පාසල්වල ‘භූමි පුත්‍ර’ ප්‍රශ්නය

පාසල්වල ‘භූමි පුත්‍ර’ ප්‍රශ්නය

භූමි පුත්‍රයන් යනු විශේෂිත කොට්ඨාසයක් හඳුන්වන නමකි. "තමන්ගේ තැන, තමන් උපන් තැන, තමන්ට අයිති තැන, වෙනත් අයට නොදිය යුතු තැන යනාදී වශයෙන් හැඟීම් සමුදායක් මෙයින් ජනිත වේ. පාසල්වලද භූමි පුත්‍රයෝ සිටිත්. ඔවුන්ගේ කල්කිරියාව නිසා ඇතම් දක්ෂ ගුරුවරු පාසල හැර යති. අකර්මණ්‍ය‍ වෙති. ඇතැම් විට දේශපාලන කැපිලිවලටද ලක් වෙති. අපේ රටේ පාසල්වල පරිපාලනයෙහි කල්ලිවාද ගැටුම් පවතින බොහෝ අවස්ථා භූමිපුත්‍රයන් නිසා නිර්මාණය වන බව පෙනේ.

භූමි පුත්‍රයා තමන් සේවය කරන පාසලේ දිගින් දිගටම රැඳී සිටියි. ඔහු වෙනත් විදුහලක සේවයට යෑමට අකමැතිය. ගුරු වෘත්තියට අමතරව යෙදෙන වෙනත් ලාභ ලබන ව්‍යාපාරවල යෙදී සිටින අයට එම විදුහල දමා යා නොහැක. ඊට හේතුව ඔහුට එම ව්‍යාපාර අහිමි වීමය. සමාජ වරප්‍රසාද අහිමි වීමය. ප්‍රදේශයේ දේශපාලන සම්බන්ධතා අහිමි වීමය.

ශ්‍රී ලංකාවේ පාසල්වල සේවය කරන ගුරු වෘත්තිකයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂයකට අධිකය. මෙයින් 73%ක් ගුරුවරියෝය. එහෙත් භූමිපුත්‍ර ප්‍රශ්නයට ලිංග භේදය අදාළ නැත.

නගරයෙහි ඇතැම් පාසල්වල ගුරු අතිරික්තයකුත් ගම්බද පාසල්වල ගුරු හිඟයකුත් පැවතීමේ හේතුව කුමක්ද?

ඇතැම් ගුරුවරු තමන් මුල් පත්වීම ලද විදුහලෙහිම වසර දහයද ඉක්මවා සේවය කරති. ස්ථාන මාරුවක් ලැබීම කෙසේ හෝ වළක්වා ගනිති. මාරුවක් ලද හොත් දේශපාලන හෝ ආගමික සංස්ථාවෙහි පිහිටෙන් එකම විදුහලේ රැඳී සිටිති. මෙය අසෝබන තත්ත්වයකි. එමෙන්ම බලය අයුතු ලෙස ක්‍රියාවේ යෙදවීමකි. එනිසා කළ යුතුව ඇත්තේ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය කඩකිරීමේ හේතු සොයා බලා එය වැළැක්වීම සඳහා පියවර ගැනීමය.

මීට දෙවසරකට පමණ අනාවරණය වූයේ ජාතික පාසල් 353ක සේවය කරන ගුරුවරුන්ගෙන් 10,000ක් පමණ වසර දහය ඉක්මවා ස්ථාන මාරුවීම් නොලැබ සේවය කරන බවයි. මින් පැහැදිලි වන්නේ ගුරුමාරු ප්‍රතිපත්තිය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවය. එය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය නායකත්වය ලබානොදෙන ඇතැම් වෘත්තිය සමිති ගුරුවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩු පෙරළීමටද සූදානම් වෙයි.

එහෙත් ගුරුවරුන්ගේ හිඟය නිසා අධ්‍යාපනය බිඳ වැටුණු පාසල් පිළිබඳ නෑසූකන්ව සිටිති. මෙය කනගාටුදායක තත්ත්වයකි. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමකි.

අධ්‍යාපනය සම්බන්ධයෙන් කුමන කරුණු කතා කළත් විධිමත් අධ්‍යාපනයක් ලබාදීමේ සිහිනය සාක්ෂාත් කරගැනීම අභියෝගයකි. එය ජය ගැනීම සඳහා වත්මන් අධ්‍යාපන ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් සාධනීය පියවර රැසක්ම ගනිමින් පවතී. ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

එය විවේචනයටද ලක් වෙයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි මහාචාර්යවරයකු හා සාහිත්‍යධරයකුද වන ලියනගේ අමරකීර්තිගේ සොයුරියක් මීට කලකට පෙර ගුරු පත්වීම් ලද මොහොතෙහි තම සොයුරාට එවූ ලිපිය පිළිබඳ අදහසක් තීරුරචකයකුගේ කෘතියකට ඇතුළත් විය.

තමන්ට ලැබුණු මුල්ම පත්වීම පිළිබඳ සතුට පළකර තිබූ ඇය එවන් සිසු පිරිසකට ගුරුවරියක වන්නට ලැබීම භාග්‍යයක් යැයි සඳහන් කර තිබුණි. දුෂ්කර ප්‍රදේශවල සේවය කරන ඇතැම් ගුරුවරු තම පුද්ගලික සුඛ විහරණය අතහැර එම විදුහල්වල රැඳී සිටීමේ රහස වන්නේ එම දරුවන් අසරණ කිරීමට ඇති අකමැත්තය. ගුරුවෘත්තිකයන් අතර එබඳු ගුරුවරුද සිටිති. එසේ හෙයින් ගුරුවරුන්ගේ මෙන්ම සිසුන්ගේද අයිතිවාසිකම් පිළිබඳ හරි අවබෝධයකින් යුක්තව ගුරු සේවය යාවත්කාලීන කළ යුතුය. එය එසේ විය යුතු බවට ගුරු සංගම්ද පිළිගත යුතුය.

ගුරු වෘත්තිය ගුණාත්මක වශයෙන් නැංවීම එහි පළමු පියවරයි. ගුරුවරුන්ට ප්‍රමාණවත් වැටුපක් ලැබීම පිළිගත යුතුය. එහෙත් ඒ අතරම ගුරුවරයා අධ්‍යාපන කඩ පවත්වාගෙන යෑම ඇතුළු ජාවාරම්වලින් ඉවත් විය යුතුය. ටියුෂන් යනු වත්මන් අධ්‍යාපනයේ පිළිලයකි. පාසල් ගුරුවරුන් තමන් සේවය කරන විදුහලෙහි නම හා ප්‍රශ්න පත්‍ර පරීක්ෂක යනාදී පට්ටම්ද දැන්වීම්වල පළ කරමින් අධ්‍යාපන කඩ පවත්වාගෙන යති. මේවාට එරෙහිව කටයුතු කිරීමේ පිටකොන්දක්ද ගුරු සංගම්වලට අවශ්‍ය වේ.

මාතෘකා