ජනාධිපතිවරණය සහ මාධ්‍ය භාවිතය

ජනාධිපතිවරණය සහ මාධ්‍ය භාවිතය

මෙවර ජනාධිපතිවරණයේදී මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අනතුරු ඇඟවීමක් කර ඇත. මෙය සමාජ මාධ්‍ය ඇතුළු නූතන මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය යන සමස්තයටම අදාළ වේ. මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මාධ්‍ය පක්ෂග්‍රාහී වීම සම්බන්ධයෙන් පියවර ගැනීමේ විධිමත් යාන්ත්‍රණයක් එකල නොපැවතිණ. මෙකල ඇත. මෙය කැපී පෙනුණේ 2010 ජනාධිපතිවරණය පැවති දින රාජ්‍ය මාධ්‍ය රජයේ හොරණෑවක් බවට පත්වෙමින් පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මහතා පිළිබඳ වැරදි තොරතුරු සමුදායක් සමාජගත කළ මොහොතේය. මෙය අවසන් පැය කිහිපයෙහි ඡන්දදායකයන් ඡන්ද පොළට යෑම අවහිර වීම කෙරෙහිද බලපෑවේය. මැතිවරණ කොමසාරිස්වරයා දැඩි "ආතතියකට" මුහුණ දුන්නේය. ඔහු මේ තත්ත්වය පාලනය කිරීමට දැරූ උත්සාහයේ ප්‍රතිඵලය වූයේ රජයේ ප්‍රබලයන් එදින මාධ්‍ය අවභාවිතයෙහි යොදවමින් කොමසාරිස්වරයාටද පහරදීමය. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක අවශ්‍යතාව එහිදී කැපී පෙනිණ.

2015 ජනාධිපතිවරණයේදීද සුපුරුදු ලෙස රාජ්‍ය බලහත්කාරය සහ මාධ්‍ය ගැතිකම ප්‍රදර්ශනය විය. ඒ වන විට මැතිවරණ කොමසාරිස් ධුරය හෙබවූයේ මහින්ද දේශප්‍රිය මහතාය. ඔහු තම තනතුරේ ගෞරවයද ආරක්ෂා කරමින් මැතිවරණ නීතිය හරියටම ක්‍රියාත්මක කරමින් නිර්භයව තීන්දු ගත්තේය. අවශ්‍ය නිලධාරීන් සුදුසු තැන්වලට ස්ථානගත කිරීමේ වාසිය නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් යොදා ගත්තේය. එහිදී හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායකගේ සහ මහින්ද දේශප්‍රියගේ භූමිකාවෙහි වෙනස කැපී පෙනෙන්නේ මේ දෙදෙනාම සමාන මැතිවරණ යාන්ත්‍රණයකට මුහුණ දුන් අය වීම හේතුවෙනි.

2015 ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් පසුව සිදු වූ වැදගත්ම ප්‍රතිසංස්කරණයක ප්‍රතිඵලයක් හැටියට මැතිවරණ කොමිසම හැඳින්විය හැකිය. මැතිවරණයකදී සිදු වන අකටයුතු වැළැක්වීමේ සැලකිය යුතු බලයක් කොමිසමට ඇත. කොමිසමට ඇති නීතිමය බලතල පිළිබඳ සෑහීමකට පත් විය නොහැක යන චෝදනාව ඇතත් එහි ක්‍රියාකාරීත්වය සක්‍රීය වීම අනුව නීතිමය බාධා ඇති විය නොහැක.

