නිදිගත් මිනිස්කම අවැසිම මොහොත

නිදිගත් මිනිස්කම අවැසිම මොහොත

මුස්ලිම් ඇමතිවරු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන පිරිසක් උද්දාමයෙනුත් තවත් පිරිසක් විමතියෙනුත් සිටිති. තනි සිංහල අධිකාරියක් සහිත ආණ්ඩුවක් හෝ දේශපාලනයක් උදෙසා සිහින දකින පිරිස් මේ ගැන උද්දාමයෙනි. 'මේ රට අයිති අපිට විතරයි බොලව්' පන්නයේ මානසික ව්‍යාධි, උන්මත්තක ඔළු මත නඩත්තු කරන්නෝ ඒ කුලකයෙහි වෙති.

විමතියට පත්ව සිටින පිරිසට හේතු දෙකක් තිබේ. එකක්, සාලි සහ හිස්බුල්ලාගේ ඉවත්වීම කරණකොටගෙන සමස්ත අමාත්‍යවරු ඉවත්වූයේ මන්ද යන විමතියයි. ජාතියක් ඉලක්ක කරගෙන මේ විරෝධය මතු කළ පිරිස වෙනත් කුලකයකි. එහෙත් මධ්‍යස්ථ සහ ජාතිවාදී නොවන කුලකය මෙයින් විස්මයට පත් විය. සාලි හෝ හිස්බුල්ලා වරදක් කොට තිබේනම් හෝ වරදකට සැකනම් ඉල්ලා අස්වීම හෝ අස් කිරීම කළ යුතුය. ඊට සමස්ත මුස්ලිම් අමාත්‍යවරු සසල වන්නේ ඇයි?

අවසන් තත්පරයේත් 'සංහිඳියාව සහ මිනිස්කමේ ශිෂ්ටත්වය' වෙනුවෙන් ජනප්‍රිය නොවන අරගලයක යෙදෙන පුරවැසියාට එයින් ලැබෙන සංඥාව නිවැරදිද?

දෙවැන්න, තක්කඩියාගේ අවසන් වෑයම වන ජාතිවාදය උදෙසා අන්තවාදී පිටිය නිර්මාණය කිරීමක් මේ තත්ත්වයෙන් ඇති නොවේද?

කොයි කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ පරීක්ෂණ සඳහා තමන් තවදුරටත් තනතුරු දැරීම නුසුදුසුයැයි හැඟෙන හෙයින් මේ තීන්දුව ගත් බවය. අවංක චේතනාව එය නම්, එය ගරුකටයුතුය.

'අපි, මුස්ලිමුන් නැති රටක් හදමු' කියා සමාජ ජාලවල 'පරමාණු අවි' තනන්නේ ඔය අතරය.

ජාතියේ ඉරණම් කතාව ලියන බොහෝ දෙනා රටින් පිටව සරු බිම් මත ජීවිතය සොයන්නෝය. ඔවුහු එතෙර සිට මෙතෙර සිටින එක් ජන වර්ගයක් 'සදාකාලික සතුරන් සේ' සලකමින් සමාජ ජාල කලඹති. ජාත්‍යාලය ගැන වගාඩම්බර පුරසාරම් දොඩන ඔවුන් බොහෝ දෙනා වත්මන් ආණ්ඩුවේ පිහිටෙන්ම සරු බිම් සොයා එතෙර ගියවුන්ය.

ඔවුහු සංහිඳියාවට 'හෙණ' ඉල්ලති. අන්ත ජාතිවාදියකුට බලය දිය යුතුයැයි හඟිති.

හිට්ලර්, ජර්මානු ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත් කරගන්නා ලද නායකයෙකි. බොහෝ ජර්මානුවන් විසින් හිට්ලර් ජර්මනියේ ගැලවුම්කාරයා ලෙස සලකන ලදි. ඔහු රට පුරා දේශන කළේය. ජාතිවාදයේ ගින්නෙන් නාසි මිනිස් සිත් කුල්මත් කළේය. ශ්‍රේෂ්ඨ ජර්මානුවන් පමණි යන සාහසික උන්මත්තක බව හිට්ලර් රට පුරාත් සිය ආධාරකරුවන්ගේ ලේ වලටත් කැවීය. හිට්ලර් බලයට පැමිණෙන විට 500,000 කට අධික යුදෙව්වන් ප්‍රමාණයක් ජර්මනියේ ජීවත් විය. එක්තරා රාත්‍රියක ඔහු "බිඳුණු වීදුරුවේ රැය" නමින් හැඳින්වෙන ප්‍රහාර රැල්ල දියත් කළේය. යුදෙව් ගෙවල් ගිනි තියමින්, යුදෙව් වෙළඳසැල් කොල්ලකමින් ජාතිවාදී උන්මත්තකයෝ රට වැනසූහ.

අවසානයේදී ඉතිරි වූයේ ගිනිගත් දේශයකි.

ලංකාවේ බොහෝ පුරවැසියෝ මේ මොහොතේ උදාසීන සහ බියගුලු නිහැඬියාවකය. එකී නිහැඬියාව අන්ධකාර අනාගතයක පෙරනිමිති විදහා පායි. ගුවන් කාලය සහ මහජන සංඛ්‍යාත උපයෝගී කරගත් බොහෝ මාධ්‍ය මේ උන්මත්තක නිමේශය ඌරන් ලගින්නට රුචි ගොහොරු මඩ වගුරක් කරගෙනය. පටු අවස්ථාවාදය මේ තරම් උග්‍ර ලෙස වැලඳුණු වෙනත් කාලයක් නැති තරම්ය.

දේශපාලන විද්‍යාවේ පියා ඇරිස්ටෝටල්ය. ඔහු දේශපාලනය යනු කුමක්දැයි අර්ථ දැක්වූ ප්‍රමුඛතමයාය. එහෙත් ලංකාවේ දේශපාලනය කුමක්දැයි කියා නිර්වචනය කරන්නට ඇරිස්ටෝටල් කිරි දරුවෙකි.

සමාජ විද්‍යාවේ පියා ඔගස්ට් කොම්ට්ය. ඔහු සමාජ විද්‍යාව යනු කුමක්දැයි මනාකොට අර්ථ දැක්වූ ප්‍රමුඛතමයාය. එහෙත් ලංකාව අනුදකින සමාජ විද්‍යාව කුමක්දැයි කියා අරුත් ගන්වන්නට ඔගස්ටේ කොම්ට් ළදරුවෙකි.

මනෝ විද්‍යාවේ පියා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ය. ඔහු මානවයාගේ මනෝ සිද්ධාන්ත මනාකොට අර්ථ දැක්වීය. එහෙත් ලංකාවේ මානව සංහතිය ගැන අර්ථ දක්වන්නට ප්‍රොයිඩ්ට තව කල්පෙකට අසීරුය.

මාතෘකා