ආයෝජකයන් රැකගනු පිණිස

ආයෝජකයන් රැකගනු පිණිස

දශක කිහිපයක් තිස්සේ අනිසි බලපෑමට ලක්ව, වසර කිහිපයක් තිස්සේ උග්‍ර ණය උගුලකත් සිරගත වූ රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දීම වැරදි නොවේ. ආර්ථික ස්වභාවය කෙබදු වුවද නිසි ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමේ ඒකාන්ත ඛේදවාචකය පරම්පරා ගණනාවක ජීවිත කරකවා අතාරින්නට හේතු වී තිබේ.

නිදහසින් පසු දශක පහක් වැනි කාලයක් හැරපියා ඉතිරි කිසිදු සමයක පහසු 'අයවැයක්' ඉදිරිපත් කරන්නට කිසිදු ආණ්ඩුවක් සමත් වී නැත.

උග්‍ර වියදම් ඇස්තමේන්තුවක් අත තියාගෙන මේ ගමන යන්නට සිදුවී තිබේ.

රටක ආර්ථිකය ශක්තිමත් කිරීමේ කොඳු නාරටිය ආයෝජකයන්ය. ආයෝජකයන් සිය රටවලට ඇදගැනීම උදෙසා සියලුම රටවල් දැඩි අරගලයක යෙදෙයි. ඒ උදෙසා අවශ්‍ය පහසුකම් සපයයි. ලිහිල් නීති රීති අනුගමනය කරයි. හිතකර පාරිසරික වටපිටාවන් සකසයි.

එහෙත් ශ්‍රී ලංකාව කලක සිටම 'ආයෝජකයන්ට' පයින් ගැසූ රටකි. කලකට පෙර ආයෝජකයන් මෙරට දෙස බැලුවේ 'කප්පම්' ඉල්ලන පාලකයන් සිටින රටක් ලෙසය. නිලධාරීන්ගෙන් ඔබ්බට ගොස් ඇමතිවරයාට පගාව දෙන්නට සිදුවන 'කප්පම් පාලනයක්' මෙරටෙහි පැවතියේය.

ලෝකය සමඟ තරග කළ හැකි ශක්‍යතාවකින් හෙබි නවෝත්පාදන ක්‍රියාවලියකට මාරු නොවන තාක්, අප ලොව බොහෝ රටවල්වලට පසුපසින් මිස ඉදිරියෙන් නොසිටිනු ඇත. එහෙත් මෙරට බල දේශපාලනයේ 'කැතකම' නිසා ආණ්ඩුවකට සෘජු තීන්දු ගැනීම සහ ජාතික වැඩපිළිවෙළක් සැකසීම උගහටය. උචිත වේවා, නොවේවා තමාගේ මැතිවරණ කොට්ඨාසයට සියල්ල ලබා ගැනීමේ අරගලයත් ඒ ඔස්සේ කීයක් හෝ යටි මඩි ගැසීමේ වෑයමත් නිදහසින් පසු ලංකාවේ මොඩලයක් විය. එය උග්‍ර අසනීපයක් ලෙස වැළඳුණේ පසුගිය සමයේය. එක් ප්‍රදේශයක් කේන්ද්‍ර කරගත් අසීමිත 'සැලකිල්ල'ක් දැක්වීම හා අනෙක් සියලු ප්‍රදේශවලට කුඩම්මාගේ සැලකිල්ල දැක්වීම එවක සුලබ තත්ත්වයක් විය . 'එක්කෝ ඔස්ට්‍රේලියාවට යන්න ඕන. නැත්නම් හම්බන්තොටට යන්න ඕන' යන්න එවක සමහරුන්ගේ පාඨය විය. එවක මවා පෙන්වූ සංවර්ධන ක්‍රියාවලිය එලෙස විය. එහෙත් කලකට පසු ඉතිරිව පවත්නා ශේෂ පත්‍රය කුමක්ද? හම්බන්තොට පමණක් වැසිකිළි නැති පවුල් පහළොස් දහසක් පැවතීමය.

භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන සියලු රටවල් අතර තිබෙන්නේ දැඩි තරගකාරිත්වයකි. පුහුණු ශ්‍රමයට තිබෙන ඉල්ලුම අති විශාලය. එවන් තත්ත්වයක් තුළ වඩාත් ඉදිරිගාමීව සහ නූතන තාක්ෂණය සමඟ කටයුතු නොකරන තාක් කල් අපට හිමිවන්නේ අරගලයේ පිටුපස අසුනමය.

ආයෝජකයන් වර්තමානයේදී සිටින්නේ දුරස්ථ පාලකය අත තබාගෙනය. තමන්ට ආයෝජනය සඳහා සුදුසු රට ඔවුහු ඒ තුළින් තෝරා ගන්නට දෙවරක් නොසිතූහ. තමාගේ ආයෝජනයට හිතකරම රටට ඔවුහු සිය ආයෝජනයන් යොදවති.

දැනුම මෙන්ම කුසලතාවද රටක දියුණුවට අත්‍යවශ්‍යය. කුසලතාවෙන් පිරිපුන් නව ලෝකය හා සිතන දරු දැරියෝ විශාල පිරිසක් මේ රටේ වෙති. එහෙත් ඔවුහු පවතින සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුළ සිරගතව සිටිති. එමතු නොව යාවත්කාලීන නොවූ, යල්පැන ගිය විෂය නිර්දේශ තුළ ඔවුහු ගොදුරු බවට පත්ව සිටිති .

නව රජයේ අයවැයෙහි දැකිය හැකි සාධනීයම වෑයමක් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය හිමි උසස් අධ්‍යාපන ආයතනයකින් උගෙන ගැනීමට දරුවන්ට අවකාශ සැලසීමයි. ඒ සඳහා සහන ණය යෝජනාවක් හඳුන්වා දීම වඩාත් ඵලදායී වන්නේ අ.පො.ස. සා/පෙළ හෝ උ/පෙළ ප්‍රතිඵල නිකුත් වූ විට ජීවිතයේ ඊළඟ පියවරට සිය කුසලතාව භාවිත කරන්නට වෑයම් කරන දරුවන්ට එය විශාල සහනයක් නිසාවෙනි.

පෙරේදා අයවැය විවාදයට එක් වූ ඇමැති චම්පික රණවක කළ කතාවෙහි දැඩි අවධානයට ගත යුතු කරුණු කිහිපයක් වෙයි.

'ජනගහනයෙන් 15%ක් රැකියා සඳහා හෝ ස්ථීරවම මේ රටින් ගිහින් තියෙනවා. කොළඹ නගරයෙන් පස්සේ වැඩිම සිංහල ජනගහනය ඉන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ. යාපනෙන් පස්සේ වැඩිම දෙමළ ජනගහනයක් ඉන්නේ කැනඩාවේ ටොරන්ටෝ නගරයේ. අපේ රට ජනතාවට ඉන්න හිතෙන තැනක් නොවෙයි කියලා මතයක් තියෙනවා'.

පක්ෂ භේදයෙන් තොරව ඔහුගේ කතාව කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා කාලෝචිතය.

අතීත ශ්‍රී විභූතියේ ශේෂ පත්‍රයන් අත තබාගෙන පුරාජේරු දෙඩීමෙන් නව ලෝකය හා පෙරට යන්නට හිතන්නටවත් නොහැකිය. අතීතය පාඩමක් මිස එය වර්තමානයට හෝ අනාගතයට සේදමාවතක් නොවේ.

මාතෘකා