ජනප්‍රිය නැති සාමය

ජනප්‍රිය නැති සාමය

ලෝක ඉතිහාසයේ බොහෝ නායකයන් සතු ජනප්‍රිය උපක්‍රමය වන්නේ සාම මාවතට වඩා සටන් මාවත තෝරා ගැනීමය. පුලුටු මිනී දුගඳත්, නාස්පුඩු පාරවන වෙඩි බෙහෙත් දුර්ගන්ධයත් පරම්පරා කිහිපයකට සිදුවන අප්‍රමාණ අහිමිවීම් කන්දරාවත් හැරපියා සටන් මාවතින් හිමිවන හෝ උරුමවන විජයග්‍රහණයක් නැත.

එහෙත් අරගලකාරීත්වය සහ තවමත් ජාන අතර සැඟව සිටින ම්ලේච්ඡත්වය නැමති යක්ෂයා කෑ ගසා ඉල්ලා සිටින්නේ ‘ගැටුම්’ය... ‘යුද්ධය’ය...!

නිදහසත් සමඟ දායාද වූ, තවමත් විසඳුමක් නොමැති කාශ්මීර අර්බුදය මුල් කරගත් නොනිවෙන විරසකය විසින් ඉන්දියාව සහ පාකිස්තානය අතර තවත් යුද්ධයකට සන් කරමින් සිටී. තම තමන්ගේ අවි බලය, එඩි බලය සහ තර්ජනාංගුලිය දෙරට විසින්ම එල්ල කරගනිමින් සිටී.

භූ දේශපාලනික වශයෙන් දකුණු ආසියානු කලාපය තුළ ව්‍යාප්ත වූ ගැටුමක් ලෙස කාශ්මීර අර්බුදය හැඳින්විය හැකිය. මෙම ගැටුමට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වකාර රාජ්‍ය දෙක වන්නේ ඉන්දියාව සහ පාකිස්තානයයි. ජම්මු කාශ්මීර් නමැති ප්‍රදේශය සම්බන්ධයෙන් මෙම රාජ්‍ය දෙකම සමාන හිමිකම් ප්‍රකාශ කිරීම අර්බුදයට මුල් විය.

කාශ්මීර ප්‍රදේශයේ අයිතිය මුල් කර ගනිමින් 1947 සිට ඉන්දියාව සහ පාකිස්තානය අතර වරින් ගැටුම් කිහිපයක් ඇති විය. මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම දෙරට අත‍ර ගිවිසුම් හා සම්මුතීන් ඇති කර ගනු ලැබිණ.

ඒවා වරින් වර උල්ලංඝනය කිරීමත් ජම්මු කාශ්මීර ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ‍වන මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකලාපයත් හේතුවෙන් 1947දී ආරම්භ වූ කාශ්මීර අර්බුදය තවදුරටත් නොවිසඳුණු ගැටුමක් බවට පත්ව ඇත. දැන් එය ඔඬු දුවා තිබේ.

දෙරටම ස්වකීය හමුදා බැරැක්ක ශක්තිමත් කරමින්, යුද අභ්‍යාස දෙගුණ තෙගුණ කරමින් මිනිසුන් මරා ගැනීම උදෙසා 'ශක්තිමත්' වෙමින් සිටී.

‘හැරී පැච්’ යනු පළමු ලෝක යුද්ධයේදී සටන් වැදුණු අය අතරින් ඉතිරිව සිටි පිරිසෙන් දිගුම කලක් ජීවත් වූ සොල්දාදුවායි. හැරී මියයන්නේ වසර 111ක් ආයු වළඳා 2009 වසරේදීය. ඔහු මිය යාමට පෙර කී අපූරු ප්‍රකාශයක් වෙයි.

"‘යුද්ධය’ යනු සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතනයකි; අන් කිසිවක් නොවේ!”

මෙය කොතරම් සත්‍යයක්ද...?

