නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා

ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරයා පත්කර ගැනීමේ ජනාධිපතිවරණය නොවැ. 16දා පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත්ව තිබේ. ඒ අනුව ඔක්. 07දා නාම යෝජනා බාරගැනීමට නියමිතය. ඇතැම් පක්ෂවල ජනාධිපති ධුර අපේක්ෂකයන් නම් කර ඇත. සෙසු පක්ෂද ඉක්මනින් ගැටලු විසඳා ගනිමින් තම අපේක්ෂකයන් නම් කරනු ඇත. ජනාධිපතිවරණයකදී මුළු රටම එකම ඡන්ද කොට්ඨාසයක් බවට පත් වෙයි. එනිසා රටේ ජීවත්වන සියලු ජනවර්ග ආකර්ෂණය කරගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කෙරේ. මෙහිදී පවතින මැතිවරණ නීති සහ සම්ප්‍රදායන් අභියෝගයට ලක් නොකිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්ම සම්බන්ධයෙන් වැදගත් වේ.

1972 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා නාමික විධායකය බවට පත්විය. විධායක බලය තිබුණේ අගමැතිහටය. එහෙත් 1978 ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරයක් නිර්මාණය කරන ලදි. එම බලගතු විධායකය නිර්මාණය කරන ලද්දේ ඇමෙරිකානු ව්‍යවස්ථාවෙත්, ප්‍රංශ ව්‍යවස්ථාවෙත් ඇතැම් ප්‍රතිපාදන සංකලනයෙනි. ජනාධිපතිවරයාට ඇති සුවිශේෂ බලය වූයේ මුක්තියයි. ඒ අනුව ජනාධිපතිට එරෙහිව අධිකරණ බලය යෙදිය නොහැක.

එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මුක්තිය ඇතුළු බලතල ගණනාවක් කප්පාදුවට ලක් කෙරිණ. මේ අනුව මීළඟ ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයා බලතල කප්පාදු කරන ලද අයෙකි. එහෙත් විධායක ජනාධිපති ධුරයේ අනුහස පැලපදියම් වූ දේශපාලන සංස්කෘතියක් නියෝජනය කිරීම හේතුවෙන් මීළඟ ජනාධිපතිගේ දේශපාලන චර්යාව ගැන දැන්ම අනාවැකි කිව නොහැක. එය බෙහෙවින් විවාදාපන්නය. එහෙත් මෙවර ජනාධිපතිවරණය සඳහා දැනට ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයන්ගේ ප්‍රකාශ අනුව පෙනී යන්නේ තම පක්ෂයද දායක වූ 19 වැනි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් නොමැති බවය.

ඉතිහාසයේ පළමුවැනි වරට මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවක ක්‍රියාකාරිත්වය යටතේය. මෙය ස්ථාපිත කෙරුණේ 2015 නොවැ. 15දාය. එය යහපාලන ආණ්ඩුව යටතේ සිදුවූ අතිශය වැදගත් කටයුත්තකි. ඊට හේතුව නිදහස් ඡන්ද අයිතිය ලැබීමෙන් පසුව ක්‍රියාත්මක වූ ලංකාවේ ඡන්ද ක්‍රමය දශක කිහිපයකදී අභියෝගයට ලක්වීමය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ අපේක්ෂා ඡන්දදායකයන්ගෙන් ක්‍රමයෙන් ගිලිහීමය. මෙය උච්චාවස්ථාවට පත්වූයේ 2015දීය. ඡන්දදායකයන් ලබාගැනීම සඳහා රාජ්‍ය දේපළ අවභාවිතයෙහි යොදවන ලදි. ඒ පිළිබඳ අධිකරණයෙහි නඩු කිහිපයක්ද විභාග වෙමින් පවතී.

මැතිවරණ කොමිසමක් පිහිටුවා නොතිබුණත් මැතිවරණ දෙපාර්තමේන්තුව ඒ වන විට ශක්තිමත් වී තිබිණ. 1955දී එම දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමේ අරමුණ වූ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම බලාත්මක වූ අවස්ථාවක් හැටියට 2015 ජනාධිපතිවරණය හැඳින්විය හැකිය. ඡන්ද මධ්‍ය‍ස්ථානවලට එල්ල විය හැකි බලපෑම් නිෂේධනය කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රමුඛව දෙපාර්තමේන්තු කාර්යමණ්ඩලය උපරිම අයුරින් කටයුතු කළේය. මේ නිසා ඡන්දය පැවති දා අලුයම යාමයෙහි පැමිණීමට තිබූ නපුරු ආරංචි නොපැමිනුණි.

"කකුල් දෙකෙන් පහළට නොවෙයි. ඔළුවටම වෙඩි තියන්න"

ඡන්ද කොල්ලකෑමේ බලහත්කාරයට එරෙහිව ආ නියෝගය එසේය.

2018 ඔක්.26 කුමන්ත්‍රණය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල මෙන්ම රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය මනාව හඳුනාගත් අවස්ථාවකි. 19 වැනි සංශෝධනය අනුව පාලිමේන්තුවේ කැමැත්ත නොවිමසා විධායකයට එය විසුරුවාහැරිය නොහැක. මැතිවරණ කැඳවිය නොහැක. විධායකයේ තීන්දුවට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිවැරදි තීන්දුව අනුව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය හා ගෞරවයද ආරක්ෂා විය.

මෙවර ජනාධිපතිවරණයේදී 50%ක ඡන්ද ප්‍රතිශතයක් කිසිවකු හට ගතහැකි වේද යනුවෙන් සංවාදයක් පවතී. දෙවැනි මනාපයද සාකච්ඡාවට ලක්වේ. මෙවරද මැතිවරණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විශේෂ අවධානයක් ඇත. ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමේදී මැතිවරණ දෙපාර්තමේන්තුවේ ස්වාධීන ක්‍රියාකාරිත්වය වැදගත්ය. එයට බලපෑම් නොකිරීම දේශපාලන සංස්ථාවේ වගකීමය.

මාතෘකා