පොත් නොකියවන මහජන නියෝජිතයෝ

පොත් නොකියවන මහජන නියෝජිතයෝ

ස්වර්ණ පුස්තක සම්මාන උලෙළෙහි ප්‍රධාන ආරාධිතයා වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අපූරු අනාවරණයක් කළාය. එනම් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගෙන් වසරකට එක් පොතක්වත් කියවන්නන් තිදෙනෙක්වත් සිටී දැයි සැක සහිත බවය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන්නන්ගෙන් බහුතරය මහජන ඡන්දයෙන් තේරී පත්වූ අය වෙති. පක්ෂවලින් නම් කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ගණන ස්වල්පයකි. පොත් කියැවීමේ යථාර්ථය මේ දෙපිරිසටම අදාළය. පතපොත කියවන ප්‍රබුද්ධ පිරිස් මැතිවරණයකට ඉදිරිපත් වූ විට ඔවුන්ට ඇපත් නැති කර කසිප්පුකාරයන්, එතනෝල්කාරයන්, කුඩු වෙළෙන්දන්, මැරයන් හා ස්ත්‍රී දූෂකයන් පාර්ලිමේන්තුවට යවන්නේ අපේ රටේ අහිංසක බුද්ධිමත් ජනතාව යැයි ගොනාට අන්දවා සිටින ඡන්ද දායකයන්ය.

ඒ එක පැත්තකි.

පොතපත කියවන ප්‍රබුද්ධ මහජන නියෝජිතයන්ගේ හඬ පරයා පාර්ලිමේන්තුවේ රැව් දෙන්නේ පාදඩකම දේශප්‍රේමයෙන් වසා ගත් ජාති හිතෛෂීන්ගේ හඬයි.

මෙය මෙරට දේශපාලන සංස්කෘතියේ ස්වභාවය තේරුම් ගැනීමේ අවස්ථාවකි. 2018 ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණයේදී කථානායක අසුනට නිග්‍රහ කරමින් මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළ මන්ත්‍රීවරයා ගම්පහ ප්‍රදේශයේ නම ගිය කසිප්පු වෙළෙන්දකු බවත් ඔහු දිස්ත්‍රික්කයේ උගත් මන්ත්‍රී ධුර අපේක්ෂකයන් පරදවා ඉහළම මනාප ලබා ගත් අයකු බවත් කතාබහට ලක් විය.

හිටපු කථානායකවරුන් වන අනුර බණ්ඩාරනායක හා විජමු ලොකුබණ්ඩාර යන දෙදෙනාම හොඳ සාහිත්‍ය පාඨකයෝය. කීර්තිමත් මහජන නියෝජිතයකු වූ සද්ධාතිස්ස වඩිගමංගාව ‘සෝබා’ නමැති නවකතාව පරිවර්තනය කළේ ජීවිතයේ සැඳෑ සමයේදීය. ඔහුට ඒ සඳහා අනුබල දෙනු ලැබ ඇත්තේ ඒ පොත ඉංග්‍රීසි බසින් කියැවූ අනුර බණ්ඩාරනායක විසිනි.

අනුර එකල අයවැය විවාදවලදී මුදල් ඇමතිගේ තර්ක බිඳීම සඳහා හැම්ලට් කුමාරයාගේ අදහස්ද උපුටා ගත්තේ ඔහු ෂේක්ස්පියර්ගේ කෘති ළැදිව පරිශීලනය කළ හොඳ රසිකයකු වූ හෙයිනි.

පොතපත නොකියවන පුද්ගලයන්ගේ ස්වභාවය වන්නේ බහුමානීය දෘෂ්ටි කෝණයෙන් ජීවිතය නොදැකීමේ අසමත් බව නිසා ඒකමානීය තීන්දු ගැනීමය. මෙය මහජන නියෝජිතයන්ටද අදාළය.

