සැකය වපුරන උන්මත්තකයෝ

සැකය වපුරන උන්මත්තකයෝ

එකම රටක ජීවත් වන තවත් ජනවර්ගයක් වෙත සැකයේ සහ අවිශ්වාසයේ කුළුගෙඩි පහර එල්ල වූ විට තවදුරටත් ප්‍රශස්ත රටක් අපේක්ෂා කළ හැකිද? නොහැකි බවට කදිම උදාහරණ මෑත ඉතිහාසය වසර තිහක් ඇති පදම් පාඩම් අපට කියාදී තිබේ.

එයින් ශේෂ කළ දෑ මොනවාදැයි අනුමාන වශයෙන් හිතා ගන්නට දැනටත් ආබාධිතව ජීවත් වන සෙබළුන් සිටින නවාතැනකට යා යුතුය. නැති නම් උත්ප්‍රාසයෙන් යුතුව සමරන ස්මාරක අසල ඵලකයක සටහන් මියගියවුන්ගේ දහස් ගණනක නාම ලේඛනයක් දෙස බැලිය යුතුය.

එකම රටක, එකම මිනිසුන් දෙපසට බෙදී උනුන් මරාගෙන ඉතිරි කළ සිහිවටන මොනවාද? විනාශය හැර අන් කිසිවක් නැත.

සැහැසිකම, ජාතිවාදය, ම්ලේච්ඡත්වය සහ නපුර විසින් නඩත්තු කෙරෙන ජීවිත නිරන්තර උත්සාහ කරන්නේ අනෙකා පරයා ස්වකීය ආධිපත්‍ය තහවුරු කරගන්නටය. එය එදා මෙන්ම වෙනස් වේශයකින් අදත් කරළියට විත් තිබේ.

ඉකුත් ඉරිදා පුවත්පත් බොහොමයක තිබූ සිරස්තල කුළු ගන්වන්නේ අතිශය දුර්භාග්‍ය සම්පන්න අනාගතයක පෙරනිමිතිය. ශිෂ්ටත්වයේ සිලිලාරය තවත් ආලෝක වර්ෂ ගණනාවක් දුර බවට ඒ හැසිරීම් දෙස් දෙයි.

'සිංහල, මුස්ලිම් ඓතිහාසික අරගලයක්' ගැනත්, අන්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව බෞද්ධ ඊශ්‍රායලයක් විය යුතු බවත් සිංහල ජන සංහාරයක සූදානමක් ගැනත් මුස්ලිම් භීතියක් රට පුරා තිබෙන බවත් උත්ප්‍රාසජනක වාර්තා පුවත්පත් පුරා වෙයි. එයින් උපුටාගනු ලබන 'බිහිසුණු කොටස්' උදෑසන පුවත්පත් විස්තරවලින් අතුරුපස සමඟ බෙදා හරියි. කොටස් පමණක් අල්ලා ගන්නා උදවිය 'කැලෑ පත්තර' ස්වරූපයෙන් ඒවා ගම්දනව් පුරා බෙදා හරියි.

සියලු මිනිසුන් මිනිසුන් බවත් ඒ අතර සිටින උන්මත්තක අන්තවාදීන් නොමිනිසුන් බවත් ඉඳුරාම පිළිගන්නා අපි ඒ මත පිහිටා සියලු මිනිසුන් අන්තවාදීන් බවට සමහරුන් නියමින් සහ අනියමින් කරන තර්ක සහ මතවාද පිළිකුලෙන් බැහැර කරමු.

මේ මොහොතේ ප්‍රසිද්ධ විය හැකි සහ ගජරාමෙට අලෙවි කළ හැකි 'ජාතිවාදී' විෂ බෝම්බ කවදා හෝ පුපුරා යන්නේ හිරෝෂිමා ප්‍රහාරවලට වඩා දරුණු ලෙසය. අද හුදු ජනප්‍රියත්වය සහ බලකාමීත්වය උදෙසා ගෙන යන ජාතිවාදී, අන්තවාදී මතවාදවලට අකුරකින් හෝ සහාය දක්වන්නන් අනාගත අන්ධකාර රටක වගඋත්තරකරුවන් වනවාට සැක නැත.

