ගුරුවරුන්ගේ වර්ජනය

ගුරුවරුන්ගේ වර්ජනය

ගුරුවරුන්ගේ වෘත්තීය සමිති 30ක් විසින් සංවිධානය කරනු ලැබූ වර්ජනයක් ඊයේ ක්‍රියාත්මක විය. මුළු පාසල් පද්ධතියම අක්‍රිය කරමින් තම ඉල්ලීම් දිනා ගැනීම මෙහි අරමුණ බව පෙනේ. පළමුව කිවයුතු වන්නේ මේ වෘත්තීය සමිති සමස්ත ගුරු පරපුරම නියෝජනය නොකරන බවය. එසේ නියෝජනය නොකිරීම නිසා ගුරුවරුන්ගේ ඉල්ලීම් සාධාරණ නොවේ යැයි කීමටද ඉක්මන් විය යුතු නැත. වර්ජනය නිසා බොහෝ පාසල්වල දෛනික කටයුතු අඩාළ විය. ඇතැම් පාසල්වල එසේ නොවීය.

වර්ජකයන්ගේ ප්‍රධාන ඉල්ලීම් මේවාය.

1. වැටුප් විෂමතා ඉවත් කිරීම

2. උසස්වීම් ගැටලු නිරාකරණය කිරීම

3. පාසල් ගාස්තු මවුපියන්ගෙන් එකතු කිරීම නැවැත්වීම.

4. දරුවන්ගේ විනය ආරක්ෂා කරන ගුරුවරුන්ගේ ආරක්ෂාව සහතික කිරීම

බැලූ බැල්මට මේ ඉල්ලීම් සාධාරණ බව පෙනේ. එහෙත් වඩාත් පරීක්ෂාකාරීව බැලූ විට පෙනෙන්නේ ඇතැම් ඉල්ලීම් ඉටු කිරීම හිතන තරම් සරල නොවන බවය.

වැටුප් විෂමතා පිළිබඳ ගැටලුවක් ඇති බව කිව යුතු වේ.

රිචඩ් පතිරණ මහතා අධ්‍යාපන ඇමති ධුරය හෙබවූ සමයෙහි ඉතිහාසයේ පළමු වරට ගුරුවරුන් සඳහා සැලකිය යුතු වැටුප් වැඩිවීමක් සිදුවිය. එහෙත් වැටුප් සංශෝධනය කළ කමිටුවෙහි ඇතැම් දුබලතා නිසා වැටුප් විෂමතා ගැටලුවක් ඉතිරි විය. සාධාරණ විසඳුමක් නොලැබිණ. එනිසා මේ ගැටලුවට සාධාරණ විසඳුමක් අවශ්‍ය වේ. පොදුවේ රාජ්‍ය සේවයේ ඇති වැටුප් විෂමතා සහ ගුරු වෘත්තියෙහි වැටුප් විෂමතා යනු දෙකකි. එහෙත් වත්මන් ආණ්ඩු පාලන සමයෙහි පළමුව රු.10,000කින්ද දෙවනුව මෙවර අයවැයෙන් රු.2,500කින්ද වැටුප් වැඩි කිරීම ගුරුවරුන්ටද අදාළ බව කිව යුතුය. මේ සියලු දීමනා මූලික වැටුපට එක් කිරීම රට තුළ පවත්නා ආර්ථික අර්බුදය අනුව සංකීර්ණ කටයුත්තකි. ඒ නිසා මේ ගැටලුව සමස්ත ආර්ථිකයට අදාළය. ගැටලුව ඇත්තේ වෙනත් තැනකය.

උසස්වීම් පටිපාටිය නිවැරදි විය යුතු බවට විවාදයක් නැත. එහෙත් මෙහිදී සෑම රාජ්‍ය ආයතනයකටම පොදු වූ යථාර්ථය ගුරු වෘත්තියටද අදාළය. එනම් වෘත්තීය සමිති තම සාමාජිකයන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා බලධාරීන් සමඟ කේවල් කරනු වෙනුවට පොදුවේ වෘත්තීය අයිතීන් තක්සේරු කිරීමය.

