ඉදිකිරීමට වඩා කල් යන සැලසුම අනුමත කිරීම

ඉදිකිරීමට වඩා කල් යන සැලසුම අනුමත කිරීම

නිවසක් හෝ සුළු පරිමාණ ව්‍යාපාරයක් සඳහා ගොඩනැඟිල්ලක් තැනීමේදී නිසි ලෙස සකස් කළ සැලසුම්වලට පවා සති කිහිපයක් කල් ගත වීම සාමාන්‍ය තත්ත්වයක් බව සත්‍යයකි. පෞද්ගලික මට්ටමෙන් අනේක විධ කැපකිරීම් සිදු කරමින් සැලසුම් කරන මෙවැනි ඉදිකිරීමකදී සැලසුම් අනුමත කිරීම වෙනුවෙන් අසාමාන්‍ය කාලයක් ගැනීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි අසාධාරණයකි. නමුත් එය මෙතෙක් මෙරටෙහි සිදු වෙමින් පැවතීම කනගාටුවට කරුණකි. මෙම තත්ත්වය අවසන් කරමින් නියමිත පරිදි ඉදිරිපත් කර ඇති එවැනි ඉදිකිරීම් සැලසුම්වලට එක් දිනක් ඇතුළත අනුමැතිය ලබා දෙන ජනපතිවරයා පසුගියදා නිලධාරීන් හට උපදෙස් දීම වඩාත් ධනාත්මක වෙනසකි. ඉදිනෙදා ජීවිකාව සරිකර ගන්නා බහුතර ජනතාවට මෙවැනි කටයුතු වෙනුවෙන් දින ගණන් කාලය කැප කිරීමට මෙන්ම වෙහෙසීමට සිදු වීමද ඛේදවාචකයකි.

පවතින නීතිරීතිවලට අනුකූලව නිසි ප්‍රමිතියකින් යුක්තව ඉදිරිපත් කරන සැලසුම්වලට මෙලෙස කඩිනම් සේවාවක් ලබා දෙන අතර වෙනත් තාක්ෂණික අඩුපාඩු සහිතව ඉදිරිපත් කරන සැලසුම්වල; අඩුපාඩු සකස් කර ගැනීම සඳහා උපදෙස් ලබා දීමද ඉතා වැදගත්ය. නමුත් බොහෝ විට සිදු වන්නේ එවැනි අඩුපාඩු සහිත සැලසුම් අනුමත කිරීමට වෙනත් කෙටි සහ අනීතික මාර්ග බොහෝ නිලධාරීන් යෝජනා කිරීමයි. මූල්‍යමය හෝ වෙනත් ආකාරයේ සංතෝසමක් අතමිට මොලවන තුරු සැලසුම් අනුමත කිරීම ප්‍රමාද කිරීමට

නම් දැරූ නිලධාරීන් ඇතැම් පාලන ආයතනවල දුලභ නොවේ.

ඇතැම් විට තම සේසතම වියදම් කරමින් ජීවිතයේ ප්‍රමුඛතම බලාපොරොත්තුව බවට තම නිවාස සිහිනය පත් කරගන්නා ජනතාව සැලසුමක් අනුමත කිරීම වෙනුවෙන් බොහෝ කැපකිරීම් දන්නා මෙම නිලධාරීහු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිති. පවතින නීතිරීතිවල ඇති අපැහැදිලි බව මෙන්ම සංකීර්ණ බවද මෙලෙස අපහසුතා ඇති කිරීම සඳහා මනා පිටිවහලක් සපයයි.

ඉදිකිරීම් සම්බන්ධ නීතිරීති; සෘජු සහ සරල ලෙස සකස් කිරීමෙන් මහජනතාව විඳින පීඩා අවම කිරීමට කටයුතු කළ යුතු බවටද ජනපතිවරයා උපදෙස් ලබාදී තිබේ. මෙම උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව ජනපතිවරයා පසු විපරමක් සිදු කරන බව අපට විශ්වාසය.

නිවැරදිව ඉදිරිපත් වන සැලසුම් ප්‍රමාද වෙද්දී ඉතා කඩිනමින්, සීමා මායිම් බිඳ දමමින් අනුමත වන සමහර සැලසුම් ගැනද අවධානය යොමු කළ යුතුය. එවැනි බොහෝ සැලසුම් පිටුපස ඇති අදිසි හස්තය දේශපාලන බලවතකුගේ හෝ කූඨ ධනවතකුගේය. එම සැලසුම් බොහොමයක් යෝජනා කරන්නේ නියමිත ප්‍රමිතීන් නොසැලකිල්ලට ගනිමින් ඉදිකිරීම් සිදු කළ යුතු බවය. එසේත් නොමැති නම් ඒවා ඉදිකෙරෙන්නේ වගුරු බිමක, වෙල් යායක හෝ ඇල මාර්ගයක් හරස් කරමින්ය. එවැනි ඉදිකිරීම්වලට කඩිනමින් අනුමැතිය ලබා දෙන නිලධාරීන්ම නිවැරදි සැලසුම්වලට අඩු ප්‍රමුඛතාවක් ලබා දීමේ ක්‍රමය වහාම වෙනස් විය යුතුය. ඒ වෙනුවට රටේ සාමාන්‍ය නීතිය සේම ඉදිකිරීම් සම්බන්ධ නීතිද සමාන ලෙස සියලු පුරවැසියන් කෙරෙහි බලපැවැත්විය යුතුය.

එමෙන්ම නියමිත ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම්වලට අනුමැතිය දීම සඳහා ලාභ ප්‍රයෝජනවලට තැන දීමේ ක්‍රමය මෙන්ම දේශපාලන සහ මූල්‍ය බලපුළුවන්කාරකම් ප්‍රමුඛත්වයෙහිලා සැලකීමේ ක්‍රමය නැවැත්විය යුතුය. එසේත් නොමැති නම් වැඩ කරන රටක් හදන ගමන පසෙකලා කඩා වැටෙන රටකට පැලැස්තර දැමීම වෙනුවෙන් අපට කාලය වෙන් කිරීමට සිදු වනු ඇත.

මාතෘකා