විල්පත්තුව

විල්පත්තුව

වනය විනාශ කරනවා නම් අනාගත සිහින අත්හරින්න' යැයි කතාවක් තිබේ. අපට කියන්නට තිබෙන්නේ' වනය වනසනවා නම් හුස්ම ගන්න එක අමතක කරන්නැයි' කියාය.

ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් හෙක්ටයාර 8000ක් සෑම වසරක් ඇතුළතම විනාශ කෙරෙන බව පරිසරවේදීහු පවසති. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවත්නා 29.7%ක් වූ වන ආවරණය 2022 වන විට 32%ක් දක්වා වැඩි කිරීම රජයේ අරමුණ වී ඇතැයි සඳහන් වේ.

එය එක් කතාවකි.

ඒ එක්කම,

නැවත බොහෝ ඇස් විල්පත්තුව දෙසට යොමුව තිබේ. ඒ මහා පරිමාණ වන සංහාරයක් පිළිබඳව සමාජජාල සහ පරිසර ක්‍රියාකාරීන් තොරතුරු අනාවරණය කිරීමත් සමඟය. විල්පත්තු යන්නෙහි අරුත 'විල් දහය' වුවද මේ මනස්කාන්ත රක්ෂිතය විල් ගණනාවකින් පෝෂිතය. එමෙන්ම මේ අභය භූමිය ලංකාවට ආවේණික දිවියාගේ සොඳුරු සැරිසර කලාපයක් සේම අලි ඇතුන්ගේ රජදහනකි. 1938 පෙබරවාරි 25වැනි දින මෙම සුවිශේෂ භූමි කලාපය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවේ මේ සියල්ල සැලකිල්ලට ගෙනය.

කියන තරමට දරුණු වන සංහාරයක් වෙනවා නම් ඒ පිළිබඳව සියලුදෙනා මැදිහත් වීම නොවලහා කළ යුත්තකි. ඊට දේශපාලනයක් තිබිය නොහැක... ඊට ජාතියක්, ආගමක් තිබිය නොහැක .

විල්පත්තු අභයභූමිය තුළ සහ එහි ප්‍රේරක කලාපය තුළ දැනට සැලකිල්ලට ගත යුතු (නොසලකා නොහැරිය යුතු) එළිපෙහෙළි කිරීමක් සිදුව තිබේ.

මේ රක්ෂිතයේ ජනාවාස ඉදිවෙන්නේ ඉකුත් සමයේ යුද්ධය විසින් ඉතිරි කළ නටබුන්වල ප්‍රතිඵලයක් ලෙසටය. ඉඩම් පමණක් නොව ජීවිතද අහිමි කළ යුද්ධය දැන් ඉතිරි ජනජීවිතවලට පීඩාව ගෙනෙනුයේ අතීත අහිමිවීම්වල හිස්තැන් සමඟය.

එල්ටීටීඊ සංවිධානය, විල්පත්තුව ආශ්‍රිතව සිටින මුස්ලිම් ජනතාව පළවා හරින්නේ 1990-1995දීය. ඒ ජනයා පුත්තලම දෙසට පළා ගියේ ඇඳිවත පමණක් රැගෙනය. වසර ගණනාවකින් ඔබ්බෙහි යුද්ධය නිමා වූ විට ඔවුහු සිය ගම්බිම් සොයා පැමිණියහ. එහෙත් එම ගම්බිම් වල්වැදි තිබුණේය. අනෙක් අතට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් විල්පත්තු ප්‍රදේශයට කිසිදු සම්බන්ධයක් නැති පිරිස්ද ඊට සංක්‍රමණය වූහ. ඒ යට තිබෙන්නේ දේශපාලනයකි.

මේ අතර අවුරුද්දකට විනාශවන වන ගහනයේ හෙක්ටයාර 8000න් බහුතරයක් විනාශ වෙන්නේ සංවර්ධන වැඩසටහන්වලට විනා හේනක් කොටා ජීවිකාව සලසා ගන්නා අහිංසක ගොවියන් නිසා නොවේය. වනාන්තර ප්‍රමාණය 1%කින් වැඩිකිරීම යනු හෙක්ටයාර 65,000ක් අලුතින් වනාන්තර එකතු කිරීමය. එය සුළුපටු කාර්යයක් නොවන බවත් සිත් තබාගත යුතුය. අනෙක් අතට වන විනාශය උග්‍රව සිදුවන ප්‍රදේශය විල්පත්තුව පමණක් නොවන බව සිහිකළ යුතුය.

වන විනාශය වඩාත් වැඩියෙන්ම සිදුවන දිස්ත්‍රික්ක ලෙස අනුරාධපුරය, මොනරාගල, හම්බන්තොට හා පුත්තලම හඳුනාගෙන තිබේ. ඒ අනුව පරිසරය වැනසීම විල්පත්තුවට පමණක් අදාළ ප්‍රශ්නයක්ද? උත්තරය නැත යන්නය. එහෙත් එහෙම කියා විල්පත්තුවේ ප්‍රශ්නය යට ගැසිය නොහැක. අනෙක් අතට විල්පත්තුව පෙන්වා අනෙක් තැන්වල සිදුවන විනාශය නොසලකා හැරියද නොහැක.

සංවර්ධනය සහ සොබාදහම අතර වන්නේ අනවරත ගැටුමකි. එහිදී පළමුව ජයගන්නේ සංවර්ධනයයි. එහෙත් එහි වාඩුව සොබාදහම අරගන්නේ සකලවිධ සංවර්ධන ක්‍රියාදාමයන් තූතූ කොට දමමින් බව තරයේ හිතට ගත යුතුය.

මාතෘකා