"සාහිත්‍ය කන්නදැ” යි හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ප්‍රකාශ කළ බවට ජනප්‍රිය මතයක් පවතී. එමෙන්ම සිංහල සාහිත්‍යය හා ඉතිහාසය වැනි විෂයයන් කප්පාදු කෙරුණේ ඔහුගේ පාලන සමයේදී යැයි සමාජයේ මුල් බැසගත් දුර්මතයක් පවතී. ඔහුගේ ජන්ම දිනය සැමරෙන අද වැනි දිනක එම දුර්මතය බිඳ දැමීමද සමාජ වගකීමකි.

1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විෂය මාලා ප්‍රතිසංවිධානය කිරීමේ කමිටුව සාහිත්‍ය සහ ඉතිහාසය යනාදී විෂයන්ට අත තැබීය. ඉතිහාසය හා භූගෝලය වෙනුවට සමාජ අධ්‍යයනය හඳුන්වා දෙන ලදි. සාහිත්‍ය විෂය වෙනුවට උධෘත කිහිපයක් මාත්තු කර සිංහල විෂය ඉගැන්වීමට පටන් ගැනිණ. එයින් අධ්‍යාපනයට සිදුවූ හානියට වගකිවයුතු පුද්ගලයන් හැටියට මහාචාර්ය ඔස්මන්ඩි ජයරත්න හා ප්‍රේමදාස උඩගම නම් කළ යුතුය. 1977 මැතිවරණයෙන් ජේ.ආර්.ගේ නායකත්වයෙන් එජාප ආණ්ඩුවක් බලයට පත් විය. 1978 ප්‍රථම විධායක ජනාධිපති හැටියට ජේ.ආර්. පත් විය.ඔහු රාජ්‍ය සාහිත්‍ය උලෙළකදී කළ ප්‍රකාශයක් විපක්ෂයද සාහිත්‍යකරුවෝද පතුරු ගැසීමට පටන්ගත්හ." සාහිත්‍ය කරලා කාර් එකක් ගන්ඩ පුළුවන්ද?" යනු එම ප්‍රකාශයයි. “සාහිත්‍යකරුවකු හැටියට පොත් ලිවීමෙන් පමණක් ජීවත් විය නොහැක.” යන්න ඔහුගේ කියුමෙහි අරුතයි. ඒ උත්සවයම ඇමතූ එවක සාහිත්‍ය අනුමණ්ඩල සභාපති කේ. ජයතිලක මහතා තමා පොත් ලිවීමෙන් පමණක් ජීවත් වෙමින් කාරයක්ද පාවිච්චි කරන බව කියා ජේ.ආර්ට පිළිතුරු දුන් නමුත් ඒ මොහොතෙහි ඔහු එහි නොසිටියේය.

ජේ.ආර්.ගේ ප්‍රකාශය උඩ ගියේය. එය තවමත් උඩ යයි. ජයතිලකගේ කතාව යට ගියේය. එහෙත් ජයතිලකගේ ප්‍රකාශයද අඩ ඇත්තකි. ඔහු නවකතා හා කෙටිකතාවලට අමතරව අධ්‍යාපන විෂය පොත්ද පළ කළේය. ‘ප්‍රදීප’ යනු ඔහුගේ ප්‍රකාශන ආයතනයයි. එය ව්‍යාපාරයකි.එනිසා තමන්ගේ සාහිත්‍ය පොත් හා අධ්‍යාපන පොත් යන දෙකම පළ කිරීමෙන් ඔහු සෙමින් ආර්ථික පදනම සකස් කර ගත්තේය. ඒ අනුව ජයතිලකගේ පිළිතුරෙන් ජේ.ආර්.ගේ ප්‍රකාශය මුළුමනින්ම නිෂේධනය නොවේ. එය අදටත් වලංගුය. එය සාහිත්‍යකරුවෝම පිළිගනිති. ප්‍රසිද්ධියේ ‍ෙවන එකක් කියති.

මාතෘකා