පොසොන් සමයෙහි දහම දැකීම

පොසොන් සමයෙහි දහම දැකීම

 

පොසොන් පොහොය නිමිති කරගෙන රට පුරා පැවැත්වෙන ආගමික උත්සව සහ පින්කම් බෞද්ධයන්ගේ මෙන්ම පොදුවේ ශ්‍රී ලාංකිකයන්ගේ පහන් සංවේගයටද ප්‍රබෝධයටද ශාන්තියටද හේතුවකි.

පොසොන් උත්සවය අර්ථවත‍් වන්නේ ශාස්තෘවරයාගේ ගුණ සමුදාය සිහිපත් කරන අතරතුර එයින් තම දිවිය ආලෝකවත් කරගැනීම සඳහා දරන උත්සාහයෙනි. එහිදී පරිත්‍යාගශීලී බව, කරුණාව, සත්‍යකාමී බව, මිථ්‍යාන්ධකාරයෙන් අත්මිදීම, ආගමික සහනශීලීත්වය හා සහජීවනය යනාදී චරිතාංග පුරුදු පුහුණු කිරීම වැදගත් වේ. ශාස්තෘවරයාගේ දිවියෙහි විවිධ අවස්ථා සහ සිදුවීම් ඔස්සේ මෙකී ජීවන චර්යා හඳුනාගත හැකිය. එහෙත් පොසොන් උත්සවය මහත් අභිමානයෙන් සමරන කීයෙන් කී දෙනෙක් මෙය වටහාගෙන තිබේද යන්න නම් විවාදාපන්නය. පාලකයා, පාලිතයා සහ බුද්ධ පුත්‍රයන් යන තෙපිරිසටම මෙය පොදු යථාර්ථයකි.

සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයකු වූ ප්‍රේමපාල හේවාබටගේ ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ භික්ෂුවක් කළ ජාතිවාදී හා ආගම්වාදී අනුශාසනය එහි සිටි ජනතාවගේ කලකිරීමට හේතු වීම යනු ආසන්නම උදාහරණයක් පමණි. බොහෝ අවමංගල්‍ය අවස්ථා, පිංකම් විද්‍යුත් නාලිකා විකාශය කරන ධර්ම දේශනා ආදියෙහිදීත් පුවත්පත් ආගමික අතිරේකවලත් ශාස්තෘවරයාගේ දහම වෙනුවට ආගමික සහනශීලීත්වය හා සංහිඳියාව පළුදු කරන කෲර භාෂණ ඇසීමට දැකීමට සිදුව තිබේ. දහම පිරුවටයක් කරගෙන අපරාධ කළ සහ රාජ්‍ය දේපළ කොල්ලකෑ දේශපාලන පිංගුත්තරයෝද පන්සල අඩයාළමක් කරගෙන පෘතග්ජන හදවත්හි වෛරයේ විසබීජ රෝපණය කරති. ඇතැම් බුද්ධ පුත්‍රයෝද මේවාට අනුබල දෙති. සඟ විනය අනුව හැසිරෙන දහමෙහි හරය වටහාගත් බුද්ධ පුත්‍රයන් විශාල පිරිසක් මේ මහා ව්‍යසනය හමුවේ මුනිවත රැකීම රටේම ඛේදවාචකයකි.

මිහිඳු හිමියන්ගේ මාර්ගයෙන් ලක්දිවට බුදු දහම පැමිණීම ධර්මාශෝක අධිරාජයාගේ ධර්ම ප්‍රචාරයෙහි එක් ප්‍රතිඵලයකි.

"දහම දකින්නා මා දකී"

බුදුන් වහන්සේ දෙසූහ. එය ගැඹුරින් වටහා ගත යුත්තකි. දහම යනු සත්‍යයයි. යහපැවැත්මයි. ඒ දෙකටම බෞද්ධ, කිතුනු හෝ ඉස්ලාම් භේදයක් නැත. එය නිරාගමික ප්‍රකාශයකි.

මහා සංග්‍රාමයකින් පසුව කලකිරී බුදුදහම අනුව ගිය ධර්මාශෝක රජු පිහිටුවූ පුවරුවල කොටා ඇති උදාන පාඨවල ඇත්තේ නිරාගමික සුවය හෙවත් සත්‍යය දැකීමේ සන්තුෂ්ටියයි. වංශකතාකරුවන් විසින් සාහිත්‍යයෙහිදී දුටුගැමුණු රජුගේ මුවට නංවා ඇති වදන්වලින් දහම විකෘති කර ඇතත් මහා සංග්‍රාමයෙන් පසුව ගිලානව විසූ රජුගේ ජීවන චර්යා නිරාගමික සුවය විඳින්නකුගේ ආධ්‍යාත්මය කැටපත් කරයි.

"කිපුණු තැනැත්තා කෙරෙහි නොකිපෙන්නා නොදිනිය හැකි සටන දිනයි. කිපුණු අය දැක යම් සත්පුරුෂයකු උපශාන්ත වේ නම් ඔහු තමාටත් අනුන්ටත් දෙගොල්ලන්ටමත් යහපත සලසයි. තමන්ටත් අනුන්ටත් දෙදෙනාටම පිළියම් යොදන්නා මෝඩයකු යැයි දහම් නොදත් මෝඩයෝ සිතති"

බුදුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ අක්කොස බමුණාටය. අක්කොස යනු බුදුන් වහන්සේට පරුෂ වචනයෙන් බැණ වැදුණු බමුණෙකි.

ධර්ම දේශනා මුවාවෙන් බොහෝ බෞද්ධයන්ට වෛරී ප්‍රකාශ අසන්නට ලැබීම සංවේගජනක කරුණකි. ගිහි විනය හා සඟ විනය යන දෙක වෙන වෙනම තෝරා බේරා ගැනීමද වෛරය වෙනුවට සහනශීලීත්වය හා සහජීවනය හඳුනා ගැනීමද මේ පොසොන් සමයෙහි බෞද්ධයන්ගේ වගකීමය. අලගද්දූපම සූත්‍රයෙහි බුදුන් දෙසූ පරිදිම දහම පහුරක් කරගෙන එතෙර යනු මිස පහුර කරේ තබාගෙන ගමන් කිරීම ජීවිතය අවුලට පත් කරගැනීමකි. පොසොන් සමයේ අසිරිය මැකී ගිය පසු පුරුදු පරිදි ජීවත් වීම වෙනුවට පොසොන් සඳේ සෞම්‍ය කාන්තිය හදවතට ළං කරගනිමු.

මාතෘකා