කාලගුණ විපර්යාස

කාලගුණ විපර්යාස

වසර කිහිපයක් තිස්සේම කාලගුණය දැඩි විපර්යාස තත්ත්වයකට පත්ව තිබේ. ලංකාව අහස දෙස බලා වහින පායන බව කීමෙහි සමත් ඉතිහාසයක් තිබූ රටක් වුවද මෙකල නම් එය කිසිසේත්ම කළ නොහැක්කකි. ඒ තරමටම දේශගුණය සහ කාලගුණය ව්‍යාකූලව විපරීත වී තිබේ.

ස්වාභාවික උවදුරු සිද්ධීන් පුළුල් කාණ්ඩ දෙකකට බෙදා ගත හැක.

භූ භෞතික උපද්‍රව, භූමිකම්පා, වෙරළ ඛාදනය, ගිනි කඳු පිපිරීම්, සුළි කුණාටු හා නියඟය වැනි භූ විද්‍යාත්මක හා කාලගුණ විද්‍යාත්මක සංසිද්ධිවලින් සමන්විත වේ. කෙසේ වෙතත් භූ විද්‍යාත්මක පිහිටීම් හේතුකොටගෙන ශ්‍රී ලංකාව මේ සියලු උපද්‍රවවලට ලක් වීමේ අවදානම් කලාපයට අයත් නොවුණත් මින් කිහිපයකට මුහුණ දීමේ අවදානමෙන් මිදෙන්නට හැකියාවක් නැත.

මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ඉලක්ක කොට කඩා වැදුණු ස්වාභාවික ව්‍යසන ප්‍රමාණාත්මකව අඩු වුවත් මෑතක සිට තත්ත්වය වඩා සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ.

දිනෙන් දින ඉහළ යන ස්වාභාවික ආපදාවන් හේතුවෙන් ඒවා කළමනාකරණය කර ගන්නා ආකාරය පිළිබඳ විශාල කථිකාවක් රට තුළ නිර්මාණය වී තිබේ. ස්වාභාවික විපත් කල්තියා හඳුනා ගැනීමට උපකාරී වන නවීන තාක්ෂණය කෙරෙහිද මේ මොහොතේ විශේෂ අවධානයක් යොමු වී තිබේ. එසේම ස්වාභාවික උපද්‍රව කල්තියා දැනුම් දී තිබියදී එම ස්ථානවලින් ඉවත් නොවන අය සම්බන්ධයෙන්ද කටයුතු කිරීම සඳහා නව නීති හඳුන්වා දීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.

ආපදා කළමනාකරණය ලෙස හඳුන්වනු ලබන්නේ ස්වාභාවික සහ වෙනත් ආපදාවකදී ඊට මුහුණ දීම සඳහා වන පෙර සූදානමයි. ඒ සඳහා සැලසුමක් අවශ්‍ය වේ.

කෙසේ වෙතත් එකී කළමනාකරණය සම්බන්ධව මෙරට සමාජය තවදුරටත් දක්වන්නේ පසුගාමී ප්‍රතිචාරයකි. අවම කිරීම, පෙර සූදානම, ප්‍රතිචාරය, නැවත යථා තත්ත්වයට පත් කිරීම යන කාරණා මුල්කොට ගත් 'ආපදා කළමනාකරණයේදී' තාමත් පෙර සූදානම සම්බන්ධව සමාජය එතරම් සැලකිය යුතු මට්ටමකින් ඉදිරිගාමී නැත.

ඒ නිසාම ව්‍යසනය හිස උඩට පාත්වන තුරු කිසිවෙක් සැලකිලිමත් වන්නේ නැත. වරද අනෙකා පිට පවරා වේදනාවෙන් දෙස්දෙවොල් තැබීම සාමාන්‍ය ක්‍රමවේදය වී තිබේ.

2012 වසරේ ගංවතුර සහ නාය යෑම් විසින් මිනිස් ජීවිත 40කට ආසන්න ප්‍රමාණයක් අහිමි කළ අතර ලක්ෂ තුනක් වූ ජීවිත උන් හිටි තැන් නැති තත්ත්වයට පත් කරනු ලැබීය. 2014දී මේ ආපදා තත්ත්වය ජීවිත 20ක් බිලි ගත් අතර 2015දී මිනිස් ජීවිත 10ක ඉරණමද ස්වාභාවික ව්‍යසන විසින් තීන්දු කෙරිණ. 2016 වසර 100කට වැඩි ප්‍රමාණයකට ජීවිත අහිමි කළ බිහිසුණු නාය යෑමක් සිදු කළ සොබාදහම විසින් 301,602ක පමණ පිරිසක් අවතැන් කරනු ලැබීය.

මෙයින් ගම්‍ය වන්නේ ව්‍යසනවල හානිදායක ප්‍රතිඵල වසරින් වසර වර්ධනය වන ආකාරයයි. එහෙත් ඊට සාපේක්ෂව සූදානම් වීම මන්දගාමී තත්ත්වයක පැවැතීම අවසන් ප්‍රතිඵලය ලෙස ඉතිරි කරනුයේ ඛේදාන්තයකි.

ජපානය, චීනය වැනි රටවල් වර්ෂයක් පාසාම විශාල ලෙස භූ කම්පන, නාය යෑම්, ගංවතුර වැනි හදිසි ආපදාවන්ට ලක් වේ. නමුත් ඔවුන් එම ආපදා තත්ත්වය හොඳින් කළමනාකරණය කර ගන්නට සමත් වේ. කෙතරම් ප්‍රබල අන්දමින් එම ව්‍යසනයන් ජනතාවගේ ජීවිතවලට බලපෑම් කළද සාපේක්ෂව මිනිස් ජීවිත අහිමි වන්නේ ඉතා අඩුවෙනි. අපේ රටට සාපේක්ෂව එය ඉතා පහළ අගයක් ගනී. ජපානය වැනි රටවල ආපදාවන්ට මුහුණ දෙමින් ජීවත් වීමට ඔවුන් හුරුව ලබා ඇත. එය ඔවුන්ගේ සංස්කෘතියේම අංගයක් බවට පත්ව ඇත. නමුත් අපේ රටේ ජනතාවට ආපදාවන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳ හුරුවක් නැත.

අවාසනාවට එයින් සිදු වන්නේ ස්වාභාවික විපත් කැඳවා ගැනීම සහ කැමැත්තෙන් බිලි වීමක් වැනි තත්ත්වයකි.

ඒ නිසා අවදානම කෙරෙහි අවදියෙන් සිටීමත් ඒ උදෙසා සූදානම් වීමත් වටිනේය.

මාතෘකා