කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

සුළඟකින් ගෙනා කොළ

හොඳින් අතුගා තිබූ මිදුලකි
ප්‍රේමයෙන් කිලිටි වන්නට පෙර
මගේ සිත
අතොරක් නැතිව වැටීමෙන්
ගිම්හානයෙදි කොළ
හැඩිවිය හැඩැති හිත

පේවී සිටි පෙමට සිත
ඔහේ හමනා සුළගට
ඉබාගාතේ ගිය කොළ
වැටී තිබුණා මිදුලට

ඉදින් දැන් අසංවර
සීලයෙන් තොර දඩබ්බර
නිහඬවම හඩන
රිදුණ රිදවුව
මිදුලක් ය මෙය
බැලු බැල්මට

එහෙමත්ම තැනකදී
ඇවිත් පැළවෙන
ප්‍රේමයක්ම මිස පසු කලෙක
තුංග ධූමෙක් වනු හැර
ඔහේ සුළඟක දැවටෙන
ඇවිත් තැනකදි හැර යන
දඟ කරන කොළ නිතරම
ප්‍රේමයක් ලෙස සිතනු කුමටද?

[දිල්මිණී හසින්තා]

----------------

පෝසිලෙන් දීසියක ළසෝව

හීන් රැවුලක් තියෙන
හීන් ඇසගුලු අරින
ලී තොප්පි ලූ හිසේ
චීන්නෙකුගේ අතේ
සේද මාවත දිගේ
යැංසි කවි කිය කියා
පෙරළෙමින් සුදු මුවග
උදාරම් ගමනකින්
ගෙයි දොරට පැමිණියුරු
රෑ සිහිනයෙන් දුටිමි...

අවුළු පිනි කුස තබා
නැතක් දහදිය වගුළ
හායි හූ ගා කකා
දිසි දිසි ද සර ගැටී
දිය අතක තෙතබරිව
මුත්තගේ කැබිනෙට්ටු
වීදුරුවෙ විරිත්තන්
ඇහිබැමිද උඩට කර
සලු සකසමින් එවර
හීන් ස්වරගින් වයා
මුව පිසිනු පෙර දුටිමි...

නීල මල්කම් මුදුන
ස්වේත බොකු වක් නැමුව
බුහුටි පිරිමැදුම් ලද
දිදුල නාරටි සියලු
තූ තූව කැබලි වී
මහවත්තෙ ඇළ පහළ
චීන ගෙවිලියකගේ
හැඬු නෙතින් ඔප වැටී
පස්ගොඩක ඉසිඹුලනු
දැක තැවෙමි...

[ඩිල්ෂානි චතුරිකා දාබරේ]

------------------

මට ඕන දුවෙක්....

රහසිගත පිවිසුමෙන්
සාරි විලවුන් පුයර
කැඩපතක මුහුණතෙහි
මඳහසින් සරසන්න

ඉහළ ආකහේ තරු
කඩා වැටෙනා විටෙක
දැවී හිනැහෙනා හැටි
ඇස්වලින් කියවන්න

දිවා පෙනුමැති රැයක
හඳ එළියෙ මිහිර යට
අඳුර වෙළු වලාවක
දිග පළල මැන ගන්න

වියළි සෝ බර හුළඟ
රැගෙන යා නොදී තෙත
ප්‍රේමයෙන් පෙඟුණු ඇස්
වේදනා කියවන්න

ස්පර්ශිත සියල්
දවාලන මොහොතකදි
මට ඕන දුවෙක්...
ආදරෙන් වැළඳ ගන්න

[වින්යා ජයසේකර]

--------------------

ඇහැළ මල්

රන් සිනාවන්ය
මේ ඇහැළ මල් කැරළි,
මා ආත්මය මතට
මී බිඳු වන් පෙති සලන

සොරා ගන්නට ඉඩ දෙමි
පාලුවෙන් පිරි සුළඟට
එක දෙකක් පෙති,
සඟවා කොට්ටය යට
හොරෙන් ගෙන සිඹින්නට
ශොකී රාත්‍රීන් හි

දාහයෙන් පිරි දිනකදී පවා
නොසිඳී කුලින් කුලට පනින
සිහිල් දිය දහරකි නිල අහස
ඇහැළ මල් වට කර ගලන

කොතරම් සැහැල්ලුද මේ පෙති
අහස දිය මත පා වෙන
බරය ජීවිතය මගේ නම්
දිනෙන් දින ගිලී යන
පොළෝ ගැබ අඳුරට

අසනු අහස් ගංගාවනි
එදවස මගේ සෝ සුසුම් ගෙනගිය
අදද ගෙන යන,
රැකගනු මේ අහිංසක මල් පෙති
ලියා යමි මගේ පෙම් ගී
මේ ඇහැළ පෙති මත
තබා යමි මා හදවතද තනියට
මේ ඇහැළ ගස පාමුල

[තරින්ද්‍ර ගලහේන]

-----

හීන

ඉස්සරම හිත් ඇරෙන නිවන් ගිය හීන
කප්පරක් අත වනයි බොද වෙවී පේන
අච්චරක් පෙම තරම් කොච්චරත් කීව
දුෂ්කරයි ඇස් දෙකට මඟ බලන් තාම

[පසන් සංජය සමරතුංග]

