විශ්වාසයේ පාඩම

විශ්වාසයේ පාඩම

ඉකුත් දිනවල වැඩියෙන්ම අසන්නට දකින්නට ලියන්නට සහ කියවන්නට ලැබුණේ ත්‍රස්තවාදී, අන්තවාදී, අයි එස් වැනි වචනය. කෙතරම් කැත සහ අප්‍රසන්න වචන වුවද ඒවා නිතර ඇසෙන, පෙනෙන, ලියන, කියවන දේ බවට පත් විය.

ඒ අතර අවිශ්වාසය සහ භීතියද විය.

පාස්කු ඉරිදාවේ අභාග්‍යසම්පන්න බියගුලු ප්‍රහාරය සමාජයට ඉතිරි කළේ එවන් අන්ධකාර දෑය.

එයින් පසුව දින කිහිපයක් ඉක්ම ගියද තවමත් සමාජය සුවපත්ව හෝ ප්‍රකෘති තත්ත්වයට පත්ව නැත.

තමාගේ සමීපතමයා පවා අවිශ්වාස කරන තත්ත්වයට සමාජය පත්ව ඇත. ආසන්නම පුද්ගලයා පවා සැකකටයුතු අයකු බවට පත්ව ඇත. ඇඳුම, පැලඳුම පවා අනෙකාගේ සිතට අවිශ්වාසයක්, භීතියක් රැගෙන එනවානම් එය අවාසනාවකි. නොවළහා මේ විකෘතිය ප්‍රකෘති කළ යුතුය. විශ්වාසය දෙදරා ගිය සමාජයකින් ඉදිරිගාමී රටක් බලාපොරොත්තු විය නොහැකිය.

සමාජයට විෂ එන්නත් වන්නේ සමාජයෙන්මය. එකී විෂ දුරු කළ හැක්කේද සමාජයටමය. කාලාන්තරයක් තිස්සේ පැවති යුද්ධය නිමා වුවද දෙදරා, ඉරිතලා ගිය විශ්වාසයන් නැවත තහවුරු කිරීම කල් දැමීම බලාපොරොත්තු විරහිත සමාජයකට පාර කපන බව නොරහසකි.

ස්වකීය අවම අවශ්‍යතා ටික හෝ සපුරාදෙන තුරු ඔවුහු තවමත් බලා සිටිති. යුද්ධයකින් දිනන හෝ දිනාගත හැකි කිසිවක් නැත. එහෙත් යුද්ධයකින් ලද ජයග්‍රහණය උත්සවාකාරයකින් සමරා සැනකෙළි තබා ඵලක් නැත. කළ යුත්තේ පරාජිතයන් ජයග්‍රාහකයන් බවට පත් කිරීමය.

මේ මොහොතද එවන් වෙලාවකි. කිසිවකු අපේක්ෂා නොකළ ප්‍රහාරයකින් රටම ඉරිතලා, දෙදරුම් කා තිබේ. දැන් භූමිකම්පාව හමාරය. පසු කම්පන හමාර නැතිවා වන්නට පිළිවන. එබැවින් සූදානම් ශරීරය කෝකටත් හොඳය. එහෙත් ඊට මුවා වී මිථ්‍යාව සහ අවිශ්වාසය සමාජගත කිරීම තුළින් සිදුවන්නේ දුෂ්ටයාට සහ අවස්ථාවාදියාට අන්තවාදියකු හෝ ත්‍රස්තවාදියකු වීමේ පසුබිම සැකසීමය.

මේ සමාජය කාලයක් තිස්සේම තුවාල වී ඒ තුවාල ඔඩු දුවා ඕජස් ගලන තත්ත්වයට පත්වූ එකකි. කාලයක් තිස්සේම ඝාතන සහ සැහැසිකම්වලට මේ කොදෙව්ව නම් දරා තිබිණි.

එහෙත් ඒ අතර වන ශ්‍රේෂ්ඨ මිනිසුන් සහ අපූර්ව සුන්දරත්වය නිසා එකී අන්ධකාර සිතුවම වෙනුවට අසිරිමත් චිත්‍රයක් තවමත් මේ රට ගැන ඉතිරිව තිබේ.

සමාජ පිළිලයන් උපන්ගෙයි බිහිවන්නේ නැත. ඔවුහු පිළිලයන් බවට පත්වන්නේ සමාජයේදීමය. වරද ඇත්තේ සමාජය තුළ මිස උපතෙහි නොවේ. ත්‍රස්තවාදය වේවා, අන්තවාදය වේවා සමාජගත ව්‍යාධියකි. සුව කළ යුත්තේ සමාජයය.

කාලයකට පෙරාතුව දිවිනසා ගැනීම්වල මුල් අසුන් හිමිවූයේ ශ්‍රී ලංකාවටය. තමාගේ ජීවිතයට එරෙහි ප්‍රචණ්ඩත්වය තවාන් දමා වගා කරන්නාට අනෙකාගේ ජීවිතය සුනුවිසුනු කිරීම එතරම් දෙයක් නොවේ.

උත්තරීතර පාර්ලිමේන්තුවේ සාමාජිකයෝ පුටු ඔසවා කථානායකට පහර දෙති; අමු තිත්ත කුණුහරුප ගැලරිය සිසාරා යන්නට සලස්වති. මහජන නියෝජිතයන්ට මහජන නියෝජිතයෝම මිරිස්කුඩු ප්‍රහර එල්ල කරති. සමහරු පිහි රැගෙන පාර්ලිමේන්තු එති. උත්තරීතර සභාවේ එහෙම සිදුවෙද්දී නගර සභාවල මහජන නියෝජිතයෝ සභා වාරය මැද 'නිල් චිත්‍රපට' බලති.

බස් රියකට ගොඩවෙන කාන්තාවන්ට අතවර වීමත්, දරුවන් පවා අතවරවලට ලක්වීමත් සුලබ තත්ත්වයකි.

පාඩම් ඉගෙන ගන්නවා යනු හෝඩි පොත කියවීම හෝ විෂය නිර්දේශයේ පොතක් කියවීම නොවේ. අත්දැකීම් සහ සමාජ ඇවතුම් පැවතුම් තුළින්ද පාඩම් උගත හැකිය. අවාසනාවට එහෙම පුරුද්දක් අපට නැත. සියල්ල දින 14ක උපරිමයකට යටත්ව අමතකව යයි.

මේ අවස්ථාවේ වඩාත්ම අවැසි වන්නේ 'විශ්වාසයයි'. එය එතෙක් මෙතෙක් අන් කවරදාටත් වඩා දැඩිව අද අවැසිය.

මාතෘකා