ආචාරධර්ම හා මනුෂ්‍යත්වය

ආචාරධර්ම හා මනුෂ්‍යත්වය

ආචාරධර්ම යනු ශාස්ත්‍රවන්තයන්ගේ වාක්කෝෂයට පමණක් සීමා නොවූ යෙදුමකි. ඕනෑම සමාජයක යහපැවැත්ම සඳහා සම්මුතිගතවූ ආචාරධර්ම පවතී. මේවා අතීතයෙන් වර්තමානයටද වර්තමානයෙන් අනාගතයටද ගෙන යෑම සිදු කරන්නේ සම්ප්‍රදාය නමැති නොනවතින ප්‍රවාහය මගිනි. ඒ අනුව බලන කළ ආචාරධර්ම හා එහි වාහකයා වන සම්ප්‍රදාය යනු මළගිය අතීතයට අයත් දෙයක් නොවේ.

මුද්‍රණ තාක්ෂණයේ නැඟීමත් සමඟ ජනමාධ්‍ය බිහි විය. එය එක් අතකින් තාක්ෂණයේ ජයග්‍රහණයකි. අනෙක් අතින් සංස්කෘතික ජයග්‍රහණයකි. වත්මනෙහි තොරතුරු තාක්ෂණය යනුවෙන් වෙනම ශාඛාවක් හැටියට සාකච්ඡා කෙරෙන්නේද ජනමාධ්‍යයෙහි සංකීර්ණ අවධියේ දිශානතියකි. එතරම් විස්තීර්ණ ප්‍ර‍වාහයක්ද මහජන යහපත සඳහා වගවීම තහවුරු කරනු ලබන්නේ එයට අදාළ වන ආචාර ධර්ම පද්ධතිය විසිනි. ඊට අනුගතව ක්‍රියාකරන ජනමාධ්‍ය, ගාල කඩාගත් හරකෙකුගේ හැසිරීමෙන් වෙනස් වෙයි.

මෑත දී 'රැස' පුවත්පත ගාල කඩාගත් හරකකුගෙන් සිදු වන්නට ගිය විනාශය වැළැක්වීම සඳහා ආචාර ධාර්මික මැදිහත්වීමක් කළේය. සහරාන්ට සම්බන්ධකම් තිබුණේ යැයි සැක කර අත්අඩංගුවට ගත් පුද්ලයන් පස් දෙනකුගේ ගිණුම්වල රුපියල් කෝටි සීයකට වඩා ඇතැයි ජාතික පුවත්පතක් අනාවරණය කළේය. එහෙත් එම පුද්ගලයන්ගේ පවුල් පසුබිම දන්නා වාතාකාරිනියකගේ නිරීක්ෂණය වූයේ ගිණුම් තොරතුරු ව්‍යාජ බවත් එම පවුල්වල සාමාජිකයන් දුක්ඛිත දිවියක් ගතකරන බවත්ය. මුලාශ්‍ර නිවැරදිව යොදාගනිමින් ඈ ලියූ වාර්තාවක් රැස පළ කළේය. "කෝටි සීයේ බැංකු ගිණුම් කතාව බොරු" ලිපියේ ශීර්ෂ පාඨයයි.

ව්‍යාජ වාර්තාව පළ වූ පුවත්පතට වින්දිත පාර්ශ්වය යැවූ නිවැරදි කිරීමද පළ කර නොතිබුණි. එය ජනමාධ්‍ය ආචාරධර්ම අමුඅමුවේම උල්ලංඝනය කිරීමකි. ඔයින් මෙයින් රැස පුවත්පතට සිදු වූයේ වෙනත් පුවත්පතක් ආචාරධර්ම කඩකිරීම නිසා පීඩාවට පත් පාර්ශ්වය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමටය.

සම්මත ආචාරධර්ම අනුව නිවැරදි කිරීම් පළ කිරීමට සෑම පුවත්පතක්ම බැඳී සිටී.

