ජනමාධ්‍ය ආචාරධර්ම නොතකා කටයුතු කිරීම

ජනමාධ්‍ය ආචාරධර්ම නොතකා කටයුතු කිරීම

ඕනෑම ශිෂ්ට සමාජයක ආචාරධර්ම පද්ධතියක් පවතී. සමාජයක් සුන්බුන් නොවී පවතින්නේ සමාජය විසින්ම පනවාගනු ලැබූ ආචාරධර්ම හා සම්මුතීන් හේතුවෙනි.

ජනමාධ්‍ය යනු සන්නිවේදන ක්‍රියාවලිය යහපත් ආකාරයෙන් සිදු කිරීම සඳහා තාක්ෂණික දියුණුවේ අනුබලයෙන් මිනිසා විසින් නිර්මාණය කරගනු ලැබූවකි.

ජනමාධ්‍ය භාවිතය වඩාත් නිවැරදි, වගකීම් සහගත සහ අවංක එකක් බවට පත්කර ගැනීම සඳහා ජනමාධ්‍ය සඳහාද ආචාරධර්ම නිර්මාණය කරගෙන තිබේ. යහපත් නිරෝගී ජනමාධ්‍යයක පැවැත්ම නිවැරදි තොරතුරුවලින් සන්නද්ධ වූ සමාජයක් නිර්මාණය කරයි. එසේ නොවූ ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය සහිත සමාජයක අසත්‍යය රජයයි. මිථ්‍යාව සහ කෲරත්වයට වැඩි ඉඩකඩ ලැබෙයි.

ජනමාධ්‍ය යනු හතරවැනි ආණ්ඩුව යැයි සඳහන් කර ඇත්තේ එම අනුහස හේතුවෙනි.

මේ පුරෝකථනයට හේතු වූයේ අධ්‍යාපන ඇමතිවරයා කළ ප්‍රකාශයක් විකෘති කොට පළ කළ පුවත්පත් වාර්තාවකි. එබඳු සිදුවීම් නිතර අසන්නට ලැබීම ජනමාධ්‍යයෙහි පරිහානිය කියාපෑමකි.

පිළිතුරු දීමේ අයිතිය යනු ජනමාධ්‍ය ආචාරධර්මයකි. ඊට අනුව මෙවැනි පුවත් නිවැරදි කර පළ කළ යුතුය. එහෙත් බොහෝ විට අසන්නට ලැබෙන්නේ කතුවරුන් මේ ආචාර ධර්මය කඩ කරන බවය.

ආචාරධර්මවලට ගරු නොකරන මාධ්‍යයක් පවතින විට එයින් සමාජයට වන හානිකර බලපෑම සුළුපටු නොවේ.

මේ දිනවල විල්පත්තුව බේරා ගැනීමේ සටනක් හිටිඅඩියේ පහළ වී ඇත. මෙහිදී බොහෝ ජනමාධ්‍ය කරුණු සොයා නොබලා වාර්තාකිරීමෙන් සමාජයෙහි ගැටුම්කාරී වාතාවරණයක් ඇති කිරීම සඳහා දැන හෝ නොදැන අනුබල දෙයි.

මෙකී මාධ්‍ය හැඳින්වීම සඳහා ජඩමාධ්‍ය යන යෙදුම උචිතය. අවස්ථාවාදී ඇතැම් දේශපාලන බලවේග බලය ඩැහැ ගැනීම සඳහා රට අරාජික කිරීමේ අරමුණෙන්ද මෙවැනි පුවත් පළ කරයි. ඔක්. 26 දේශපාලන කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීම සඳහා ජනමාධ්‍ය හැසිරුණු අයුරුද නින්දා සහගතය. රජයේ මාධ්‍ය මත බලහත්කාරය යෙදවූ හෙයින් එම ආයතනවල ජනමාධ්‍යවේදීන් පතුරු ගැසීමෙහි තේරුමක් නැත. එහෙත් ඇතැම් මාධ්‍ය ආයතන මාධ්‍ය ආචාරධර්ම තඹේකට නොතකමින් කටයුතු කළ අයුරු නින්දා සහගතය.

පුවත්පත් ආයතනවලට බලපාන ජනමාධ්‍ය ආචාරධර්ම පද්ධති කිහිපයක් පවතී. පුවපත් මණ්ඩලය, කොළඹ ප්‍රකාශය, කර්තෘ සංසදය යනාදී වශයෙන් ආචාර ධර්ම මූලාශ්‍ර කිහිපයකි. ඇතැම් ආයතන තමන්ටම විශේෂ වූ ආචාරධර්ම හඳුන්වා දී ඇත. එහෙත් ඇතැම් විට ඒවා කොළවලට සීමා වී තිබෙනු පෙනේ. මෙය කනගාටුදායක තත්වයකි. ජනමාධ්‍ය යනු කර්මාන්තයකි. එය ලාබ ඉපයීම අපේක්ෂා කරයි. එනිසා තරගකාරිත්වයක් ඇති වේ. මෙහිදී මිථ්‍යාව, කාමඅපරාධ, දේශපාලන ඕපාදූප ආලවට්ටම් දමා ඉදිරිපත් කිරීමෙන් තරගට මුහුණ දීම අශෝභන තත්වයකි. මේ තත්වය වෙනස් කිරීම සඳහා ජනමාධ්‍යවේදීන් සබුද්ධික වීම අවශ්‍ය වේ.

මේ සඳහා අභ්‍යන්තර විවේචනයක්ද අවශ්‍ය වේ.

වත්මනෙහි ජනමාධ්‍ය පිරිහීම කෙරෙහි බලපා ඇති සාධකයක් වන්නේ කිසිම වෘත්තීය සුදුසුකමක් නැති පුද්ගලයන් පහසු රැකියාවක් ලෙස ජනමාධ්‍ය තෝරා ගැනීමය. ජනමාධ්‍ය වෘත්තිකයන් ලෙස පුහුණුවක් ලැබීමේ සූදානමක්ද ඔවුන්ට නොමැත. එසේ පුහුණුවන්නන්ගේ අරමුණද උසස්වීම් ලබා ගැනීම මිස ජනමාධ්‍ය ශික්ෂණය අනුව කටයුතු කිරීම නොවේ.

ජනමාධ්‍යවේදියා සමාජයට මඟ කියන්නකු වන්නේ දැනුම හා දැකුම මතිනි. එය ඉවසීමෙන් කැපවීමෙන් වගා කරගත යුත්තකි. සමාජයේ බොහෝ ක්ෂේත්‍ර පරිහානියට පත් වන අයුරින් ජනමාධ්‍යද පිරිහෙනු පෙනේ. එය වළක්වා ගත යුතුය.

මාතෘකා