-----------

අන්තිම පුරුක

කඵවගෙ පිටට අත තියාගෙන
සරම කැහැපට කවාගෙන පයින්
පාරෙ අයිනට වෙලා
ගංදියට විරුද්ධව
දර කරත්තය රැගෙන
දුම්හිමේ මහකන්ද
අප්පු සීයා නඟිනවා
මිනිත්තුවකට දෙතුන් සැරයක්
කලුව නහයෙන් පිඹිනවා

අප්පු සීයා කහිනවා
ඇවිස්සෙන්නට දුහුවිල්ල
මොකක්දෝ කියාගෙන ගියා
වැලි ලොරියෙ ඩැයිවර
සීයා තොල් උල් කලත්
හරුපයක් නෑ පිටකළේ

බදුළු ඔය ඉවුර පෙරවාගේ හැඩ නෑ
හුරතලෙන් එබි එබී
දවසේම නටපු වැල්පඳුරු
මල් කිණිති ඉඳිරිලා ගිහිල්ලා
කාලයේ බොරළු මතු වී
කුණු වතුර පල්ලෙහට ගලනවා
අප්පු සීයට එහෙම හිතෙනවා

වෙනද වගෙ පුරුද්දට
නැඟපු පල්ලම බහින හැන්දෑවෙ
හිස් කරත්තයෙ නිදන
අප්පු සීයව පුත්තු ගෙනාවා
කිතුලාන මහ හිමේ
ගම්මිරිස් වැල්කැලේ
මහලු පැල්පත වෙතට
සැඳෑ ඇඳිරිය කැටිව
හෙමි හෙමින් කරත්තය ඇදෙනවා

කාත් කවුරුවත් නෑ
අද පැලේ පහන නෑ
බුලත් කෙල විඩක් වත් ගහන සද්දයක් නෑ
පතනෙගෙදරට හඳ ඇවිත්
සීයා තාමත් නිදනවා

මැටි මුට්ටියේ වතුර නෑ
කර ලණුව ලිහලා නෑ
අඳුර අතරින් දුබල උම්බෑ
හඬක් කලුවා නගනවා
වෙනදාට වැඩියෙන්
රැහැයියෝ හඬ තලනවා

[හර්ෂණ විජේතුංග]

------------

සඳ සහ දිය බඳුන

බලන්න!
බලන්න ඔය ඔතැන
තියෙන දිය බඳුන
මලකඩද බැඳුණ
ජරා - පල් දිය පිරුණ

බලන්න!
දිලෙන තැටියක ඒ දිය මතින
සඳ, රැයේ මුදු පවන හා රඟන
බලන්න! ඔබ සැවොම පවුරු බැඳගෙන හඬන
වියරු වූවන් ලෙසින,
බලන්න සඳ දෙස ඉතින
සාමයයි ඒ, රැඳුණ මේ යුද බඳුන
පල් දියෙන් නොතෙමී, නොසැලී සිටින.

(පසුගියදා මෙලොවින් සමුගත් ප්‍රකට නයිජීරියානු කිවියර ගේබ්‍රියෙල් ඉමොමොටයිම් ඔකාරා විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

ගේබ්‍රියෙල් ඉමොමොටයිම් ඔකාරා


ඔහු වර්ෂ 1921දී නයිජීරියාවේ රිවර්ස් ප්‍රාන්තයේ, අයිජෝ දිස්ත්‍රික්කයේ, නෙම්බේ නමැති ප්‍රදේශයේ උපත ලැබීය. යුමුයාහියාහි රජයේ පාසලෙන් ද්විතියික අධ්‍යාපනය ලැබූ ඔහු පොත් බඳින්නකු ලෙස කලක් කටයුතු කළේය. ඉන් අනතුරුව, එතුඟු ප්‍රදේශයේ රජයේ මුද්‍රණාලයේ සේවයට බැඳුණේය. එසමයෙහිම ගුවන්විදුලියට කවි සහ නාට්‍ය රචනා කිරීම ඇරැඹීය. පසුව ඇමෙරිකාවට ගොස්, පුවත්පත් කලාවද හැදෑරූ ඔහු නැගෙනහිර නයිජීරියාවේ තොරතුරු නිලධාරියා ලෙසද කටයුතු කළේය. පොතපත ඇසුරු කරමින් සාහිත්‍යය හැදෑරූ ඔකාරා භාෂා සහ සංස්කෘතීන් ගැනද විශේෂ උනන්දුවක් දැක්වීය. පනහ දශකය ආරම්භයේදී කාව්‍යකරණයට පිවිසුණු ඔහු නියිජීරියානු කවීන් අතර කැපීපෙනුණු සමකාලීන කවියකු ලෙසද ප්‍රකටය.


‘NIGERIAN TIDE’ නමැති පුවත්පතේ සමාරම්භක කතුවරයා වූ ඔකාරා ‘THE VOICE’ නමින් නවකතාවක්ද ලියා ඇත. වර්ෂ 1978දී ‘THE FISHERMAN’S INVOCATION’ නමින් ප්‍රකාශයට පත් වූ ඔහුගේ කාව්‍ය නිර්මාණ සංග්‍රහය ලොව පුරා විශාල කාව්‍ය රසිකයින් පිරිසකගේ විශේෂ අවධානයට ලක් විය. දීර්ඝ කාලයක් පුරා නිර්මාණකරණයෙහි නියැලී සිටි ඔහු පසුගියදා මෙලොවින් සමුගත්තේය.

[අජිත් නිශාන්ත]

සංස්කරණය [තිඹිරියාගම බණ්ඩාර]

[email protected]

 

මාතෘකා