මැතිවරණයක් දූෂණයෙන් හා අගතියෙන් තොරව පැවැත්වීම සඳහා දේශපාලන පක්ෂ, අපේක්ෂකයන්, සිවිල් සමාජය හා ජනමාධ්‍ය වෙත පැවරෙන වගකීම විශාලය. එය එක් පාර්ශ්වයකට පමණක් පැවරෙන වගකීමක් නොවේ. විශේෂයෙන්ම ඇතැම් ෙපෟද්ගලික මාධ්‍යවල ප්‍රාග්ධන හිමිකාරිත්වය අනුව තමන්ට අභිමත අපේක්ෂකයන් ඔසවා තැබීමත් විරුද්ධ අපේක්ෂකයන්ගේ චරිත ඝාතනයත් සිදු වේ. බලයේ සිටි දේශපාලකයන්ගේ මැදිහත්වීමෙන් විකාශන බලපත්‍ර ලැබීම, දේශපාලන අනුග්‍රහයෙන් කළුසල්ලි යොදා ජනමාධ්‍ය ආයතන ආරම්භ කර තිබීම යනාදී හේතු ගණනාවක් මාධ්‍ය පක්ෂග්‍රාහී වීම කෙරෙහි බලපා ඇත. මේ තත්ත්වය පාලනය කිරීම අතිශය සංකීර්ණ කටයුත්තකි. අශුද්ධ වූ සන්ධාන ව්‍යුහයක ශුද්ධ වූ ආයතන පවත්වාගෙන යෑමද දුෂ්කර කටයුත්තකි. කෙසේ වුවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අනතුරු අඟවා ඇති පරිදි සාපේක්ෂ වශයෙන් සෑහීමකට පත්විය හැකි මැතිවරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනමාධ්‍යයේ හැසිරීම කෙරෙහි වගකිව යුතු සියලු පාර්ශ්ව වගවිය යුතුය.

ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි යහපත් නැඹුරුවක් ලෙස සැලකිය හැකි මහජන වේදිකාවට සහභාගි වූ ඇතැම් අපේක්ෂකයන් වැඩසටහන අවසානයේදී ආචාර සමාචාර පැවැත්වීම බොහෝ අයගේ සිත්ගත් දසුනක් විය. එහෙත් ඊට පසුදින ඇතැම් කළු මාධ්‍ය මෙකී දර්ශන උපයෝගී කරගනිමින් එය අවඥාවට ලක් කළහ. වැඩසටහනට සහභාගි නොවූ අපේක්ෂකයාට සහාය දක්වන ඇතැම් ජනමාධ්‍ය ආයතන මෙය තමන් අකමැති අපේක්ෂකයන්ට පහරදීම සඳහාද යොදාගත්තේ නිර්ලජ්ජිත අයුරිනි. හරි නම් විය යුත්තේ ජනමාධ්‍ය මෙවැනි ප්‍රජාතන්ත්‍රීය අවකාශයන් වැඩිදියුණු කිරීම සඳහා පෙනී සිටීමය. එය ඔවුන්ගේද වගකීමක් වන හෙයිනි. එහෙත් කළු මාධ්‍යයට එවැනි වගකීමක් නැත. එම මාධ්‍ය ආයතනවල අරමුණ වී ඇත්තේ මොන විදියෙන් හෝ තම දේශපාලන හාම්පුතුන් ගොඩ දමා ගැනීමය. මෙය එක් අතකින් 2015න් පසුව ලැබී ඇති මාධ්‍ය නිදහස අවභාවිතයෙහි යෙදවීමකි. එය වල්බූරු නිදහසක් බවට පත් කර ගැනීමකි. අර්ධ මිලිටරි රාජ්‍යයක් බිහි වීමේ අනතුරෙන් මිදුණු සමාජයක් නැවත එම බියකරු තත්ත්වයට පත් විය යුතු නැත. එහෙයින් එම අනතුරද වටහා ගනිමින් ජනතාව දේශපාලන වශයෙන් සවිඥානික කිරීමේ වගකීම ඉටු කරනු මිස මැතිවරණ නීතිද උල්ලංඝනය කරමින් දේශපාලන දුරාචාරයන්ට අනුබල දීම ජනමාධ්‍යයේ වගකීම නොවේ.

මාතෘකා