‘දෙමළකුගේ හමෙන් කරපු සෙරෙප්පු කුට්ටමක් කකුලේ දාගන්න කල් තමන්ට නින්ද යන්නේ නැති' බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අන්ත ජාතිවාදී දේශපාලනඥයෙක් මේ රටේ සිටියේය. නිදහසින් පසු ලංකා දේශපාලනයේ හමුවන අමුම ජාතිවාදී ප්‍රකාශය කළේ ඔහුය. ඔහු කේ.එම්.පී. රාජරත්නය.

“ජාතිවාදියා මානසික රෝගියෙකි” යනුවෙන් ඊ. ඩබ්ලිව්. අදිකාරම් 1950දී පමණ කළ ප්‍රකාශය ඇතැම් විට රාජරත්න දැන සිටින්නට ඇත. ඇතැම් විට නොදැන සිටින්නට ඇත. දැන සිටියා හෝ නොදැන සිටියා කියා ඵලක් නැත. මානසික රෝගියකුට ඒවායින් වැඩක් නැත.

එවක බණ්ඩාරනායක ආණ්ඩුව ‘සිංහල පමණයි‘ පනත ගෙන ආ විට ඊට එරෙහිව දෙමළ සත්‍යග්‍රහයක් පැවතියේය. උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙන්නකු වූ නාගනාදන් සහ නවරත්නම්ව උස්සා බේරේ වැවට වීසි කිරීමට කටයුතු කළේ රාජරත්නගේ මැරයෝය.

මෙවැනි කුලප්පු සහගත උන්මත්තකයන් කොයි පැත්තේත් සිටියහ.

ස්වකීය දේශපාලන අවශ්‍යතාව මත ඕනෑම කබරගොයෙක් තලගොයෙක් කිරීමට අන්තවාදී දේශපාලන භ්‍රෂ්ටයෝ සමත්ය.

වරක් යහපාලන ආණ්ඩුව එල්ටීටීඊ සැකකරුවන් ඇප මත නිදහස් කිරීමට තීරණය කළ විට ජාතිවාදී උන්මත්තකයෝ ප්‍රචණ්ඩව ඇවිළුණහ.

ජාතික ආරක්ෂාව අනතුරේ කියා ඔවුහු 'යකා' නැටූහ. එහෙත් 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වීමෙන් පසුව සමස්තයක් ලෙස එල්ටීටීඊ සාමාජික-සාමාජිකාවන් 12,000ක් පමණ පුනරුත්ථාපනය කොට නිදහස් කරද්දීත් 2010 ජනාධිපතිවරණය ආසන්නයේදී එල්ටීටීඊ සැකකරුවෝ 140 දෙනෙක් ඇප මත නිදහස් කරද්දීත් එසේම 2012 පෙබරවාරි හා අගෝස්තු මාසවලදී කොටි සැකකරුවෝ 390 දෙනෙක් ඇප මත නිදහස් කරනු ලබද්දීත් ඒවා ඡන්ද ගුණ්ඩු නොවීය.

අරුමය වන්නේ, තමන් කරන විට සියල්ල පූජනීය වීමත් අනෙකා කරන විට ඒකම නින්දනීය වීමත්ය.

මේ මොහොතේ සිදුවන්නේත් ඒ නරිනාටකයමය. අක්‍රිය ආණ්ඩුව ඉදිරියේ සක්‍රිය ජාතිවාදියෝ කරණම් ගසති. මේ නාටකයේ කෙළවර තිබෙන්නේ මහා ව්‍යසනයකි.

කොලොම්බියානු ලේඛක ගාබ්රියෙල් ගාර්සියා මාකේස් තම ‘සියක් වසක හුදකලාව’ කෘතියේ මෙවැනි සටහනක් හමුවේ.

‘කොර්නෙල් අර්ලියානෝ බුඑන්ඩියා ඔහුගේ ජීවිත කාලය පුරා ආයුධ සන්නද්ධ නැඟිටීම් 32ක් කළ අතර ඒ සියල්ලම පරාජය විය. අවසානයේ ඔහු වටහා ගත් සැබෑව වූයේ යුද්ධයක් අවසාන කිරීමට වඩා යුද්ධයක් ඇරඹීම ඉතා පහසු බව’ යි.

මාතෘකා