කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

රුවිත වූ හදක, ලැගුම්ගත් නුඹ...

ටිකෙන් ටික ආව පොද වැස්සක
තෙමෙන්නට ටිකක් බය හිතුණ
කිති කවන ඒ සීතල වැහි පොද
කොඳුරන්නේ නුඹ ගැන මතක

ඩුප්ලිකේට් නැති හදවතක
නුඹටම ඉතිරි වුණ ඔරිජිනල් සෙනෙහස
ගාලු මුවදොර දෙසින් හමන
සුළඟටත් නොහැකිය රැගෙන යන්නට

අයා සිටියත් ක්ෂිතිජය දෙස
පාට සරුංගලයකටවත් පුළුවන්ද
ක්ෂිතිජ ඉම පහුකරගෙන ගසාගෙන යන්නට
සදහටම නොරැඳෙන මතකයක් විලසට

අවකාශ අහුමුළුවල තනි වන විට සැඳෑ සක්මනක මතක
සීතලම සීතල සුළඟක් සිප ගන්නා විට
හාරත රැජිණ කාඩ් පත
තවම නුඹ සිටින්නේ
රුවිත වූ හදක ලැගුම් ගෙන

[ප්‍රියාශා රන්වල]


සඳවතිය...

මට බෑ ඉරක් වෙන්න...
උඹ නැති දවාලක පායා ඉන්න...

සඳවතිය...
උඹේ රුව දකින විට
ගනඳුරත් සැකයි මට

[රවිඳු එදිරිසිංහ]


විදුබිම කෙළවර වෘක්ෂ අම්මා

අගහිඟ වියරු දළ රළපෙළ ගෙට වැදුණී
හීලක් නැතිව ඉඳහිට විදුබිම වැටුණී
සාමලා අමරලට කැන්ටිමෙ දොර හැරුණී
නුඹ දුන් ඵලයකින් මගෙ කුසගිනි නිවුණී

තනිරූල් පොත බෙදා හරි මැදින් සීරුවට
ගණිත, සාහිත ශිල්ප එක පොතක ඇඳෙන කොට
කුපිත වූ දෙගුරු සිත වේවැලක් පතන විට
අතුපතර හකුළුවා කියන් සැඟවුණෙ කුමට?

වැල් ඇඳේ සුසුම්ලන පියකුගේ දුක් කන්ද
කොහු වළේ ලෙලි තලන අම්මටත් නෑ නින්ද
දැවටෙමින් නුඹේ අසනියෙන් සූරා ඇන්ද
මගේ දිවි සිතුවමට බිතක් වූයේ මන්ද

රිදුම් දෙන අතීතය යළිඳු මතකෙට නඟන්
මිදී නගරෙන් ආමි හදේ දුක සිර කරන්
ඇවිද ගොස් විදු බිමේ රිය කවුළුදොර ඇරන්
විසල් තෙමහල් පියස නුඹේ විජිතය අරන්

[නිශාන්ත මල්ලවආරච්චි]



අසම්මතයක්

ගොඩක් උස කඳු මුදුන් සිප එන
සිහින් සිහිලැල් සුළං රැල්ලක
ගැබ්ව ඇති ඒ මිහිරි රාවය
කොන්ති ගහනවා පපුව මැද්දම

තණපතක රැඳි පුංචි පිණි කැට
වියැකිලා යයි හිරුගෙ එළියට
අසම්මත අපෙ පෙම් කතාවට
තිතක් කෙලෙසක තබන්නද මම

විකසිතව ඇති සෑම කුසුමක්
පරව යා යුතුය හවසට
රාත්‍රී ගණ අඳුර අතරින්
පිය නඟමු අපි අපේ ලොවකට

අයිති නැති බව දැන දැනත් මම
තව තවත් පෙම් කරමි නුඹ හට
ආදරේ රතු රෝස උයනක්
නොවන බව මම දනිමි සොඳුරිය

[ශනීෂ් ශ්‍රීමාල්]


'මචං මනමේ'

කුමරිය,
'නාටකේ පිටපත
සිතුණ සිතුණ තැන්වලින්
කවුදෝ වෙනස් කර ඇත'

ඒ අනුව
වැදි රජත් මමත්
නුඹට රැවටීමට නියමිතය

අහෝ! කුමරියනි,
කඩු දුනු හී අනවශ්‍යය
අපි දෙන්නා මෙතැන
බෝතලයක් සමඟ
නිරායුද සටනකය

'මචං මනමේ'
දාගනින් තව එකක්
පත්තු කරපං මේකත්

උඹට මැරෙන්නත් නෑ
මට දිනන්නත් නෑ
මේක ඒකි තනියම ගහපු ගේමක්

[සමුදු බස්නායක]


