අඬුව තිබෙද්දී අත පුච්චා ගැනීම

අඬුව තිබෙද්දී අත පුච්චා ගැනීම

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආරම්භයේ සිට කාරක සභා සැලකිය යුතු ප්‍රමාණයක සේවය ලබාගෙන තිබේ. එහි අරමුණ වී ඇත්තේ පාර්ලිමේන්තුවට පැටවෙන අධික රාජකාරි ප්‍රමාණය අවම කිරීමය.

කෙසේවෙතත් තේරීම් කාරක සභා ක්‍රියාකාරිත්වය ආශ්‍රයෙන් නැවතත් අර්බුදයක ලකුණු පහළ වෙමින් තිබේ. අප්‍රේල් 21දා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ප්‍රකාශ ලබාගැනීම හා එම ක්‍රියාවලිය මාධ්‍යට විවෘත වීම ඇතැම් අයගේ විවේචනයට ලක් විය. විවේචකයන්ගේ අදහස් මාධ්‍යයෙන් ඔසවා තැබීමෙන් සිදුවූයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පිළිබඳ වැරදි වැටහීමක් ඇති වීමය. ඇතැම් මාධ්‍ය අදාළ සාක්ෂි විමසීමෙන් තමන්ට වාසිදායක කොටස් පමණක් ප්‍රචාරය කිරීම තුළින් මේ අර්බුදය මතුවිණි. මෙය කිසිසේත්ම සතුටු විය හැක්කක් නොවේ.

සෑම සභාවාරයක් ආරම්භයේම තේරීම් කාරක සභාවක් පත් කිරීම සම්ප්‍රදායකි. සභාපති ධුරය කථානායකට හිමි වෙයි. දේශපාලන පක්ෂ නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් එය නියෝජනය කිරීම පිළිගත් සම්ප්‍රදායයි.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කර ඇත්තේ විශේෂ තේරීම් කාරක ස‍භාවකි. විසඳීමට අසීරු සංකීර්ණ ගැටලු ඇති වන අවස්ථාවලදී එවැනි තේරීම් කාරක සභා පත් කෙරේ. මේවා පත් කරන්නේ පාර්ලිමේන්තු අණපනත් අනුවය.

එහෙයින් තේරීම් කාරක සභාවකට පත් කිරීමෙන් පසුව එය නියෝජනය කිරීමෙන් වැලකී විවේචනයට ලක්කිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය නිගරුවට ලක් කිරීමකි.

පාර්ලිමේන්තුවෙන් ක්‍රියාත්මක වන්නේ ජනතා පරමාධිපත්‍යයි. ඒ අනුව බලනවිට තේරීම් කමිටුවට කැඳවනු ලබන නිලධාරීන් කරුණු දක්වන්නේ මහජනයාටය. මහජන නියෝජිතයන් තෝරාපත්කර එවන්නේ මහජනයා විසිනි. එබැවින් තේරීම් කාරක සභාවකට නම් කිරීමෙන් පසුව එය නියෝජනය නොකිරීම ජනතා පරමාධිපත්‍යය හෑල්ලුවට ලක් කිරීමකි. එම විනය පක්ෂ විපක්ෂ කාටත් අදාළය. එමෙන්ම තේරීම් කාරක සභාවට කැඳවූ විට එය පිළිනොගන්නා නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමේ හැකියාවද පාර්ලිමේන්තුවට ඇත.

කෙසේ වෙතත් ඉකුත් පාලන සමහෙහි තේරීම්කාරක සභා පැවතියේ බෙහෙවින්ම අක්‍රීයවය. නොඑසේනම්, ඒවා නාමික තත්ත්වයෙහි පැවතිනි. බොහෝ තීන්දු තීරණ ගනු ලැබුවේ තේරිම් කාරක සභා තබා කැබිනෙට්ටුවවත් දැනුම්වත් නොකරය.

එවන් පසුබිමක් සහිත කණ්ඩායම් තේරීම් කාරක සභා පිළිබඳව නංදෙඩවීම අරුම පුදුම නැත. ඉකුත් පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් වාර්තාවක් කැඳවනු ලැබීය. එම වාර්තාව පවා නිකුත් විය. නමුත් ඊට සාපේක්ෂව පසුගිය සමයෙහි වතුර ඉල්ලා පාරට බැස්ස අහිංසකයන්ට ගිනි බින්ද රාජ්‍ය ත්‍රස්තවාදය ගැන සමහරුන්ට අමතකය. හාස්‍යජනක කරුණවන්නේ දූෂණ හා අපරාධ සම්බන්‍ර්ධයෙන් අධිකරණයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ශ්වද තේරීම් කාරක ස‍භාවට එරෙහිව යගදාව එසවීමය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, කැබිනට් මණ්ඩලය හා විධායකය අතර ගැටුමකට තුඩු දීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිකරය. එය වහාම නිරාකරණය කරගත යුතුය. එනිසා එයට අකුල් හෙළීම අඬුව තිබෙද්දී අත පුච්චා ගැනීමකි.

මාතෘකා