දැඩි ආඩම්බරකමත් උන්මත්තක ජාතිවාදයත් ලෝකයට යහපතක් ගෙනෙන්නේ නැත.

'ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාලකණ්ණි මෝඩයකුම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි. ඒ ජාතියේ සියලු වැරදි සහ මෝඩකම් වෙනුවෙන් සිය සකල ශක්තියෙන් පෙනී සිටීමට ඔහු සතුටින් සූදානම්ය. එහෙත් ඔහුට ඒ වෙනුවෙන් පෙරළා ලැබෙන්නේ තමන්වම පහතට පිරිහෙළනු ලැබීම පමණි කියා ආතර් ෂොපෙන්හොර් පවසා තිබේ.

මිලියන ගණනක් මිනිසුන් මැස්සන්, මදුරුවන් සේ මරා දමන්නට තරම් හිට්ලර් සැහැසි වන්නේ උන්මත්තක ජාතිවාදය නිසාය.

ඉන්දු පාකිස්තාන අසල්වැසි දෙරට යුද වදින්නට පිඹුරුපත් සකසන අතර එක් නායකයෙක් ජනප්‍රිය නොවන තීන්දුවක් ගෙන 'ජනාදරයට' පත් විය. පාකිස්තාන් අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ගුවන් නියමුවා නැවත ඉන්දියාවට බාරදීමට පාකිස්තාන් අග්‍රාමාත්‍යවරයා වන ඉම්රාන් ඛාන් තීන්දු කිරීමත් සමඟ මේ බලකාමී යුද්ධය දෙස ලෝකයා වෙනම කෝණයකින් බලන්නට පටන් ගත්හ. සාම සාකච්ඡා සඳහා ඉන්දියාවට ආරාධනා කිරීම සහ ගුවන් නියමුවා කිසිදු කොන්දේසියකින් තොරව නැවත බාරදීමට තීරණය කිරීම හේතුවෙන් ඉම්රාන් ඛාන් ජාත්‍යන්තර කීර්තියට පත්විය.

කෙසේ වෙතත් මේ වන විටත් ඉන්දියානු ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉන්දු-පාකිස්තාන් දේශසීමාවට කිලෝමීටර් 40ක් නුදුරින් පිහිටි මුසෆ්‍රාබාද් නගරය ආසන්නයේ රක්ෂිත විනාශ වී පරිසරය සසල වී තිබේ.

එක් ප්‍රශස්ත තීරණයකින් ලැබෙන ප්‍රතිපලය සොබාදහම විසින් තීන්දු කරනු ඇත.

කොහේ කොතැනක වෙතත් යුද්ධයක් වෙත්නම් එය සාහසික අපරාධයකි.

'නිපදවූ සෑම තුවක්කුවක්මත් දියත් කළ සෑම යුද නැවක්මත් පත්තුකළ සෑම රොකට් වෙඩිල්ලක්මත් එක්තරා ආකාරයකට සයින් පෙළෙන්නාවූත්ද, ආහාර නොදුන්නාවූත්ද, සීතලයෙන් පීඩා විඳින්නාත්වූද, වස්ත්‍රයක් නොදුන්නාත්වූද, සමූහයාගෙන් කෙරෙන්නා වූ සොරකමකි. සන්නද්ධ වූ මේ ලෝකය වියදම් කරන්නේ මුදල් නොවේ. ඒ වියදම් කරන්නේ කම්කරුවන්ගේ දහදියයි; විද්‍යාඥයින්ගේ ඥානයයි; දරුවන්ගේ බලාපොරොත්තුවයි. මේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවන ක්‍රමයක් නොවේ. යුද්ධයේ වලාකුළ පසුපස යකඩ කුරුසිය මත ඇණගැසී ඇත්තේ මනුෂ්‍යත්වයයි.' යනුවෙන් ඩ්වයිට්. ඩී. අයිසන්හවර් කියන කතාව සත්‍යයකි.

මාතෘකා