සාධනීය යෝජනා රැසක්

සාධනීය යෝජනා රැසක්

අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද දෙවැනි අයවැය, ආර්ථිකයේ දිශානතිය වෙනස් කිරීමට බලපාන සාධනීය යෝජනා රැසකින් සමන්විත වූවක් බව පෙනේ. අයවැයට එරෙහිව කරුණු දක්වන විපක්ෂ නායකවරයා ඇතුළු විවිධ පාර්ශ්ව එහි සමස්තය ගැන කිසිවක් නොකියා හම්බන්තොට වැසිකිළි පහසුකම් වැනි මාතෘකා ගැන කතා කිරීමෙන් පෙනී යන්නේ අයවැය යෝජනා නිෂේධනාර්ථයකින් සාකච්ඡා කළ නොහැකි බවය.

කවර ආණ්ඩුවක් යටතේ වුවද ඉදිරිපත් කරනු ලබන අයවැයකින් වත්මනෙහි රට මුහුණ දෙන ගැටලු සියල්ල ඉන්ද්‍රජාලිකයකු මෙන් විසඳනු ඇතැයි සිතන්නේ නම් එය මුළාවකි. නිදහසින් පසුව වත්මන දක්වා දියුණු ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට අසමත්කමේ ප්‍රතිවිපාක වැඩියෙන්ම දැනෙන සමයක අවශ්‍ය වන්නේ දැවෙන ප්‍රශ්නවලට කෙටිකාලීන විසඳුම් ලබාදෙමින් ණය උගුලෙන් රට නිදහස් කරගත හැකි වන පරිදි විදේශ විනිමය ඉපයීමේ දිගුකාලීන සැලසුම් ක්‍රියාවට නැංවීමය; මහා පරිමාණ සහ සුළු පරිමාණ ව්‍යවසායකයන් ගොඩනැඟීමට අවශ්‍ය වන යටිතල පහසුකම් ලබා දීම, රට තුළ සාමය සහ සංහිඳියාව, මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම හා රාජ්‍ය පාලනයෙහි විනිවිදභාවය සහතික කිරීමය.

මේ විෂයයෙහි මංගල සමරවීර ඇමතිවරයාගේ කැපවීම සුළුපටු නොවේ. ඔහුගේ 30 වසරක දේශපාලන දිවිය සැමරීම සඳහා පැවති උලෙළෙහි ප්‍රධාන දෙසුම පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇ.එ.ජනපද තානාපතිවරියක වූ සමැන්තා පවර්ද ඉතා නිවැරදිව පැහැදිලි කළ පරිදි ලෝකයට ආවෘතව තිබූ ලංකාව පිළිබඳ විශ්වාසය යළි තහවුරු කිරීම සඳහා මංගල මැදිහත් වූයේ විවේචන දහසක් මැද්දේය. පසුගිය ආණ්ඩු පාලන සමයෙහි මෙරට සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට තිබූ කළු චිත්‍රය වෙනස් කිරීමට ඔහු සමත් විය. ඒ අනුව බටහිර රටවල සහයෝගය ලැබෙමින් පවතී. යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙයි. ප්‍රවාහන හා කෘෂි අංශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 480ක ප්‍රතිලාභ ළඟාවෙමින් පවතින බව සමැන්තා පවර් මහත්මියද අවධාරණය කර ඇත.

මෙවර අයවැය ඉදිරිපත් කෙරුණේ රටේ ආර්ථිකය යහපත් දිශානතියකට සේන්දු කිරීමේ සමාජ දේශපාලන පසුබිමක් නිර්මාණය වෙමින් පවතින අතරතුර වීම විශේෂත්වයකි. ඒ අනුව මෙවර අයවැය සමාජ දේශපාලන සන්දර්භයෙන් වියුක්ත වූවක් නොවේ. එය සංයුක්ත ක්‍රියාවලියක් පිළිබඳ සැකැස්මකි.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීම එම වෘත්තිකයන්ගේ අස්වැසිල්ලට හේතුවකි. රාජ්‍ය සේවය ආර්ථිකයට ඔරොත්තු නොදෙන මට්ටමකට පත් වූයේ පසුගිය රජය විසින් ඉවක් බවක් නැතිව කරන ලද බඳවා ගැනීම් හේතුවෙනි. එසේ වුවත් ඔවුන්ට සරිලන වැටුපක් ලබාදීමේදී ඒ කරුණ අදාළ නොවේ. වැටුප් වැඩි කිරීම විශ්‍රාමිකයන්ටද බලපැවැත්වේ. එමෙන්ම විශේෂ අවශ්‍යතා ඇති අයගේ දීමනා වැඩි කිරීම ඇතුළුව සමාජයේ අවවරප්‍රසාදිත ජන තීරුවලට සහන සැලසෙන යෝජනා රැසක් අන්තර්ගත වීම මේ අයවැයේ විශේෂත්වයකි.

සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි වැදගත් ප්‍රතිසංස්කරණ කිහිපයක් සඳහා මෙවර අයවැයෙන් වැඩි බර තබා තිබීම අගය කළ යුතුය. සමසෞඛ්‍ය විද්‍යා පීඨයක් අලුතින් ආරම්භ කිරීම, විශ්වවිද්‍යාල කිහිපයක වෛද්‍ය පීඨ ආරම්භ කිරීම ප්‍රශස්ත යෝජනාය. උසස් පෙළ සමත්ව සරසවි වරම් නොලබන සිසුන්ට පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙනීම සඳහා රුපියල් මිලියනයක් දක්වා පොලී රහිත ණය ලබා දීමේ යෝජනාව ප්‍රශස්තය.

ග්‍රාමීය කෘෂි අංශය නවීකරණය සඳහා මෙතෙක් ප්‍රමාණවත් අවධානයක් යොමු වී තිබී නොමැත. උසස් තත්ත්වයේ බෝග නිෂ්පාදනය සඳහා පහසුකම් ලබා දීම, නවීන තාක්ෂණය හඳුන්වා දීම සහ පසු අස්වනු සංරක්ෂණය සඳහා ගබඩා පහසුකම් ලබා දීම කාලීන අවශ්‍යතාවක් ඉටුකිරීමකි.

පසුගිය වසරේ ආරම්භ කරන ලද ගම්පෙරළිය සහ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී විවිධ බාධා එල්ල විය. ඒවාද සැලකිල්ලට ගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වැඩි කර ඇත. සුළු පරිමාණ ව්‍යවසායකයන් ගොඩනැඟීම දිරිමත් කිරීම සහ සහයෝගී ආයතන සමඟ සම්බන්ධ කිරීම දියුණු ආර්ථික උපාය මාර්ගයකි.

මෙරට ආර්ථිකය නවීන කිරීමට බලපාන වාණිජ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා දැනුවත් කාර්යභාරයක් වත්මන් මුදල් ඇමතිවරයා විසින් සිදු කරන ලදී. මේ අයවැය එහි ඉදිරි වර්ධනයකි. එහෙත් බදු ප්‍රතිපත්තියට අදාළ ඇතැම් යෝජනා තියුණු විවේනයට ලක් වීමේ විභවයක් පවතින බවද කිව යුතුය.

මාතෘකා