ගැට සහ ගැට

ගැට සහ ගැට

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් පසු කාදිනල් හිමියන්ගේ ප්‍රශස්ත මැදිහත්වීම කෙරෙහි සමස්ත රටවැසියෝ මහත් ප්‍රසාදයෙන් කතා කළහ. ත්‍රස්තවාදීන් යකා නැටූ බිමක වෛරයේ ගිනි වෙනුවට සාමයේ දිය උන්වහන්සේ ඉසිමින් සිටියහ. සන්සුන්ව සහ විමසිලිමත්ව සිටීමේ අනුහස උන් වහන්සේ නිතර අවධාරණය කළහ.

අදාළ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වීමත් සමඟ බොහෝ පාර්ශ්වවලට චෝදනා එල්ල විය. වගකීම් විරහිත කණ්ඩායම් එකී චෝදනාවල සෘජු ඉලක්ක බවට පත් විය.

එක් අතකින් අනතුරු ඇඟවීම් කෙරෙහි අනුකූලතාව නොදැක්වූ පාර්ශ්ව කෙරෙහි මිනිස්සු නුරුස්නාව පළ කළහ. ඒ අතර මේ ත්‍රස්ත ප්‍රහාරය පළමුව දේශපාලන පාපන්දුවක් බවටත් ක්‍රමානුකූලව එය ජාතිවාදී, ආගම්වාදී කොන්වලටත් තල්ලු කරගෙන යනු ලැබීය. ඒ උදෙසා විවිධ කල්ලි කණ්ඩායම් තම තමන්ට හැකි පරිදි දායකත්වය සැපයූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරය බිහිසුණු සහ බියකරු එකකි. මිලේච්ඡත්වයේ උග්‍රම සහ බියගුලුම ස්වරූපය එම ප්‍රහාරයේ විණි.

ඊට පසුව සිදු වූ තත්ත්වයන් සහ අවාසනාවන්ත තත්ත්වයන් විසින් මේ බහුවාර්ගික සුන්දර රට තල්ලු කරනු ලැබුවේ කොතැනටද?

මුලින් වඩාත් ප්‍රශස්ත ලෙස මේ සිදුවීම් මාලාව කළමනාකරණය කළ සහ සංසුන් කළ සමහරු පවා පසුව ක්‍රමානුකූලව වෙනස් තත්ත්වයන්ට අනුගත වෙන බවක් පෙනෙන්නට තිබිණ.

සමහරුන්ට අනුව 'ගිනි තැබීම' කළ යුතුය. සමාජය තුෂ්නිම්භූත කිරීම විය යුතුය. ඇවිළෙන ගිනිදැල් අතර සමාජය භීතියට පත් කළ විට තමන්ගේ සුරුට්ටුව දල්වා ගත හැකි බව සමහරු විශ්වාස කරති. එකී පරමාර්ථය පෙරදැරිව යම් යම් කල්ලි, කණ්ඩායම් සහ ඇතැම් මාධ්‍ය විසින් සමාජය වෙත භීතිය, අනාරක්ෂිත බව, සාහසිකත්වය කාන්දු කරනු ලැබීය.

අතුරලියේ රතන හිමි උපවාසයක් ආරම්භ කළේ ඔය අතරය. රට බේරා ගැනීම වෙනුවෙන් කැපවීම උතුම් ක්‍රියාවකි. එහෙත් ඒ මත පිහිටා තවදුරටත් සිදුවන්නේ මානව බැඳීම් දෙදරා ව්‍යාකූල සහ ප්‍රචණ්ඩ හැඟීම් වර්ධනය වීම නම් එය කොතරම් අවාසනාවක්ද?

පාස්කු ප්‍රහාරයෙන් පසුව දින කිහිපයක් සංසුන්ව සහ හික්මීමෙන් සිටි ප්‍රජාව වෙත නොසන්සුන්කම සහ නොහික්මීම කාන්දු කළේ යම් යම් මාධ්‍ය සහ දේශපාලන අවස්ථාවාදීන්ය.

එයින් පසුව මේ මොහොතේ මුහුණ දී සිටින අභියෝගය කුමක්ද?

එක් අතකින් 'පියෝ සිංහල' කැබිනෙට්ටුවක් ප්‍රාර්ථනා කරන දුෂ්ඨ සහ අවස්ථාවාදීන්ය. එයට අවනත වෙමින් හෝ නොවෙමින් සියලු මුස්ලිම් අමාත්‍යවරු ධුරවලින් ඉවත් වූහ. එය විවාදාපන්න තීරණයකි.

තවත් අතකින් යම් යම් ප්‍රකාශවලින් තම තමන්ට රිසි කොටස් අල්ලාගෙන සමාජය ආකූල කිරීම්ය. කටකතා හරහා සමාජය සසල කරන අවස්ථාද බොහෝය.

සිදු වූ ප්‍රහාරයෙන් අනතුරුව කඩා වැටුණු සමස්ත සමාජය යළි යථා තත්ත්වයට ගෙන ඒමේ අභියෝගය වගකිව යුත්තන්ගේ උර මත තිබේ. ඔය සියලු ව්‍යාකූලතා අතර තව කෙටි කලකින් තීරණාත්මක මැතිවරණයකි.

මාතෘකා