විනය බාර ගුරුවරුන්ගේ ආරක්ෂාව සහතික කිරීම යනු ප්‍රහසනයකි. බොහෝ විට විනය බාර ගුරුවරයා හෝ ගුරුවරිය හැටියට පත් කරනු ලබන්නේ අපරාධකරුවන් අබියස පොලිස් නිලධාරීන් හැසිරෙන්නාක් මෙන් හැසිරෙන දෘඩ පැවතුම් ඇති පුද්ගලයන්ය. මෙහි ප්‍රතිඵලය වන්නේ විනය ආරක්ෂා කිරීමේ මුවාවෙන් දරුවන්ට එරෙහිව වාචික හා කායික හිංසනය දියත් කිරීමය. එනිසා පාසල් දිවිය හැරයෑම, දිවි නසාගැනීම, සමාජ විරෝධීන් ලෙස සමාජගත වීම යනාදී චර්යාවන්ට යොමු වූ දරුවන් ගැන කිසිදු සොයා බැලීමක් ගුරු සංගම් විසින් සිදුකර නොමැත. එහි ප්‍රතිඵලය පාසල් දරුවන්ගේ විනය රැකීමේ පොලිස් ක්‍රීඩාව දිගින් දිගටම පවත්වා ගෙන යෑමය.

මෑතකදී සිසුවකුට අමානුෂික ලෙස පහරදීමේ වරදට ගුරුවරියකට සිර දඬුවම් නියම වීමද විනය බාර ගුරුවරුන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ ඉල්ලීම කෙරෙහි බලපා ඇති බව පෙනේ. රටේ බලපවත්වන සාමාන්‍ය නීතිය කාටත් පොදුය. ගුරුවරුන්ට හෝ හාමුදුරුවරුන්ට වෙනම නීතියක් නැත. ඒ නිසා ගුරු සංගම් මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙර ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර සම්බන්ධය පිළිබඳ සාරාර්ථ ගවේෂණය කළ යුතුය. එහි නියම හරය නම් ගුරු සහ ශිෂ්‍ය දෙපිරිස අන්‍යොන්‍ය අවබෝධයෙන් සහ බැඳීමෙන් යුතුව සත්‍ය ගවේෂණයෙහි යෙදීමය.

වත්මනෙහි සිසුන්ට ඇතැම් ගුරුවරුන් පෙනෙන්නේ ව්‍යාපාරිකයන් හැටියටය. ඊට හේතුව පාසල් කාලයට අමතරව ටියුෂන් ව්‍යාපාරයෙහි යෙදෙමින් තම පාසලෙහි දරුවන්ද එම පන්තිවලට ඇද ගැනීම සඳහා සෘජුව සහ වක්‍රව බලපෑම් කිරීමය. මේ නිසා එකම පාසලේ ගුරුවරුන් අතරද තරගයක් ඇති වී තිබේ. මෙය වෛරීසහගත ගැටුමක් දක්වා වර්ධනය වන අවස්ථාද ඇත.

අධ්‍යාපනයට බලපාන නීතිය අනුව ගුරුවරුන්ට වෙනත් ව්‍යාපාරවල යෙදිය නොහැක. වෛද්‍යවරුන්ටද එය කළ හැක්කේ තම නිල රාජකාරි කාලයෙන් පසුවය. එහෙත් මේ දෙපිරිසම පවතින නීතිය උල්ලංඝනය කරති. වෘත්තිය ආචාර ධර්ම කානු පල්ලට දමති.

ගුරු සංගම්වලට මේ ගැන වගේවගක් නැත.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කළ යුතුය. ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දිය යුතුය. ගුරු වෘත්තිකයන්ට කෙරෙන දේශපාලන බලපෑම් නතර කළ යුතුය. ඒ සමඟම පාසල් ගුරුවරුන් ටියුෂන් පන්ති පැවැත්වීම තහනම් කළ යුතුය. දැනට පවත්නා නීතියෙහි අඩුපාඩු ඇත්නම් එය යාවත්කාලීන කළ යුතුය. නිර්මාණශීලී ගුරු පරපුරක් බිහිකිරීම සඳහා අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතුය.

මාතෘකා