ඇතැම් විට මූලාශ්‍ර නොමැතිව හෝ සෑහීමකට පත් විය හැකි මූලාශ්‍ර නොමැතිවද වැරදි වාර්තා පළ විය හැකිය. පුවත්පත් ආචාරධර්ම නිවැරදිව ආරක්ෂා කරන පුවත්පතකින් එවැනි වැරදි සිදු නොවෙයි. ප්‍රමාද දෝෂයකින් එවැනි වැරැද්දක් සිදුවුවහොත් පිළිතුරු දිමේ අයිතිය යටතේ නිවැරදි කිරීම් පළ වෙයි.

'රැස' පුවත්පතට ආවේණික වූ ආචාරධර්ම පද්ධතියක් පවතී. විවිධත්වය පිළිගැනීම, මිථ්‍යාව සමාජගත නොකිරීම, අපරාධවලට තුඩුදෙන වාර්තාකරණයෙන් ඉවත්වීම යනාදී භාවිතයන් රැසක් මේ ආචාරධර්මවල ඇතුළත්ය. රටවැසියන්ගේ සමාන අයිතීන් වෙනුවෙන් 'රැස' පෙනී සිටින්නේ ඒ අනුවය.

ICCPR පනත ලේඛකයකු දඩයම් කිරීම සඳහා භාවිත කිරීමට ආගමික පාර්ශ්ව දැරූ උත්සාහයේදී 'රැස' ඊට එරෙහි වූයේ භාෂාව හා ආගම අනුව වෙනස් කොට සැලකීමේත් යුද්ධයට අනුබල දීමේත් අගතියෙන් රටවැසියන් ආරක්ෂා කිරීමට ගෙනා පනතක් ලේඛකයන් දඩයම් කිරීම සඳහා භාවිත කිරීමේ වරදට එරෙහි ජනමතයක් ගොඩනැගීමේ අරමුණ ඇතිවය.

අරගලයේදී සාහිත්‍ය කලා, සංස්කෘතික හා විවිධ ක්ෂේත්‍රවල සබුද්ධික පිරිසක් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වූහ. ඔවුහු කිසිදු වරදානයක් අපේක්ෂා නොකළහ. මොවුන් නිරාගමිකයන්, එන්.ජී.ඕ. කාරයන් හා වෙනත් විවිධ නාමවලින් හඳුන්වා එම අරගලය හෙළා දැකීමේ වුවමනාවක් රැසට නොවීය. පුවත්පතේ තීරු රචකයකුගේ අදහසක් පුවත්පතේ පොදු මතය ලෙස පිළිගත යුතු නොවේ.

ලේඛකයාගේ ස්වාධීන මතයට ඉහළින්ම ඉඩදෙන පුවත්පතක් හැටියට එබඳු ලිපි වාරණය කිරීමේ වුවමනාවක්ද පුවත්පතට නැත. ICCPR පනතෙහි ස්වභාවය, එහි වැදගත්කම සහ ශ්‍රී ලංකාවෙහි එය අවභාවිතයට ගැනීමේ උත්සාහය පිළිබඳ රැස පුවත්පත කතුවැකි ඇතුළුව ලිපි ගණනාවක් ලියා ඇත. එය සාධනීය බලපෑමක් කර ඇති බව පාඨකයන්ගේ ප්‍රතිපෝෂණ අදහස්වලින් පෙනේ.

එහෙයින් මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෑන සහ හඬ අවදිකරමින් විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කරන, කැපවීම් කරන සද්ජනයින්ගේ සිත් රිදීමක් වී ඇත්නම් ඒ පිළිබඳව රැස කනගාටුව පළ කරයි. මේ පිළිබඳ සංවාදාත්මක කරුණු රැස පාඨකයන්ට ඉදිරියේදී කියවන්නට ලැබෙනු ඇත.

මාතෘකා