උපාධිධාරියා සහ රැකියා

උපාධිධාරියා සහ රැකියා

සියලු උපාධිධාරීන්ට රජය රැකියා දිය යුතුද යන්න විවාදාත්මක මාතෘකාවකි. කෙතරම් විවාදාපන්න වුවද සත්‍ය තත්ත්වය නම් එය රජයකට කළ නොහැක යන්නය. සෑම වසරකම දහස් ගණනක් උපාධිධාරීහු ලෙස සරසවි දොරටුවලින් සමාජයට පිටමන් වෙති.

ඔවුහු බොහොමයක් 'රැකියා විරහිත'ලේබලයට ගොනු වෙති. අරගල, පිකටින්, උද්ඝෝෂණ ඒ අතර වෙයි.

එහෙත් 'මවන්නට' රැකියා නැත.

1948 නිදහස ලබන විට ශ්‍රී ලංකාවේ විරැකියාව පිළිබඳ ගැටලුවක් පැවැතියේ නැතත් නිදහසින් පසු එය බරපතළ ප්‍රශ්නයක් වන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සමඟ රැකියාව සෘජුවම ගැටගැසී ඇති නිසාය.

මීට හේතුව කුමක්ද?

මෙරට පවත්නා අධ්‍යාපන ක්‍රමය ආචීර්ණ කල්පිතව ඇටුවම් බසින ලද එකකි. එයින් ජනිත වන්නේ වැඩ ලෝකයට උචිත ශ්‍රම බලකායක් වෙනුවට සාම්ප්‍රදායික න්‍යායික පිරිසකි. එය ඔවුන්ගේ වරදක් නොව ජාතික ප්‍රතිපත්තියක පිහිටා අධ්‍යාපනය යාවත්කාලීන නොකරන්නන්ගේ වරදකි.

මේ සයිබර් යුගයේත් ලංකාවේ විභාගවලදී අත් අකුරුවලට ලකුණු දෙයි. අත් අකුරුවල සුන්දර බව දැනුම මැනීමෙහි නියැදියකි. කඩදාසි සහ කාබන් ඉවතලමින් පරිගණක තුළින් වැඩ කරන යුගය උදා වී දශකයකට වැඩි කලක් ඉක්ම ගොස් ඇතත් අප තවමත් ‘අත් අකුරුවල හැඩ බලන’ රටකි.

එවන් යල්පැන ගිය 'රාමු' බිඳදමන තුරු රට වෙනස් නොවේ. ලෝකයේ දියුණු රටවල උසස් අධ්‍යාපනය හා රැකියා වෙළෙඳපොළ අතර සෘජු සම්බන්ධයක් පවත්නා නමුත් ලංකාවේ එවැන්නක් දක්නට නැත. බොහෝ රටවල් රටේ අවශ්‍යතාවට අනුව උගතුන් හා වෘත්තිකයන් බිහි කරන ක්‍රමයක් අනුගමනය කරන නමුත් ලංකාවේ එවැන්නක් නැත. එවැනි හඳුන්වා දීමකට සූදානම් වන ආණ්ඩුවකට පවා බාධා සහ අවහිර බොහෝය. හදවත සහ අත වෙනුවට හිස පමණක් හදන අධ්‍යාපන ක්‍රමයෙන් සාරවත් රටක් ගොඩනැඟෙන්නේ නැත.

‘ලොව හොඳම අධ්‍යාපන ක්‍රමයේ 20’ තේරීමේ වැඩසටහනට අනුව 2017 වර්ෂයේ පළමු කාර්තුවේ ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය බවට පත්වූ ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය වන අතර එය පරමාදර්ශී අධ්‍යාපන ක්‍රමයක් ලෙස ඇගයීමට ලක්වේ. ෆින්ලන්තයේ ගුරු වෘත්තිය වනාහි ආකර්ෂණීයම වෘත්තියයි. ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය තුළ ගුරුවරයකු බවට පත්වීම අතිශය අපහසු කටයුත්තකි.

එරට ගොඩනඟන පෙරගමන්කරුවා 'ගුරුවරයා' බව ඔවුන්ගේ විශ්වාසයයි.

ඉහළ-ද්විතීයික අධ්‍යාපන විෂය නිර්දේශය වසර තුනකට සැලසුම් කර ඇතත් එය අවම වසර 2කින් හෝ උපරිම වසර 4කින් සම්පූර්ණ කළ හැකි අතර රැකියාගත වීම පහසුය. ඉගැන්වීම සංවිධානය කර ඇත්තේ මොඩියුලවලින්ය. මෙරට මෙන් වසරවලින් සිසුන්ව බැඳ තබා නැත. සිසුන්ට නිදහසේ තමාට රිසි අධ්‍යයන කාලසටහන් තීරණය කළ හැකිය.

මේවා නවීන ලෝකයේ සංකල්පය.

නමුත් නවීන දේ තබා 'ටැබ්' එකක් ලබාදීමත් වරදක් සේ හඟින සමාජයක් අප සතුව තිබේ. මෙරට බොහෝ දෑ සම්බන්ධව අඩුලුහුඬුකම් පවතී. සියල්ල සම්පූර්ණ කිසිවක් නැත.

1959 භාෂා පනත ඔස්සේ ස්වදේශික භාෂාවලින් උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා විය. මෙයින් සිදුවූ බරපතළ හානිය රටක ඉදිරි ගමනට එරෙහිව ගැසූ තුංග තාප්පයක් මෙන් විය.

මේ රටට නිදහස් අධ්‍යාපනය දිනා දෙන්නේ කන්නන්ගර මහතාය. එතුමාට පවා අවසානයේ අත්ව තිබූයේ එබඳු දුක්ඛදායක ඉරණමකි. මසකට රුපියල් 500 බැගින් පින් පඩියක් ලබමින් ඔහු ජීවත් විය.

එනයින් බැලූ කල රටට නිදහස් අධ්‍යාපනය ලබාදුන් නායකයා අන්තිමට ජීවත් වුණේ 'පිං පඩියෙනි.'

මාතෘකා