පැලැස්තර විතරද?

පැලැස්තර විතරද?

වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් පුවත්පත් කතුවැකි දහස් ගණනක් මේ රටේ ලියැවී ඇති බවට සැක නැත. එහෙත් අදටත් දිනපතා රාජ්‍ය සේවයට එරෙහිව පුරවැසියන්ගේ මැසිවිලිවල නම් අඩුවක් නැත. මේ වනවිට මෙරට රාජ්‍ය සේවකයන් ගණන ලක්ෂ 14කට අධිකය. පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන පිරිස මීට වඩා කිහිප ගුණයකින් වැඩිය. නමුත් කුමන රජයක් යටතේ වුවද වාර්ෂිකව අයවැයෙන් වැඩිම කුට්ටිය තමන් සතු කරගැනීමට රාජ්‍ය සේවයට ඇත්තේ දැඩි කේවල් කිරීමේ බලයකි. විටෙන් විට රාජ්‍ය සේවයට එරෙහිව නැඟෙන චෝදනා බොහෝ විට කෙළවර වන්නේද තනි පුද්ගලයෙකුට හුදු විනය ක්‍රියාමාර්ගයක් ගැනීමෙනි.

පසුගිය පෙබරවාරි 27 වැනිදා කොළඹ මහ තැපැල් කන්තෝරුවේදී ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුව තිබූ ලිපියක් බාර නොගැනීමට අරුම පුදුම හේතුවක් දැක් වූ රාජ්‍ය සේවකයෙකු ගැන කතාවක් මේ සතිය පුරා සමාජජාල මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට පාත්‍ර විය. මහ දවල් විදුලි බුබුළු දැල්වීමකින් තොරව තමන්ට රාජකාරි කළ නොහැකි බවට ඔහු හේතු දක්වා තිබූ අතර එම හැසිරීමට හේතුව ලෙස ආයතනයෙන් දන්වා තිබුණේ අතපසුවීමක් නිසා ඉටිපන්දම් අවසන්ව ඇති බවකි. වර්තමානයේ සමාජ ජාල මාධ්‍යවල ප්‍රබලත්වය හේතුවෙන් මෙම සිදුවීමට දැඩි අවධානයක් ලැබී ඇති අතර ඊයේ දිනයේ තැපැල්පතිවරයාගේ උපදෙස් පරිදි එම දෙපාර්තමේන්තුවේ පිරිසක් මෙම සිදුවීම ගැන විමර්ශනයක් ආරම්භ කර ඇති බවටද වාර්තා විය.

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ්ගේ ඩුබායිහි පැවැති සාදයකට සහභාගි වූවා යැයි සැලකෙන බන්ධනාගාර නිලධාරියෙකු ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කළ බවත් ගුවන් තොටුපළේදී ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බවටත් පුවතක් පෙරේදා වාර්තා විය. නමගිය අපරාධකරුවකු ලෙස සැලකෙන රණාලේ සමයං නමැත්තා ඝාතනය කිරීම සඳහා සහාය දුන් බවට මෙම බන්ධනාගාර නිලධාරියාට චෝදනා එල්ල වී ඇත. අපරාධකරුවන් පුනරුත්ථාපනය තම ප්‍රමුඛතම වගකීම බවට හොඳින් දන්නා බන්ධනාගාර නිලධාරීන් අපරාධකරුවන් රැකීමට මෙන්ම අපරාධවලට අනුබල දීමට කටයුතු කළ අවස්ථා මෑත ඉතිහාසයේ විරල නොවේ.

විදුලි කප්පාදුව අද වන විට මේ රටේ ජනතාව එදිනෙදා මුහුණදෙන ප්‍රධානතම ගැටලුව වේ. විදුලි කප්පාදුවට හේතු වූ ප්‍රධානතම කාරණය වූයේ රටේ විදුලි සැපයුමෙන් සැලකිය යුතු බරක් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය වෙත පටවා තිබීමයි. ජලවිදුලි බලාගාර උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වීම සඳහා අවද්‍ය ජලය ප්‍රමාණවත් නොවීම නිසා නොරොච්චෝලේට වැඩි බරක් දැරීමට සිදුව ඇත. මෙයට කදිම විසඳුමක් ඉදිරිපත් වී ඇත. ඒ නම් ජලය ඉල්ලා පැන් පූජාවක් සංවිධානය කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු සිදු කිරීමයි. මෙය වාර්ෂිකව සිදු කරන බවත් කියැවේ. සංස්කෘතික උත්සව ගැන ගැටලුවක් නැතත් රටේ සමස්ත ජනතාවටම පීඩාකාරී ප්‍රශ්නයකට රාජ්‍ය සේවය ලබාදීමට යන විසඳුම ගැන නම් ප්‍රශ්නයක් ඇත.

රාජ්‍ය සේවකයන් ප්‍රතිශතය සමස්ත සේවා නියුක්තියේ සියයට පනහක් දක්වා වැඩි කළ යුතු බවටද යෝජනාවක් මේ අතර කතාබහට යොමුව ඇත. ජනතා සුබසාධනයට ප්‍රමුඛත්වය ලබාදෙන රජයක් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම ගැන විවාදයක් නැත. නමුත් ප්‍රමාණාත්මකව රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේදී හුදු දේශපාලන න්‍යායපත්‍ර සහ මැතිවරණ ඉලක්ක කර ගත් පත්වීම් පසෙක තබන්නේ කෙදිනකදැයි වර්තමාන තරුණ පරම්පරාව දෑස් දල්වාගෙන සිටියි. රාජ්‍ය සේවය ප්‍රමාණාත්මක වර්ධනය ගැන කෙරෙන යෝජනා ගුණාත්මක යෝජනා දක්වා ධනාත්මක වර්ධනයක් ලබා ගන්නේ කවරදාදැයි බුද්ධිමත් පුරවැසියෝ බලා සිටිති.

මාතෘකා