සනීපාරක්ෂක තුවා

සනීපාරක්ෂක තුවා

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උක් කැපීමේ රැකියාවේ නිරත වූ කාන්තාවෝ දහස් ගණනක් පසුගිය වසර තුන ඇතුළත සිය ගර්භාෂය ඉවත් කර ගැනීමේ සැත්කම්වලට ලක්වී ඇති බව පසුගියදාක ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබීය. ඊට හේතුව කුමක්ද?

එම කාන්තාවන් සනීපාරක්ෂක තුවා යනු මොනවාදැයි දන්නේවත් නැත. එබැවින් මාසික ශුද්ධිය අතරේදී ඔවුන්ට කිසිම සනීපාරක්ෂක පිළිවෙතක් නැත. එවන් තත්ත්වයක් තුළ ඒ කාන්තාවන්ට දිනක් හෝ දෙකක් රැකියාවට ඒමට නොහැකි වෙයි. එයින් සිදුවන පාඩුව ඔවුන්ට අති විශාලය.

එබැවින් ඔවුන් තෝරන විකල්පය ගර්භාෂ ඉවත් කිරීමය.

මේ දිනවල සනීපාරක්ෂක තුවා හෙවත් 'පෑඩ්' ගැන කතා බොහෝය. ඊට පාදක වන්නේ සජිත් ප්‍රේමදාස විසින් කරන ලද ප්‍රකාශයක්ය. ඔහු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන බව පවසයි. ඊට අවලාද නඟන්නෝද ඊට ප්‍රසාදය පළ කරන්නෝද බෙහෙවි.

ලංකාවේ ජනගහනයෙන් සියයට 52ක් කාන්තාවන්ය. ඔහු කතා කරන්නේ ඒ සියයට 52ටම බලපාන සාතිශය සංවේදී ප්‍රශ්නයක් පිළිබඳවය. එහෙත් එයින් සිදුව තිබෙන්නේ පෑඩ් පළඳින, නොපළදින සමහරකුගේ උපහාසයට ඔහු ලක්වීමය. සිනාසෙන්නෙත්, කෙළ ගසා ගන්නෙත් තමන්ගේම මුහුණට වග ඔවුන් නොදන්නවා සේය.

කාන්තාවකගේ ජීවිතයේ වසර 30ක් පමණ ආර්තවය සිදුවෙයි නම් ඇය විසින් වසරකට සනීපාරක්ෂක තුවා 240ක් භාවිතා කළ යුතුය. ආසන්න වශයෙන් ජීවිතකාලය පුරා එවන් සනීපාරක්ෂක තුවා 7,200ක් පමණ පාවිච්චි කිරීමට ඇයට සිදුවෙයි.

මාසික ශුද්ධිය සිදුවන කාලය ඇතුළත කාන්තාවන් විසින් විවිධ වර්ගයේ සනීපාරක්ෂක තුවා සහ 'ටැම්පොන්' භාවිත කරනු ලබයි.

නමුත් රුපියල් 500කට ආසන්න ගණනකට විකිණීමට ඇති සනීපාරක්ෂක තුවා සෑම මසකම මිලදී ගැනීමට අපහසු කාන්තාවෝ රෙදි, පුළුන් වැනි ආදේශක භාවිත කරති.

වරක් 'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' පුවත්පත වාර්තා කර තිබුණේ ඉන්දියාවේ සියයට 82ක් පමණ කාන්තාවන් සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන්නේ ඇයිද හෝ කෙසේද යන්න නොදන්නා බවය. ලංකාවේ තත්ත්වය කුමක්ද යන්න දැන ගැනීමට කිසිදු සමීක්ෂණයක් සිදුකර නැත. එහෙත් ලංකාවේ වැඩිවියට පත් පාසල් දැරියන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මාසික ශුද්ධිය සිදුවන කාලය ඇතුළත පාසල් යන්නේ නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරයි.

ලංකාවේ දරිද්‍රතාවෙන් පෙළෙන්නන්ගෙන් සියයට 82ක අති බහුතරයක් ග්‍රාමීය දිළිඳු පිරිසක් වන අතර අති බහුතර ග්‍රාමීය කාන්තා ප්‍රජාව ආර්ථික දරිද්‍රතාව නිසා පමණක් තවමත් සිය ඔසප් දිනවලදී කිසිදු සනීපාරක්ෂාවකින් තොර රෙදි කැබලි පාවිච්චි කරමින් සිටියි.

ගැහැනියක් මවක් වීමට විඳින වේදනාව දරනවා තියා හිතන්නටවත් පිරිමියකුට නොහැකිය. ආර්ථව වේදනාව දෙවැනි වන්නේ ඊට පමණක් යැයි ඇතැම්හු කියති. මා‍‍සෙකට වතාවක් ජීවිතයේ අඩකටත් වැඩි කාලයක් එවන් වේදනාවක් දරන්නට වීම මොනතරම් ඛේදවාචකයක්ද?

ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ටත් ඔසප් නිවාඩුවක් ලබාදිය යුතුයැ'යි කැබිනට් මණ්ඩලයට නිර්දේශ කිරීමට සූදානම් බව වරක් ආණ්ඩුව පැවසීය.

කෙසේ වුව එය ප්‍රායෝගිකව ඉටු නොවුණි.

අනන්ත අප්‍රමාණ ප්‍රශ්න තිබියදී 'පෑඩ්' එකක එල්ලීම විගඩමක් යැයි පවසමින් ඇතැම් පිරිස් මේ මොහොතේ විකාරරූපී කතා කියමින් සිටිති. නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නටත් කන්නන්ගර මහතාට වරුවක් විවාද කරන්නට වූ රටක එවන් කතා අරුමයක් නොවේ. බ්‍රිතාන්‍යයේද සෑම කාන්තාවන් දස දෙනකුගෙන් එක් අයකුට සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමට අපහසු බව පසුගිය වසරේ සිදු කළ සමීක්ෂණයකින් හෙළි විය.

එරට තත්ත්වය එය නම් මෙරට ගැන කුමන කතාද?

ඇතැම් පිරිස් මේ වේදනාව හෝ පීඩාව නොදනිති. එසේනම් කළ යුත්තේ අම්මාගෙන්, බිරියගෙන් හෝ සොයුරියගෙන් ඒ ගැන විමසීමය.

නමුත් මීට සිනාසෙන්නේ කාන්තාවන්ම නම් අසන්නට තිබෙන්නේ 'කාට කියමුද ඒ අමාරුව?' කියාය.

මාතෘකා