විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පිබිදීමක්

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පිබිදීමක්

රාවණා 1 චන්ද්‍රිකාව කක්‍ෂගත කිරීම පසුගිය 17 වැනිදා පස්වරුවේ සිදු විය. මෙය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරුන් දෙදෙනකු විසින් මේ සුවිශේෂ කර්තව්‍යය කරනු ලැබ ඇති නිසාය. මේ චන්ද්‍රිකාව කක්‍ෂගත කිරීමෙන් පසුව එය දිනකට වට පහළොවක් පෘථිවි ගෝලය වටා භ්‍රමණය වෙයි. තත්පරයට කිලෝමීටර් 7.6ක වේගයක් එයට ඇත. මෙය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අභිමානයෙන් සිහිපත් කළ හැකි අනගි අවස්ථාවකි.

චන්ද්‍රිකා තාක්ෂණය මානව සංහතියේ ඉදිරි ගමන සම්බන්ධයෙන් වැදගත් කර්තව්‍යයක් ඉටු කරයි. චන්ද්‍රිකා තාක්ෂණය ගැන මුලින්ම අනාවැකි පළ කරමින් ඊට පසුබිම සකස් කරමින් ලේඛනයෙහි යෙදුණු ආතර් සී. ක්ලාක්ද ශ්‍රී ලාංකිකයකු වීම විශේෂත්වයකි. ඒ පිළිබඳ ජාත්‍යන්තරයේ ගෞරවය ඔහුට හිමි වෙයි.

"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී" යනුවෙන් කුමාරතුංග මුනිදාස ලිව්වේය. එය පරම සත්‍යයකි. නිදහස ලැබීමෙන් පසුව ගෙවී ගිය දීර්ඝ කාලයට සාපේක්ෂව විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයෙහි ලබා ඇති ප්‍රගතිය සතුටුදායක මට්ටමක ඇතැයි සිතිය නොහැක. එම ක්ෂේත්‍රවල බොහෝ උගත්තුද නාසා ආයතනය ඇතුළු ආයතන ගණනාවක සේවය කරති. එම ආයතනවලින් සිදු කරන පර්යේෂණ හා අත්හදාබැලීම් පොදුවේ මානව වර්ගයාගේ ප්‍රගතිය සම්බන්ධයෙන් වැදගත් වන බව පිළිගත යුතුය. එහෙත් එම ක්ෂේත්‍රවල ඉහළ අධ්‍යාපනයක් ලැබූ පර්යේෂකයන් සහ විද්වතුන් අපේ රටෙහි සංවර්ධන කාර්ය සඳහා දායක කරගැනීමේ ඉදිරිගාමී වැඩපිළිවෙළක් නැත. අල්පෙනෙත්තේ පටන් යෝධ යන්ත්‍රෝපකරණ දක්වා සියලු දේ ආනයනය කරන රටක නව නිර්මාණකරුවන්ට සිදු වන්නේ දියුණු කාර්මික රටවල වෘත්තිකයන් හැටියට සේවයට යෑමටය.

මෙහි අඳුරු පැත්ත ගැන කීම සඳහා තාක්ෂණවේදය විෂය ධාරාවද උදාහරණයට ගත හැකිය. අ.පො.ස. උසස් පෙළ සඳහා මෙය හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ නව නිර්මාණකරුවන් පිරිසක් උසස් පෙළ තාක්ෂණවේදය හදාරන සිසුන් අතරෙන් බිහි වූ අන්දම රහසක් නොවේ. එහෙත් ඔවුන්ට එම ක්ෂේත්‍රයෙහි ඉදිරියට යෑම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නැත. එය අවාසනාවන්ත තත්ත්වයකි.

රාජ්‍ය අනුග්‍රහයෙන් ආගමික කටයුතු සහ වෙනත් ඇදහිලි සඳහා මුදල් කාබාසිනියා කරන රටක විද්‍යා හා තාක්ෂණික දියුණුව සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල ප්‍රමාණවත් වේ යැයි පිළිගත නොහැකිය. රාවණා 1 කක්ෂගත කිරීමේ තවත් වැදගත්කමක් පවතී. පසුගිය පාලන සමයෙහි චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීම පිළිබඳ ප්‍රචාරයක් දියත් කෙරිණ. එහෙත් යැවූ චනද්‍රිකාවක් ගැන තොරතුරු නැත. මේ වනාහී රජගෙදර දරුවන් ආකාසගත කිරීම සඳහා රජයේ වියදමින් රඟ දක්වන ලද නරනාටකයකි. වත්මන් ලෝකයෙහි විද්‍යා හා තාක්ෂණ දියුණුවට සාපේක්ෂව අපේ රට පවතින්නේ පසුගාමී තැනකය. නාථ දෙවියන් සමඟ කතා කරන වෛද්‍ය හා ගණිත මහාචාර්යවරුන් ජීවත් වන රටක විද්‍යා තාක්ෂණ දියුණුව සරදමටද ලක් වෙයි.

ඒ සියලු තත්ත්වයන් යටතේ වුවද හෝමාගම පිහිටි නැනෝ තාක්ෂණ ආයතනය වැනි මධ්‍යස්ථානවල කාලීන වැදගත්කම අහෝසි නොවේ. එමෙන්ම විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයෙහි උසස් පර්යේෂකයෝද අපට සිටිති. අවශ්‍ය වන්නේ ඔවුන්ගේ සේවය ලබා ගැනීමේ නවීන වැඩපිළිවෙළකි. රාවණා 1 අපට දෙන සංඥාව එයයි.

මාතෘකා