තාවකාලික භාරකරුවෝ

තාවකාලික භාරකරුවෝ

රූපවාහිනී වැඩසටහනක ජනාධිපතිවරයකුගේ චරිතයට පණ පෙවූ විකට නළුවා යුක්‍රේනයේ ජනාධිපති බවට පත් වූයේ පසුගියදාය. ඔහු සිය වැඩ භාර ගැනීමේ චාම් උත්සවයේදී අපූරු කතාවක් කළේය. “කරුණාකර කාර්යාලවල මගේ ඡායාරූප එල්ලන්න එපා. ඒ වෙනුවට ඔබේ දරුවන්ගේ ඡායාරූප එල්ලන්න. ඊට පසු තීරණ ගැනීමට පෙර මොහොතක් ඒවා දෙස බලන්න.”

යුක්රේන හිටපු ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ සහ හිටපු අගමැතිනි යුලියා ටිමොෂෙන්කෝ සමඟ තරග වදිමින් සෙලෙන්ස්කි ජයග්‍රහණය කළේය. සෙලෙන්ස්කි සිය ජයග්‍රහණය තහවුරුවීමෙන් පසු ප්‍රකාශ කළේ තමන් ජනතාවට ස්තුතිවන්ත වන බවය. යුක්රේන ජනතාව ජනාධිපතිවරණය විහිළුවකට ගෙන නොමැති බවත් කෙසේ වෙතත් මෙය ආරම්භය පමණක් වන බවත් ඔහු කීවේය.

එතෙක් මෙතෙක් ඉතිහාසයේ බොහෝ රාජ්‍ය නායකයන් අනේකවිධ කතා පවත්වා ඇත. ඔවුන් බොහෝ විට උත්සාහ කරන්නේ ස්වකීය පදවිප්‍රාප්තියේදී හොඳම කතාව කරන්නටය.

කෙසේ වෙතත් යුක්‍රේන නව ජනාධිපතිවරයා කෙටි, ඓතිහාසික කතාවක් කළේය.

‘තාවකාලික භාරකරුවන්’ කියා පැමිණ සදාකාලිකව සිටින්නට වෑයම් කරන්නන් සිටින කලෙක ඔහු වෙනස් පණිවිඩයක් ලොවට දෙයි.

දේශපාලනඥයින් පිළිබඳව සමස්තයක් ලෙස ලොව පුරාම තිබෙන්නේ අඳුරු චිත්‍රයකි. ‘බලය’ උදෙසා ඕනෑම පන්නයේ නොපනත්කමක් කිරීමටත් කිසිදු විලි බියකින් තොරව ඒවා සාධාරණීකරණය කිරීමටත් ඔවුන් සූදානම් බව ලොව පුරා ප්‍රකට පිළිගැනීමකි. ව්‍යාජය කරපින්නාගත් සාහසිකත්වය න්‍යාය කොට ගත් පිරිසක් ලෙස ඔවුනට මුද්‍රා වැදී තිබේ. එකී අඳුරු මුද්‍රාව නොවැදුණු පිරිස සිටින්නේ අතලොස්සකි.

සමාන්‍යයෙන් රටක දිශානතිය තීරණය වන්නේ එරට දේශපාලනයේ ස්වභාවය අනුවය. උදාහරණයක් ලෙස නිදහසෙන් පසු රාජ්‍ය පාලනය ශ්‍රී ලාංකිකයන් අතට පත් වී දශක 7ක් ගත වී ඇතත් රටේ බොහෝ ක්ෂේත්‍ර තුළ ප්‍රගතියක් දක්නට නොමැත. සුද්දා ඉතිරි කොට ගිය ආර්ථික උත්පාදන කිහිපයම යැපුම් මාර්ගය බවට පත් කොටගෙන ඔවුනටම නියවමින් දශක හතක්ම ගෙවා දමා ඇත.

වාර්ගික යුද්ධයෙන් තවත් 60,000කට වැඩි ජීවිත රටට අහිමි වූ අතර 1971 සහ 1987 / 88 විජේවීරගේ තරුණ කැරලිවලින් ජීවිත 70,000ක් පමණ රටට අහිමි විය.

රටට හිමි වූයේ මොනවාද?

වරින් වර තට්ටු මාරු දේශපාලනය මත ආණ්ඩු හදා මට්ටු වනවා පමණක් නොව, පුරවැසියාගේ ‘තරම’ දන්නා දේශපාලනඥයෝද ඕසෙට පිස්සු නටති.

අ.පො.ස. (සා.පෙළ) සමත් නැති 94ක්ද අ.පො.ස. (උ.පෙළ) සමත් නැති 142ක්ද පාර්ලිමේන්තුවේ 225 තුළ සිටින තත්ත්වයක් තුළ අපි ලොව විශ්මයට පත් කරන රටක් ගැන පුරසාරම් දොඩවමු.

ඕනෑම ව්‍යාජයක් අයිසින් ගල්වා අලෙවි කිරීමේ ශක්‍යතාව බොහෝ දේශපාලනඥයින් සහ අවස්ථාවාදීන් සතුව පවතී. ස්වකීය අන්තේවාසිකයින් කොන්දේසි විරහිතව තමන්ව විශ්වාස කරන බව මජර දේශපාලකයෝ දනිති.

උන්මත්තක ලෙස ජාතිවාදය ලේවලට දිය කර ගත් විට එයින් තොර පැවැත්මක් ඔවුන්ට නැත. එවන් ‘‘සොම්බීන්’’ ස්වකීය ශ්‍රාස්තෲවරයාගේ දහම හෝ ආගම තමන්ට උචිත ලෙස කියවා ගනී. ගොරකා දඩමස් කිරීම උන්ට අසුරු ගසන තරමේ වැඩකි.

මේ අවස්ථාව වන විට අවදිව සක්‍රීයව සිටිය යුතු බොහෝ දෙනා නිද්‍රාවෙහි ගිලී අක්‍රීයව සිටිති.

වගකීම් සහගත සිවිල් පුරවැසියන් අදහාගත නොහැකි තුෂ්නීම්භූත නිහඬතාවකය. එයින් පණ ලබන දුෂ්ට බලවේග සක්‍රීයය. අවදියෙන්ය. ඔවුහු මනුෂ්‍යත්වය, සහෝදරත්වය, දයාව, සෙනෙහස උඩට පෙට්‍රල් වත්කොට ගිනි තබමින් සිටිති.

මේ සමාජ ව්‍යාකූලත්වය අනාගත පරපුරට දායාද කරන ඛේදවාචකය ගැන බොහෝ දෙනකුට නිශ්චිත කියවීමක් නැත.

එබැවින් යුක්‍රේනයේ ජනාධිපතිගේ ප්‍රකාශය නැවත සිහිපත් කිරීම වටී.

“කරුණාකර කාර්යාලවල මගේ ඡායාරූප එල්ලන්න එපා. ඒ වෙනුවට ඔබේ දරුවන්ගේ ඡායාරූප එල්ලන්න. ඊට පසු තීරණ ගැනීමට පෙර මොහොතක් ඒවා දෙස බලන්න.”

මාතෘකා