රාජ්‍ය සේවය

රාජ්‍ය සේවය

මහාචාර්ය විශ්වා වර්ණපාලගේ "ලංකා සිවිල් සේවා පරිපාලනය" නම් කෘතියෙහි රාජ්‍ය නිලධාරියා යනු රාජ්‍ය මුදල් භාවිත කරන පුද්ගලයා ලෙස අර්ථ දක්වයි. එනයින් ගත් කල රාජ්‍ය මුදල් භාවිත කිරීමේ අවසරය ඇති රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන් ගුරු කොට ගත යුතු නැත.

රාජ්‍ය සේවයේ සියයට 25ක් පමණ දූෂිත බවත් නිලධාරීන්ගෙනුත් සියයට 25ක් පමණ දූෂිත බවටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා වරක් හෙළිදරව් කොට තිබිණි.

මෙය රාජ්‍ය සේවය කෙරෙහි කලක සිටම එල්ලවී තිබෙන චෝදනාවකි.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම දහසය දෙනකුගෙන් එක් අයෙක් රාජ්‍ය සේවකයෙකි. එම රාජ්‍ය සේවකයන් උදෙසා වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව රජයට වැයවන මුදල රුපියල් බිලියන 800කට ආසන්නය.

වරක් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසා සිටියේ මෙරට රාජ්‍ය සේවයට ලෝකයේ හොඳම අවභාවිතයන් සිද්ධ වෙන රාජ්‍ය අතරින් මුල් තැන හිමිවන බවය.

ඔහු මෙලෙස ප්‍රකාශ කරයි.

“ඔබතුමන්ලා දන්නවා ලංකාවෙ රාජ්‍ය සේවය කියන්නේ ලෝකයේ හොඳම අවභාවිතයන් සිද්ධ වෙන රාජ්‍ය අතරින් මුල් තැන අරගෙන තියෙන රාජ්‍යයක්. ඉතින් ඒ නිසා ඒ රාජ්‍යයේ හොඳම අවභාවිතයන් තියෙන රාජ්‍යයේ එම අවභාවිතා සොයා බලා වාර්තා කිරීමට තියෙන ආයතනය තමයි විගණකාධිපති දෙපාර්තමේන්තුව. ඒ දෙපාර්තමේන්තුවේ ප්‍ර‍ධානියා තමයි මම. ‘ගුඩ් ගවනර්ස්’ එහෙම නැත්නම් අපි දැනට සඳහන් කරන ‘යහපාලනය’ කියන වචනෙ දැන් සවුත්තු වෙලා තියෙන්නෙ. හැබැයි ඒ වුණාට ඒ වචනෙ අර්ථය අප්සට් එකක් නැහැ. ඒක ගුඩ් ගවනර්ස්. අපි ඉංග්ලිෂ්වලින් කිව්වොත් එහෙමයි. රාජ්‍ය අංශයක තිබිය යුතු වැදගත්ම කාරණයක් තමයි යහපාලනය සහ රාජ්‍ය සේවකයාගේ අවංකභාවය. මේ කාරණා ගොඩනැඟීම සඳහා කළ යුත්තේ කුමක්ද කියන කාරණයත් ඒ වැඩපිළිවෙළ සඳහා නායකත්වය දීම සඳහාත් මට විශාල කාර්යභාරයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා”

මෙරට රාජ්‍ය සේවය පත්ව තිබෙන තත්ත්වය මෙයින්ම වටහා ගත හැකිය.

රටක ජාතික සංවර්ධනය පිළිබඳ දැති රෝදය ක්‍රියාත්මක කරවන ආයතනය රාජ්‍ය සේවය යැයි කීවද සත්‍ය තත්ත්වය බෙහෙවින්ම අවාසනාවන්තය.

කෙසේ වෙතත් මේ අන්ධකාරය තුළ පවා රිදී රේඛා පවතින බවද සිහිපත් කළ යුතුමය. තමන් උපයන වැටුපට ණය නොවී සේවය කරන්නෝද අපමණව සිටිති.

රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීම ආණ්ඩුව මත පැවරී ඇති අභියෝගයකි. එය කෙතරම් සාර්ථක වී ඇත්දැයි සැකයක් පවතී. අනෙක් අතට කාලාන්තරයක් සිටම රාජ්‍ය සේවය දේශපාලනඥයන් විසින් ස්වකීය හීලෑ කිරීමට යටත් කොටගනු ලැබ ඇත.

මීට දශක කිහිපයකට පෙර රාජ්‍ය සේවය සම්බන්ධව සමාජය තුළ 'බරක්' පැවැතිණ. එවක තරුණ තරුණියන්ගේ අපේක්‌ෂාව වූයේ කුමන හෝ රජයේ තනතුරකට ඇතුළත් වීමය. එහෙත් පසුකාලීනව නව රැකියා අවස්ථාවන් උදාවීමත්, රාජ්‍ය ප්‍රතිපත්තීනුත් හේතුකොටගෙන රාජ්‍ය සේවයෙහි එතෙක් තිබූ 'තත්ත්වය' දෙදරා ගියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයට ඇතුළත් වීම එක්තරා අභියෝගයකි. දුෂ්කර මාවතක් පසුකොට තරණය කළ යුත්තකි. අධ්‍යාපනය, පුහුණුව, පළපුරුද්ද, බුද්ධිය, ශාරීරික යෝග්‍යතාව වැනි සාධක රැසක් මෙහිලා සැලකිල්ලට ගන්නා අතර ඊටත් වඩා බරපතළ වන්නේ දේශපාලන සුදුසුකමය.

කිසිදු දේශපාලන මැදිහත්වීමක් නැතිව රාජ්‍ය සේවයට එන තැනැත්තා දෙස පවා බලනුයේ 'දේශපාලන පත්වීමක්' යන සාංකාව මුසු බැල්මකිනි. අපේ රාජ්‍ය සේවය විවේචනයට ලක්වන්නේ දූෂිත, බෙලහීන හා අකාර්යක්ෂම එකක් හැටියටය.

අත්‍යවශ්‍ය සහ තීරණාත්මක අවස්ථාවල රාජ්‍ය සේවකයන් ඉතා ප්‍රශස්ත ලෙස මැදිහත් වන අවස්ථා කොතෙකුත් තිබේ. එහිදී ඔවුහු කාලය, ශ්‍රමය ගැන තකන්නේ නැත. එහෙත් සාමාන්‍ය තත්ත්වයකදී රාජ්‍ය සේවකයා අසාමාන්‍ය ලෙස දුර්මුඛ වන්නේ ඇයි?

මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කිරීම වටී. වඩාත් තරගකාරී රාජ්‍ය සේවයක් ස්ථාපිත වෙත්නම් එය රටක ඉදිරි ගමන උදෙසා බෙහෙවින්ම ඉවහල් වන බව සටහන් කළ යුතුමය.

මාතෘකා