අවිද්‍යාවට බිලි වෙන ජීවිත

අවිද්‍යාවට බිලි වෙන ජීවිත

අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයේ පැවැති ආධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනකට සහභාගි වූ දෙදෙනකු මියගොස් ඇත. තවත් සෑහෙන පිරිසක් රෝහල්ගත කර තිබේ. මේ සිදුවීමෙන් පැහැදිලි වන්නේ බියෙන් තැතිගත් අසරණ මිනිසුන් විවිධ කෛරාටිකයන් පසුපස ගොස් වඩවඩාත් දුකට පත්වීමේ යථාර්ථය වෙනස් වී නොමැති බවය. 20,000කට ආසන්න පිරිසක් සහභාගි වූ මෙම වැඩසටහනේදී දෙදෙනකු මියගිය ක්ෂණික හේතුව තවම අනාවරණය වී නැත. එහෙත් මේ සිදුවීම ඔස්සේ සමාජගතව ඇති ගැටලු සමුදායක පැතිකඩක් පෙනේ.

දැනගන්නට ඇති පරිදි මියගිය එක් අයෙක් හෘද රෝගියෙකි. අපේ රටේ හෘද රෝගීන් පිළිබඳ ඇත්තේ කනගාටුදායක චිත්‍රයකි. හදවත් බද්ධය සඳහා නිර්දේශිත රෝගීන්ගේ දිගු නාම ලේඛනය අනුව පැහැදිලි වන්නේ වසර කිහිපයකදී තමන්ගේ වාරය එන විට බොහෝ දෙනකු ජීවතුන් අතර නැති බවය. හෘද සැත්කම් සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් සම්පූර්ණ කරදීම පාලකයන්ගේ වගකීමය. එය ප්‍රමාද වන විට කුමන හෝ ගැලවුමක් පතා ගොඩ වෙද්දුන් හා පාරභෞතික බලවේග පසුපස යෑම ඔවුන්ගේ ස්වභාවයයි. මේ සඳහා ඇතැම් විට වෙහෙසකර දුර ගමන් යෑමට සිදුවේ. විශාල මුදලක් වැය කළ යුතු වේ. එහෙත් හබකින් බැරි නම් කෙබකින් රෝගියා සුවකර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන පවුලේ අයද රෝගියා මොන දීපංකරයට හෝ කැඳවාගෙන යති. සමහර විට ගමන් වෙහෙස, නිදි මැරීම හා අපේක්ෂා භංගත්වය නිසාද බරපතළ රෝගී තත්ත්වයක් ඇත්තකු මිය යා හැකිය. සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර පන්තියක් ලබා ගනිමින් සිටින රෝගියකුද ප්‍රතිඵල ප්‍රමාද වීම හා අවස්ථාවාදී කපටින්ගේ ප්‍රචාරවලට හසුවී ප්‍රතිකාර අතහැර වෙනත් පිළියම් සොයන්නට වීමෙන් ප්‍රතිඵල වැරදී මිය යා හැකිය.

භයානකම තත්ත්වය වන්නේ යාඥා මඟින් රෝග සුව කිරීම නම් වූ මහා ප්‍රෝඩාවට හසු වීමේදී මානසික සංකූලතාවලට ලක්වීමෙන් ඇතැමුන් මිය යෑමය.

මනෝවේදය ශාස්ත්‍රානුකුලව හදාරා පිළිගත් ආයතනවලින් අනුමැතිය නොලද ව්‍යාජ පාඨමාලාවලින් මනෝවේදය කට ගාගත් ගොඩ වෙද්දුන්ගේ මෝහන සංදර්ශනද මෙයට සමාන වේ. මෝහනවේදය යනු ප්‍රසිද්ධ පිට්ටනිවල සංදර්ශන පැවැත්වීමේ ප්‍රතිකාරවේදයක් නොව, රෝගියා පෞද්ගලිකව සම්පරීක්ෂාවට ලක් කර අවශ්‍යම විටකදී පමණක් භාවිත කෙරෙන මනෝ වේදයකි. මෝහන ප්‍රතිකාරවේදය පිළිබඳ මුල්ම පර්යේෂණ විධිමත්ව සිදුකළ සිග්මන් ප්‍රොයිඩ් පවා පසු කලෙක එම ප්‍රතිකාරවේදය අනුමත නොකළේ එය අවභාවිතයෙහි යොදවන්නන් අතින් සිදුවන බරපතළ වැරදි නිසාය.

කිතුනු බුධිමතුන්ගේද විවේචනයට ලක්වූ ෆාස්ටර් රාජේන්ද්‍රන් විසින් ප්‍රචලිත කරන ලද “ජේසු ජීවමානයි” සංදර්ශනයද ලෙඩුන් සුව කිරීමේ ව්‍යාජයෙන් පවත්වාගෙන යන ලද ප්‍රෝඩාවකි. පසුකලෙක දොළුකන්දේදී ප්‍රචලිත කරන ලද පිරිත් පැන් බෙලෙන් ලෙඩුන් සුවපත් කිරීමේ ව්‍යාපාරයද දෙල්දූවේ ඥානසුමන නම් භික්ෂුව විසින් පිට්ටනිවල පවත්වන ලද වැඩසටහන බෞද්ධ විකල්පයක් ලෙස සමාජගත කරන ලද ප්‍රෝඩාවන් බව පැහැදිලිය.

පිට්ටනිවලදී ලෙඩුන් සුව කිරීම සඳහා ලෙඩුන්ගේ මනස විකෘති කරන සංඥා නිකුත් කිරීමේදී මරණ සිදුවන අවස්ථාද ඇත. එමෙන්ම රෝග සුවවූ බවට ජනතාවට ප්‍රදර්ශනය කිරීම සඳහා කලින් පුරුදු කළ පිරිසක් යොදා ගන්නා බව ජේසු ජීවමානයි වැඩසටහන් ආශ්‍රයෙන් අනාවරණය කෙරිණ.

හොරොව්පතාන සිදුවීමෙන් පෙනෙන්නේ විශාල ජනකායක් සහභාගී වූ එම වැඩසටහන සඳහා පාසල, පොලිසිය යනාදී රාජ්‍ය ආයතනද සහයෝගය ලබා දී ඇති බවය. චින්තන නිදහස අගය කරන රටක වුවද මෙවැනි විනාශකාරී වැඩවලට රාජ්‍ය ආයතනවල සහයෝගය ලබා දීම දෙවරක් සිතා බැලිය යුතුය. මන්දයත් පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයකින් විභාග සමත් වූ ලියාපදිංචි වෛද්‍යවරයකුට මිස වෙනත් ගොඩ වෙද්දුන්ට ප්‍රතිකාර විධි තහනම් හෙයිනි.

මේ වැඩසටහන මෙහෙයවූ පොත් ප්‍රකාශකයනුත් අත්අඩංගුවට ගෙන ඇත. ධනාත්මක චින්තනය සහ මිනිස් සිතේ ඊනියා හාස්කම් කපටි පොත් වෙළෙන්දන්ටද ධන උල්පතකි. එවැන්නෝ දේශනවලින්ද පොත් හා සඟරා අලෙවියෙන්ද ධනය උපයති. දේශනවලට සවන්දෙන්නෝද එම ලේඛන මිලදීගෙන කියවන්නෝද සදාකල්හිම සෘණාත්මක චින්තනයට යට වෙති. එනම්, රිම් එකෙන් යති.

මාතෘකා