වැරදි වගකීම කරට ගත් මාධ්‍ය

වැරදි වගකීම කරට ගත් මාධ්‍ය

ඉතිහාසය පුරාම මේ රට සතු ‘ස්වර්ණමය’ කියවීමක් වන්නේ බොහෝ දේශපාලනඥයින් මෙරට ජාතික සමඟිය සහ සංහිඳියාව සිය අවස්ථාවාදී උවමනාවන් වෙනුවෙන් ‘සෙල්ලමට’ ගත් කතාවය. එයින් ජනිත වූ අප්‍රමාණ ලේ වැකි සිදුවීම් මේ කුඩා කොදෙව්වේ හතර කොණම තෙත් කරන්නට සමත් වී තිබේ. එවක ඒ බිහිසුණු සැහැසිකම්වලට උඩගෙඩි දුන්නේ ඔවුන්ගේ හෙංචයියන් හෝ අනුගාමිකයින්ය.

අද ඊට වඩා වෙනසක් තිබේ.

ඒ වනාහී බොහෝ මාධ්‍ය එකී කටයුත්ත භාරගෙන තිබීමය. අන්තවාදී පීතෲවරුන්ට වඩා සාහසික ලෙස ඔවුහු ‘මොළ සෝදමින්’ සිටිති.

ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර අරබයා ඇත්තේ ප්‍රාමාණික දැනුම් භාවිතයකින් තොර වූ ක්‍රියාවලියකි. ඒ හේතුකොටගෙන විෂයානුබද්ධ දැනුම සහ වගකීම් සහගත බව දුරස්ථව පවතී. ඕනෑම තක්කඩියකුට ස්වකීය බලපුළුවන්කාරකම හේතුවක් කොටගෙන දේශපාලනයට රිංගා ගත හැකිය. නීති සම්පාදනය කරන තැනට ගොඩ වදින හෙතෙම දන්නා දෙයක් නැතත් දන්න සේ හැසිරේ. ප්‍රාමාණික වියතුන්ට, උගතුන්ට පවා නීති තනන්නට දායක වන්නේ යට කී ‘තක්කඩියා’ය.

සමීපතම උදාහරණයක් වන්නේ වරක් හිටපු අගවිනිසුරුවරිය නෙරපන්නට රැස්වූ කමිටුවය. අට පාස් නැති දේශපාලනඥයෝ ද එහි කටයුතු කළහ. අගවිනිසුරුවරිය ප්‍රශ්න කළ බොහෝ දෙනා නීතිය තබා නීති විද්‍යාලයවත් දැක නැති දේශපාලනඥයන්ය.

“ඔබ නිවැරදි යැයි සිතන දේ කරන්න” කියා මාර්ක් ටේවින් නමැති ගවේෂකයා මාධ්‍යවේදියාට පවසා තිබේ. එහෙත් අනාගතයේ බිහිවන්නේ මේ වර්ගයේ මාධ්‍යවේදීන් බව දන්නවා නම් මාර්ක් ටේවින් ‘හරාකිරි ක්‍රමයට’ සිය දිවි නසා ගන්නවාට සැක නැත.

සමහර මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පිරිස් ප්‍රශ්න අසන්නේ ‘අපේ ජාතියට ඒ අය පහර දෙනවා’ කියමිනි. වගකීම් සහගත මාධ්‍යවේදියාට ‘අපේ ජාතිය’ කියා කුලකයක් තිබේද?.

“පල්ලිවලින් කඩු හමුවෙනවා. ඔබ ප්‍රවේසම් වන්න” කියා බ්‍රේකින් නිවුස් පළ කළ මාධ්‍ය නොකියා කියන්නේ කුමක්ද? “උන් කඩු තියාගෙන ඉන්නේ ඔබව විනාශ කරන්න, තවම ඔබ නිහඬ ඇයි?” කියා නොවේද?

“අනෙකා කැති ගාන්නට අවි රැගෙන වරෙව්.” කියා සාහසික සටන් පාඨවලට ඇතිරිල්ලක් වූ සමාජ මාධ්‍ය වගකීම් සහගත තැනකට පත් කිරීම ඒ මොහොතේ අවශ්‍යයෙන්ම කළ යුතුව තිබිණි.

එහෙත් උතුරා යන මාධ්‍ය නිදහසේ නාමයෙන් “බෝම්බ ත්‍රස්තවාදය පරයන මාධ්‍ය ත්‍රස්තවාදයක්” තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. එක්කෝ ආණ්ඩුව ඒ ගැන නොසලකා හැර තිබේ. නැතිනම් ආණ්ඩුව තවමත් නිද්‍රාවෙහි ගිලී සිටී.

මේ වල් වැදී අයාලේ දුවන මාධ්‍ය පිළිබඳවද කිසියම් නියාමනයකට එන්නට ආණ්ඩුව අසමත් ඇයි? වගේ වගක් නැතිව කඹය කඩා ගත් ගානට දුවන මාධ්‍ය කෙරෙහි නියාමනයක් මේ මොහොත වෙනුවෙන් හෝ කළ යුතු නොවේද?

මාධ්‍ය නිදහස අවභාවිත වන බව දැක දැකත් ඊට ප්‍රතිචාර නොදක්වන්නේ මන්ද? ජාතික ආරක්ෂාව, ජාතික එකමුතුව, යනාදී උසස් කාරණා අරබයා තුච්ඡ ලෙස එල්ල වන මාධ්‍ය ප්‍රහාර ත්‍රස්තවාදී ප්‍රහාරවලට වඩා බිහිසුණු බව නොවැටහෙන්නේ මන්ද?

රටක යහපැවැත්මට පාර කියන්නේ මාධ්‍යය. මෙවන් රටක බොහෝ දේශපාලනඥයින්ගෙන් බලාපොරොත්තු විය හැකි ‘මහප්‍රාණයක්’ නැත. එහෙත් මාධ්‍යට විසල් වගකීමක් තිබේ. අවාසනාවට එය සිදු වන්නේ අවස්ථාවාදී දේශපාලනඥයින්ට එහා ගිය බලලෝභී අන්තවාදයකිනි.

‘රැස’ කතුවැකියෙන් කිහිප විටක් සිහිපත් කළ පරිදිම නැවත සටහන් කරමු.

මාධ්‍ය ආචාර ධර්ම තුට්ටු දෙකට දමා සිය ඒකායන දේශපාලන ධර්මය සහ ‘රේටින්’ වැඩි කර ගැනීම උදෙසා කරනු ලබන මාධ්‍ය භාවිතයන් කෙරෙහි දැන්වත් අවධානය යොමු නොකරන්නේ නම් එය ත්‍රස්තවාදයට වඩා බිහිසුණු ‘ත්‍රස්තවාදයක්’ වනවාට සැක නැත.

මාතෘකා