තිත්ත කරවිල : රසකාරක ජීවිතය

සිනා සපිරි
මලක් සදිසි
විලිකුන් සුරත් ඵලය !
'තිත්ත කරවිල' ලෙසින් නම් ලද
නුඹට ආඩම්බර ද
නුඹ ගැන

කොහොඹ තුරකට
කොහොම පෙම් බැන්ඳා ද
අත් පසුරු පෙම් වදන්
ගසයි පොත්තයි වගෙද

ගුණෙන් පිරිපුන්
වුවද කිම ඵල
බත් පතින් ගෙන
තුඃ කියා ඉවත ලන

ගුණවරුණ ඉහළය
දිවිඔසුව සදිසිය
ලොව වැඩ පිණිස ම ය
ඇගැයුම ඊට නොසරිය

ආරෙටම යන
ගුණය කිසිවිටක නෑරෙන
පරපුරෙන් පරපුරට
තිත්ත රසමය ගෙන එන

තුටු සාද මුසු කොට
ජීවිතය මිරිකා හරින
ලුණු රසයටත් වඩා
ජීවිතය තිත්ත වෙද

'රසකවන' තැවරුවද
තිත්ත රස තිත්ත ම ය
ඉතින් කවදා කොහොම
ජීවිතය රස වේද

වැලට ම බරක් වී
සිනාසෙන රඟ
නොකියා ජීවිතය
තිත්ත නැති වග !

[සු.ප්‍රි. සමරසිංහ]


බැස බඹ තිහක් දෝනාවේ

හරි මැදදි දෝනාවෙ
මුණ ගැහුණෙ මහතුන්
මට හිතුණා මුලදි බය
ඒ වුණත් කළුවරේ
නෙතට නෙත ගැටුණු විට
දැණුනාම පපුවෙ තෙත
දියවුණා මගේ බය

හරියටම අවුරුද්දක්ලු
රබර් මුක්කුව බිඳිලා
මං ඇහුවා "මහතුන් අයියෙ
දානයක් දෙන්නම්ද
තියෙන හැටියකට උයලා?"
අනේ බං එපා කිව්වා
වෙනදා වාගෙම බලලා

කියන්නට කිව්වා
මට උඩට ඇවිදිල්ලා
අප්පොටම පණිවිඩය
ගෙදර හරියක නැතිලු
හාල් ලුණු අඩුවැඩිය
සිස්සත්ත පන්තියේ
පොඩි එකා අඬනවලු
කොටු රූල් පොත් නැතුව

අනේ පුළුවන්නම් ගිහින්
බලන්නලු උන් ගැනත්
මැරුණු මිනිහෙකුගෙ වුව
පපුව කකියනවාලු
පොඩි එවුන් අඬනවිට

ගිය සතියෙ වෛරෝඩියට
දේව දානය දෙද්දි
ගෙදරටත් පංගුවක්
බෙදුව හැටි දැක්කාම
ඇඬුණාලු සතුටටම

[ලසන්ත ද සිල්වා]
(ඊයේ එළි දුටු, 'තුනී තුරු පත් මත
ගැඹුරු ඉරි' කෘතියෙනි.)


ලොකු කෙල්ල

කුරගල කන්ද පාමුල ගොම්මන් යාමේ
ගොපළු කොල්ලෝ දක්කනවා රැළ උන්ගේ
වැව් ඉස්මත්තේ දියේ ගිලෙන සීමාවේ
පාලුයි වෙනද එන ඇය අද නැතිවානේ

කම්මලේ ගෙදර සිරි මාමාගේ ලොකු කෙල්ල
මල්වර නැකත ගිය පෝයට පෙර තිබ්බ
ඉත්තක පිපුණු ඉද්ද මලකි සුදු මුහුණ
ගමටම හිටිය සුර දූතිය මේ කෙල්ල

වත්ත පිටියේ වැඩපළවලටත් හපනී
ඉවුම් පිහුම් හරි ඉහළයි නැත දෙවැනී
සරස්වතී දෙව් දුවගේ දූ කුමරී
වන්නම් හරඹ පෙන්නන්නට ඈ සමතී

මල්ලී සමඟ වැව් ඉස්මත්තට යන්නේ
නාවා ඔහුව රෙදි ටික හෙම හොදන්නේ
පස්සේ ඇයත් දියනාගෙන ගොඩ වෙන්නේ
නෙළුම් මලුත් රැගෙනයි ආපසු යන්නේ

