ (Latter Day Psalms) සහ ‘එඩින්බර්ග් ඉන්ටර්ලූඩ් ලයිට්ලි’ (Edinburgh Interlude Lightly) ඇතුළු කාව්‍ය සංග්‍රහ රැසක්ද ඔහු විසින් ලියා පළ කරනු ලැබිණි. සාහිත්‍ය ඇකැඩමි සම්මානය ඇතුළු විවිධ ඇගයීම් රැසකින් පිදුම් ලැබූ ඔහු 2004 ජනවාරි 09 වැනිදා මෙලොවින් සමු ගත්තේය.

[අජිත් නිශාන්ත]

---------------

 

අකුරු, ඉලක්කම්, ප්‍රස්තාරවලින් සිරගත කරන හිරිමල් හැඟීම් නිදහස හා ආදරය ඉල්ලා තටු සලයි. එය මායාවකි. ආදරය මායාවක් නොවී මඳ පවනක්ව දැවටෙන්න. මේ පුංචි ලෝකයට.

කැමරා ඇස [ධර්මවිජය සෙනෙවිරත්න] අකුරු [තිඹිරියාගම

මාතෘකා