සංචාරක ව්‍යාපාරය නැංවීමේ පියවරක්

සංචාරක ව්‍යාපාරය නැංවීමේ පියවරක්

මෙරටට පැමිණෙන රටවල් රැසක සංචාරකයන් සඳහා නොමිලේ වීසා ලබාදීමට රජය තීන්දු කර ඇත. ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල්, තායිලන්තය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, ඇමරිකාව, මැලේසියාව යනාදී රටවල සංචාරකයන්ට මේ පහසුකම ලැබෙනු ඇත.

මැයි මස සිට අගෝස්තු දක්වා කාලයෙහි පැවැත්වෙන විවිධ ආගමික උත්සව සඳහා සංචාරකයන් සහභාගි වන හෙයින් වැඩි වශයෙන් පැමිණීම සඳහා පෙළඹවීම මේ තීන්දුවට බලපෑ හේතුවයි.

විදේශ විනිමය ගැටලුව දරුණු අන්දමින් බලපා තිබෙන හෙයින් එය සැලකිල්ලට ගනිමින් ආදායම් ඉපයීමේ මාර්ග සැලසුම් කිරීම කාලීන අවශ්‍යතාවකි.

එම තීන්දුවත් සමඟ සිහිපත් කරගත යුතු කරුණු කිහිපයක් ඇත. ඉන් පළමුවැන්න නම් සංචාරකයන් තෘප්තිමත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගැනීමයි. යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ඉන් ප්‍රමුඛය.

සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සෘජු රැකියා සහ වක්‍ර රැකියා රැසක් නිර්මාණය වී ඇත. සංචාරකයන්ට භාණ්ඩ හා සේවා පහසුකම් ලබාදීමේදී එහි ගුණාත්මක බව, විශ්වසනීයත්වය, සාධාරණ බව කෙරෙහි සැලකිලිමත් විය යුතුය. මන්දයත් ඔවුන් අපේ රටට විදේශ විනිමය උපයා දෙන්නවුන් වන හෙයිනි.

මෑත අවධියෙහි විවිධ පුද්ගලයන්ගෙන් සංචාරකයන්ට පීඩා එල්ල වූ අවස්ථා අසන්නට ලැබේ. ඔවුන් රවටා භාණ්ඩ අලෙවි කිරීම, කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක් කිරීම, ඔවුන් සතු උපකරණ කොල්ලකෑම යනාදී වශයෙන් මෙය විවිධ වේ.

මෑත දශකයෙහි සංචාරක කර්මාන්තයෙහි සැලකිය යුතු වෙනස්කම් ඇති විය. ඒ අනුව සංචාරකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ත්‍රීවිල් හා පොදු බස් රථ ගමනාගමනය සඳහා භාවිත කරනු පෙනේ. ඔවුන් ආහාර ගන්නේද සුපිරි හෝටල්වලින් නොව සාමාන්‍ය ජනතාව ආහාර ගන්නා කුඩා හෝටල්වලිනි.

මේ තත්ත්වය නිසා සංචාරකයන්ගේ ජීවිත අනාරක්ෂිත බවට පත්වන අවස්ථාද පවතී. ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් සංචාරකයන්ට හිරිහැර සිදු වූ අවස්ථා රැසක් මෑත කාලයෙහි වාර්තා වී ඇත.

මේ නිසා සංචාරක කලාපවල ත්‍රීරෝද රථ රියදුරන් පිළිබඳ විමර්ශනයක යෙදෙමින් සෙවිල්ලෙන් පසුවීමද අවශ්‍ය වේ. එමෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථ රියදුරන් වෙනම ලියාපදිංචි කර ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදීම කාලීන අවශ්‍යතාවකි. එම සුදුසුකම් සපුරා නොගන්නා රියදුරන්ගේ බලපත්‍ර සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතුය. මන්දයත් ඔවුන්ගේ අකටයුතුකම් නිසා සිදුවන්නේ රට අපකීර්තියට පත්වීමය. ශ්‍රී ලංකාව සංචාරකයන්ට අනාරක්ෂිත රටක් බවට මතයක් ඇති වීමය. මහනුවර නගරයෙහිදී ත්‍රීරෝද රථ රියදුරකු එතෙර යුවතියක් අපයෝජනය කිරීමෙන් පෙනී යනුයේ පූජා නගරයක පවා ඇති අනාරක්ෂිත බවයි. මෙය පොදු තත්ත්වය නොවන බව සැබෑය. එහෙත් එවැනි තත්ත්වයක් ඇති වීම ඉක්මනින් වළක්වාගත යුතුය.

සංස්කෘතික ත්‍රිකෝණයට අයත් ස්මාරක නැරඹීමේදී දේශීය සංචාරකයන්ගෙන් අය කරන මුදලට වඩා කිහිප ගුණයක මුදලක් ගාස්තු වශයෙන් අය කිරීම මෑතකදී සංවාදයට තුඩු දුන්නේය. ප්‍රවේශ පත්‍රවල මිල සාධාරණ නොවන බව පෙනේ. ඒ ගැන රජයේ අවධානය යොමු විය යුතුය. පර්යේෂණ කටයුත්තක් සඳහා පැමිණි ජපන් මහාචාර්යවරයෙක් මෙම විෂමතාව ගැන කලකිරී සීගිරිය නරඹන්නේ නැතිව ආපසු ගිය පුවත පිළිබඳ අප කනගාටු විය යුතුය. සංචාරකයන් වැඩිපුර අද්දා ගැනීමේ උත්සාහය සාර්ථක වීමට නම් මෙවැනි දුර්වලතා මඟ හරවාගත යුතුය.

සංචාරක කර්මාන්තය ඇරඹි හැටේ දශකයයෙහි පටන් වත්මන දක්වා ඉහළ වර්ධනයක් පෙනේ. 1963දී එයින් ඉපයූ ආදායම දශලක්ෂ 6කි. දශක තුනක් යන විට එය රුපියල් දශලක්ෂ 18,500 දක්වා වර්ධනය වීමෙන් එහි ඇති ආර්ථික වටිනාකම පෙනිණ.

සංචාරක කර්මාන්තය නැංවීමට අවශ්‍ය පියවර ගනිමින් එහි ඇති අවදානමින් මිදීමද අවශ්‍ය වේ. මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යමින් පවතින සමාජයක සංචාරක ව්‍යාපාරයෙන් එයට බලපෑමක් තිබේද යන්න අධ්‍යයනය කිරීම කළ යුතුය. එවැනි අවදානමක් තිබේ නම් එය වැළැක්වීමේ ක්‍රමෝපායන්ද අවශ්‍ය වේ.

මාතෘකා