ශනිදා හවස වැඩපළ ටික අහවරය
නාන්න යන්න තනියට මල්ලිත් නැතිය
කවුරුත් කුමට මට පුරුදුය ඒ හරිය
ලෙස කියු කෙලී ආයේ ගෙදර ගියේ නැතිය

නිසල දියට පා තැබු සුදු මල් කුමරී
වැව් දිය පහස විඳගත්තා සිනා සිසී
ඇගෙ රූපයට වහ වැටි දිය රැළි එක්වී
වැව් දිය පත්ල වෙත ඈ ගෙනිහින් තිබුණී

[කවිදු N අමරතුංග]


මකුළුවා....

සිටියි ලොකු මකුළුවෙක් නිසොල්මන් වී සිටින,
මකුළුවෙකි ඌ පාට නැති සිරුරක් දරන,
කයෙන්, සිරසෙන්, උදරයෙන් ලේ ගලන...

දිටිමි මම අද ඌ ළඟට එනයුරු
සැම අතට විහිදමින් රුදු ලෙස
උගේ නොගිනිය හැකි පාද
එසඳ සිතුවෙමි මම උගේ නොදිසි ඇස් ගැන,
ඒවාය මකුළුවාගේ මාරක නියමුවන්...

මකුළුවෙකි ඌ බියෙන් සැළෙනා,
ගලක මතුපිට ඇළී සිටිනා,
තබාගෙන උදරය එක පසෙක
හරවගෙන හිස වෙන දෙසක...

අනේ මේ අසරණ සතා හට - පාද අපමණ තිබුණට
නොහැකි විලසය ඌ හට - උගේ හිත හදා ගැනුමට
එවැනි මොහොතක ඌ සිටිනයුරු - දැක පත්ව කුහුලට,
විමසිලිමත්ව සිටියෙමි මේ - යාත්‍රිකයා ගැන මම සැමවිට...

සිටියි ලොකු මකුළුවෙක් උදරයත් දරාගෙන
හිස හැරුණු දෙස වෙත යා නොහැකි විලාසෙන
එසඳ සිතුවෙමි මම උගේ ඇස් ගැන
නොගිනිය හැකි තරම් වූ පාද ගැන,
කොතරම් විමසිලිමත්දැයි මම මේ යාත්‍රිකයා ගැන...

(ස්පාඤ්ඤ ජාතික කවියකු වූ සේසාර් වැලෙජෝ විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

සේසාර් වැලෙජෝ (1892 - 1938)

පෙරුවියානු කවියකු, ලේඛකයකු, නාට්‍ය රචකයකු සහ පුවත්පත් කලාවේදියකු වූ සේසාර් ඒබ්‍රහම් වැලෙජෝ මෙන්ඩෝසා 1892 මාර්තු 16 වැනිදා පෙරුවියානු ඇන්ඩීස් කඳු ආශ්‍රිත සැන්තියාගෝ දි චූකෝ නමැති ගම්බද ප්‍රදේශයකදී උපත ලැබීය. අධික දරිද්‍රතාව හේතුවෙන් කලක් අධ්‍යාපන කටයුතු අතහැර දමා කම්කරුවකු ලෙස සේවය කළ ඔහු පසුකලෙක නැවත අධ්‍යාපන කටයුතු අරඹා ස්පාඤ්ඤ සාහිත්‍යය පිළිබඳ විශ්වවිද්‍යාල උපාධියක් හිමි කර ගත්තේය. කලක් සිය මුළු ජීවිත කාලය පුරාම පළ කර ඇත්තේකාව්‍ය සංග්‍රහයන් තුනක් පමණක් වුවද, 20 වැනි සියවසේ බිහිවූ විශිෂ්ටතම කවියකු ලෙස ඔහු සැලකෙයි. ඒ වන විට පැවැති සාහිත්‍ය ප්‍රවණතාවන්ට අභිභවා යන ආකාරයේ නව නිර්මාණ ශෛලියක් හඳුන්වා දුන් අතර, ඔහුගේ කාව්‍ය නිර්මාණ සංග්‍රහයන් සියල්ල එකිනෙකට හාත්පසින්ම වෙනස් ආකාරයේ නිර්මාණවලින් සමන්විත විය. විවිධ සම්මාන ගණනාවකින්ද පිදුම් ලබා ඇති ඔහු භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස පැරිසියේ කටයුතු කරමින් සිටියදී 1938 අප්‍රේල් 15 වැනිදා මිය ගියේය.

[අජිත් නිශාන්ත]

මාතෘකා