නීතියේ ආරක්ෂාව රට වැසියන්ට ලැබිය යුතුයි

නීතියේ ආරක්ෂාව රට වැසියන්ට ලැබිය යුතුයි

පාස්කු ඉරිදා ප්‍රහාරයේ අළු මතින් වර්ගවාදයේ විෂ දුම් නැඟෙමින් පවතී. මෙය වහාම කළමනාකරණය නොකළ හොත් එහි ප්‍රතිඵලය දශක ගණනාවක් දිග්ගැසෙන බියකරු සමාජ දේශපාලන අර්බුදයක් නිර්මාණය කරනු නිසැකය. එසේ හෙයින් අගමැතිවරයා කළ මැදිහත්වීම අගය කළ යුතුය. ප්‍රචණ්ඩකාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් දීම සහජීවනය අගයන බහුතර ජනතාවගේ ප්‍රශංසාවට හේතුවෙයි.

"වල් ඌරන් කැකුණ තළන විට හබන් කුකුළන්ට රජ මඟුල්" යැයි ජන කියමනක් ඇත. ආගමික අන්තවාදීහු වල් ඌරාගේ කටයුත්ත කළහ. හබන් කුකුළන් කරළියට බැස ඇති බව දැන් පෙනේ.

කුලියාපිටිය, හෙට්ටිපොළ සහ ගම්පහ යනාදී ප්‍රදේශවල මුස්ලිම් ජනයාගේ දේපළ විනාශ කිරීමේ රැල්ලක් ඇති විය. මේ නිසා එම පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීමට රජය පියවර ගත්තේය.

මේ ඇතැම් ස්ථානවලට පහරදීම සඳහා පිට පළාත්වලින් පිරිස් පැමිණ ඇති බවටද තොරතුරු ලැබෙමින් පවතී. මෙය සංවිධානාත්මක වැඩකි. රට තුළ දේශපාලන අරාජිකත්වයක් නිර්මාණය කිරීම හබන් කුකුළන්ගේ අභිලාෂයයි. ජාතිවාදී ගිනි පිඹීමේ හොඳ පළපුරුද්දක් මොවුනට ඇත. දේශපාලන හිපාටුවන් පොලිසිවලට කඩාපැන සැකකරුවන් ප්‍රසිද්ධියේ නිදහස් කරගෙන යෑම, තම ආධාරකරුවන්ට මෝඩ චූන් දීම හා ඊනියා දේශප්‍රේමීන් අතර වීරයකු වීමට බලපෑ හැකි නමුත් නීතියේ අධිපත්‍යයට එයින් කෙරෙන සරදම සුළුපටු නොවේ.

තමන් වෙර වීරියෙන් උපයාගත් දේපළ ආරක්ෂා කර ගැනීමේ අයිතිය හැම රටවැසියකුටම ඇත. සිංහල, දෙමළ, මුස්ලිම් යන හැම ජන වර්ගයකටම අයත් ජනතාවට ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත්වීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ම තහවුරු කර ඇති රටක ජාතිය හා ආගම අනුව සලකා දේපළ විනාශ කිරීමේ හෝ කොල්ලකෑමේ අයිතියක් කිසිවකු හට නොමැත.

ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාරය නිසා අහිමිවූ ජීවිත ගණන විශාලය. තුවාල ලැබූවන්ගේ ජීවන තතු ඛේදජනකය. කිතුනු බැතිමතුන් ඉලක්ක කරමින් එල්ලවූ ප්‍රහාරයෙන් පසුව කිතුනු ජනයාගේ හැසිරීම ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා ප්‍රමුඛව සියලු ආගමික නායකයෝ සමාජය සන්සුන් කිරීම සඳහාත් ගැටුම් ඇති වීම වැළැක්වීම සඳහාත් මහඟු මෙහෙවරක් ඉටු කළහ.

එහෙත් මහසෝන් බළකාය වැනි දාමරික කල්ලි හිස එසවීමට උත්සාහ දරනුද පෙනේ.

දේශපාලන අවස්ථාවාදීන් සහ ජාත්‍යාලකාරයන් නිහඬ කරවීම ලේසිපාසු කාර්යයක් නොවේ. ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී ජාත්‍යාලයේ මුවාවෙන් දෙමළ ජනයාගේ දේපළ කොල්ලකෑම හෝ විනාශ කිරීම සිදුවිය. ජීවිත හානිද සිදුවිය. දැන් ඒ පැරණි තැටිය නැවත වාදනය කෙරෙන්නේ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙනය. ව්‍යාපාර ලෝකයෙහි තමන්ට නැති බලයක් ඔවුන්ට තිබීම සම්බන්ධයෙන් වෛර බැඳගෙන සිටින වෙළෙඳ කුලවල සහායද මීට ලැබේ. වඩාත්ම කනගාටුදායක කරුණ වන්නේ රටටම සෙවණ සැදීමේ අරමුණෙන් ගස් වවන දොස්තරලා, මනුස්සකම ගැන ගීත ලියන ගයන සංගීත කුලයේ ඔස්තාද්ලා ඇතුළු විවිධ පාර්ශ්වද මුස්ලිම් ජනයාගේ දේපළ සංහාරය අනුමත කිරීමය.

ජාති ආගම් භේදයකින් තොරව දීර්ඝකාලීන දේශපාලන අරමුණු ඇතිව සිංහල සහ මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමට එකවර අනුග්‍රහය දුන් දේශපාලන පාර්ශ්වද වැරැද්ද අනුන් මත පටවමින් සිටී.

මෙහිදී මහජනතාවගේ වගකීම වන්නේ අපරාධකරුවන් මර්දනය කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අවස්ථාව දී තමන් නීතිය අතට ගැනීමෙන් වැළකීමය. මුස්ලිම් අන්තවාදය නිසා පීඩා විඳින බහුතර මුස්ලිම් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම ලංකාවේ බහුතර ජනතාව වන සිංහල ජනතාවගේ වගකීමය. සිංහල අන්තවාදීන් මැඩපැවැත්වීමට ප්‍රමාද වීමේ ප්‍රතිඵල ඕනෑවටත් වඩා රටට ලැබී තිබේ. නැවත වරක් ලෝහිත ගංගාවලින් ලක් දෙරණ තෙමාලිය යුතු නැත.

මාතෘකා