ජනපතිවරණ සටන සහ 2020 අභියෝගය

ජනපතිවරණ සටන සහ 2020 අභියෝගය

ජනාධිපතිවරණයෙන් පසුව එළැඹෙන දශකය (2020 - 2030) ශ්‍රී ලංකා දේශපාලනයෙහි දිශානතිය පිළිබඳ වැදගත් අවධියක් වනු නිසැකය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාගේ ප්‍රථම තාර්කික එළැඹුමෙන් ප්‍රභවය ලබා දශක තුනක් තිස්සේ වර්ධනය වුණු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ බලගතු සමාජ වුවමනාව 2020දී නිශ්චිත අවසානයක් කරා යනු ඇත. ආසන්නතම සිදුවීම වශයෙන් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා ඉදිරිපත් වූ 20 වැනි සංශෝධන යෝජනාව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කළද විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑමේ වුවමනාවක් ඔවුන්ට ඇති බවක් එයින් නොකියැවේ.

මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගන්නා පුද්ගලයා කවුරුන් වුවත් එම ධුරය 2015ට පෙර පැවැති ධුරය මෙන් බලගතු නොවේ. සර්ව බලධාරී නොවේ. 19 වැනි සංශෝධනය මඟින් විධායකයේ අඬු කපන ලදි. ඒ අනුව තමන් ජනපති වූ පසුව කරන දේවල් මේවා යැයි මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන් කුමක් කීවද 2020දී වැඩ කිරීමට සිදු වන්නේ තමන්ට වඩා බලතල ඇති අගමැතිවරයකු සමඟය. එනම් නාමික විධායක ජනාධිපතිවරයකුගේ තත්ත්වයට ආසන්න අයකු හැටියටය. එනිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නන් ඉදිරියේ ඇති සැබෑ අභියෝග මොනවාදැයි විමසා බැලිය යුතුය.

ඉන් පළමුවැන්න මීළඟ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තමන්ගේ දේශපාලන පක්ෂය නියෝජනය නොකරන තත්ත්වයකදී පරණ විධායකයේ අනුහස අමතක කර තම භූමිකාව තේරුම් ගනිමින් යහපත් ආණ්ඩුකරණයේ සම්මුතීන්ට අනුගත වීමය. ගත වූ අවුරුදු පහකට ආසන්න කාලයේදී මානව හිමිකම් ආරක්ෂා කිරීම පාර්ශ්වයෙන් ඇති වූ ප්‍රගතිය වඩාත් යහපත් මට්ටමකට ගෙන යෑම සඳහා කොන්දේසි විරහිතව දායක වීමය.

ඊළඟ වැදගත් කරුණ නම් මැතිවරණ ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති පියවර වඩාත් ප්‍රජාතන්ත්‍රීකරණයට ලක් කිරීමය. ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වයට බාධා නොකර ඒවා ශක්තිමත් කිරීම එහිදී අනිවාර්ය වේ.

අලුත් ජනාධිපතිවරයකු පත්වූ පමණින් උඩු යටිකුරු කෙරෙන ආර්ථිකයක් ඇතිවේ යැයි සිතිය නොහැක. නිදහස් වෙළෙඳාම හා සේවා ආර්ථිකය මත සැකසුණු ව්‍යුහය පහළ සමාජ තීරුවලට මීට වඩා වාසි සහගත ආකාරයෙන් ප්‍රක්ෂේපණය කිරීමේ වුවමනාව බලවත්ව නැඟී ඇත. ඒ සමඟම බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම සඳහා ගෙනා ප්‍රතිසංස්කරණ ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතුව ඇත.

ආර්ථික බලය හිමි සුළුතරය සහ අවම ආදායම් මට්ටමේ සිටින බහුතරය අතර ඇති විෂමතාව බරපතළය. මේ විෂමතාව පුළුල් වෙමින් පවතී. ඒ ගැටලුව විසඳීම සඳහා වැඩි වැඩියෙන් සුබසාධනයට යොමු වීම කෙටිකාලීන උපාය මාර්ගයකි. දීර්ඝකාලීනව හානිකරය. එනිසා මැදි ආදායම් රටක් ලෙස නම් කර ඇති රටක ආර්ථිකයේ සර්ව සාධාරණත්වය යළි විමසුට ලක් කළ යුතුය.

රාජ්‍ය වියදම් සොයා ගැනීමෙදී බර තබා ඇත්තේ වක්‍රබදුවලටය.

ඒ බදු බර පැටවෙන්නේ සාමාන්‍ය ජනතාවටය. සෘජු බදු අය කිරීම දුර්වල තැනක පවතී. බදු හොරුන්ද බදු වංචාකාරයන්ද දේශපාලන ව්‍යුහයට කිඳා බැස තිබේ. මේ නිසා බදු දැලෙන් රිංගා යෑම පහසු කරුණකි.

බදු ප්‍රතිපත්තිය ශතිමත් කිරීමේදී ධනපති පන්තියෙන් එල්ලවන්නේ තර්ජනයකි. රජයට සම්බන්ධ ව්‍යාපාර කරන හෝ තම ව්‍යාපාරවලින් උපයන ධනයෙන් කොටසක් දේශපාලන පක්ෂ හා පුද්ගලයන්ට පරිත්‍යාග කරන පිරිස් බදු ප්‍රතිපත්තියට සතුරු වෙති. ඔවුන් මෙල්ල කිරීම විධායක ජනාධිපතිවරයකු හටද දුෂ්කර කටයුත්තකි.

මේ නිසා වාග් චාතූර්යයේ අනුහසින් කවර කතා ගෙනහැර පෑවද වඩා වැදගත් වන්නේ ජනාධිපති අපේක්ෂකයාගේ සැබෑ අභියෝග වටහා ගැනීම හා 2020න් එළැඹෙන දශකයේ ක්‍රියාත්මක කිරීම සඳහා රටට උචිත ආර්ථික න්‍යාය පත්‍රය හා සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමය.

මාතෘකා